Language Switcher

V2025

දේශීය කිරි පිටරටින් ආනයනය කරලා !

රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමැති, පහුගිය දවස් වල, පස්ස කැඩිච්ච කඩියා වගේ, ඒ මේ අත දිවුවේ, අයවැය හින්ද කාර්යබහුල වෙලා විතරක් නෙවෙයි. එයාගේ අමාත්‍යංශයට අයත්, අනෙකුත් බාහිර ආයතන වලත්, ලොකු ලොකු ප්‍රශ්න නිසා ලු..

ඒ වගේ ප්‍රශ්නකාරී එක තැනක් තමයි, රේගුව.

දැන් මේ සති දෙක තුනක ඉඳලා, රේගුවයි, ලංකාවේ ආනයන අපනයන පාලකයි, කිරිපිටි නිෂ්පාදන වලට සම්බන්ධ, ව්‍යාපාරිකයෝ ටිකකුයි හිටියෙ, ලොකු කඹ ඇදිල්ලක. ඒක තුන්කොන් කඹ ඇදිල්ලක් කිව්වත් වරදක් නෑ...

ප්‍රශ්නය වුණේ, මේ රටේ දේශීය කිරිපිටි නිෂ්පාදනය කරන, සමාගම් කීපෙකුයි , යෝගට් වගේ රසකැවිලි හදන සමාගම් කීපයකුයි එකතු වෙලා, පිටරටින් ගෙන්නපු කිරිපිටි නිෂ්පාදන තොගයක් , වරායෙන් නිදහස් නොකරපු එක.

මේක හින්දා රටේ කිරිපිටි හිඟයක් ඇති වේවි කියලා, කිරි පිටි නිෂ්පාදකයො කිව්වා. නිෂ්පාදන තොගය නිදහස් කරන්න, ආනයන අපනයන පාලකයින්ගෙන්, නිසි අවසර ලැබිණ නෑ කියලා, රේගුව කිව්වා. නිසි අවසර දෙන්න තරම්, මේ ගෙන්නලා තියෙන කිරි ආහාර තොගය, නීත්‍යානුකූල නෑ කියලා, ආනයන අපනයන පාලක කිව්වා....

දැන් බලනකොට, ඒක මහා පටලැවිල්ලක්. පටක් පොටක් නැති, අලකලංචියක්... මේ අලකලංචිය විසඳන්න තමයි, සියබලාපිටිය මැදිහත් වෙලා තිබුනේ..

පහුගිය සතියෙ මේක ගැන, දේශීය කිරිපිටි නිෂ්පාදකයෝ ටිකක් එකතුවෙලා, පුවත්පත් සාකච්ඡාවක් කරනවත් අපි දැක්කා තමයි... ඒත් ඉතිං මේකේ හරි කතාව ආරංචි උනේ පස්සෙනේ.

දේශීයව කිරිපිටි හා, කිරි වලින් යෝගට් නිපදවන, මේ කර්මාන්ත කාරයෝ, තමන්ගේ නිෂ්පාදන හදන්නෙ, දේශීය කිරිපිටි වලින් නම්, මොන මගුලටද, මේ නිෂ්පාදන පිටරටින් ගේන්නේ කියලා අහන්න තරම්, කවුරුවත් ඉස්සර උනේ නෑ... සමහරවිට, සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැති නිසා, වෙන්න පුළුවන්.

හැබැයි ආනයන අපනයන පාලක, ඕක ගැන හොඳට දැනගෙන හිටියා.

එයාගේ නම උපුල්මලී ප්‍රේමතිලක. දරන තනතුර බරපතළ වුණත්, එයා ඒකට සුදුසු බව පෙන්නලා ඉවරයි.

කාන්තාවක් ඒ වගේ වගකිවයුතු තනතුරකට පත් වුණාම, සමහර අය හිතන්නේ, ලද බොළඳ කාන්තාවක් එක්ක, වංගුවක් දෙකක් ගහන එක, අමාරු නෑ කියලා. නුවනත් හැදිමිටේ තරමටයි දිග කියලනෙ කියන්නේ.

හැබැයි උපුල් මලිගේ නුවණ නම්, හැඳිමිටේ තරමට වඩා, යාර ගානක් දිග බව ඔප්පු කරලා පෙන්නුවා.

"මේක නීති විරෝධී ආනයනයක්. මේ ගෙන්නලා තියෙන්නෙ, කිරිපිටි නිෂ්පාදනයට අවශ්‍ය වන, කිරි නිපදවන අමුද්‍රව්‍ය වගයක්. ඒවට රජය මෙයාලට අවසර දීල නෑ. ඒ නිසා මේ කිරිපිටි අමුද්‍රව්‍ය තොග නිදහස් කරන්න බෑ " උපුල්මලී කෙලින්ම කිව්වේ, අන්න එහෙමයි.

"මේ ප්‍රශ්නෙ, පහුගිය සතියේ දුර දිග ගියා වැඩියි. කිරිපිටි තොගය, රාජසන්තක කරලා, සත්ත්ව ආහාරවලට විකුණලා දාලා, ඒකෙන් තෑගි මුදල් අරගන්න, රේගුව උත්සාහ කරනවා කියලයි, කිරිපිටි නිෂ්පාදකයෝ කියන්න ගත්තේ. නීතියට වංගුවක් ගහලා, තහනම් භාණ්ඩ ලංකාවට ගේන්න, තමන්ගත් උත්සාහය ගැන, ඔවුන් කතාවක් නෑ.

කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු එමටයි කියන ගමේ කතාව, කොයි තරම් ඇත්තද කියලා, අපිට මතක් උනේ, අන්න ඒ කතාව අහනකොට...

මේ කෝක වුනත්, අපට නම් ඇතිවුණේ, බයක් හා සැකයක්

"එතකොට දෙයියනේ දේශීය කිරි එලදෙනුන්ගෙන් නිපදවන, දේශීය කිරිපිටි කියන සන්නාමය යටතේ, අපි මෙච්චර දවසක් බීල තියෙන්නේ, පිටරටින් ගෙන්නපු දේශීය කිරි ද ?

ඒක මහා හතරබීරි කතාවක්... "පිට රටින් ගෙන්නන අමුද්‍රව්‍ය වලින් හදන දේශීය කිරි" .

කොහොමද ඒක ?

දේශපාලන වාර්තාකරු