දේශගුණ තර්ජනය ජනාධිපති වේලාසන හඳුනාගත්තා - රුවන්

දේශගුණ තර්ජනය ජනාධිපති වේලාසන හඳුනාගත්තා - රුවන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම" සකස් කළේ ගෝලීය ක්‍රියාකාරකම් හමුවේ අනාගතයේදී අප රටට බලපාන දේශගුණික ගැටළු කල්තියා හඳුනාගත් නිසා යැයි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ දින දෙකක් පුරා පවතින මෙරට වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළ වැටීම පිළිබඳව අද (09) ජනාධිපති කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්ය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

වායුගෝලයේ ඇතිවූ කැලඹිලි සහගත තත්ත්වය හමුවේ උතුරු ඉන්දියාවේ පවතින වායු දුෂණ ගැටළු කිහිපයකට මෙරටට ද මුහුණදීමට සිදුව තිබෙනවා. මෙවැනි සිදුවීම් කල් තියාම දුටු නිසා ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස පිළිබඳ කතිකාවක් ආරම්භ කළා.
වායු දුෂණය රටේ ජනතාවගේ සෞඛ්‍යයට මෙන්ම කෘෂිකර්මාන්තයට ද බලපානවා. විශේෂයෙන් දරුවන්ට සහ වැඩිහිටියන්ට එහි බලපැම් එල්ල වෙනවා. එම නිසා පාසල් දරුවන් එම තත්ත්වයෙන් වළක්වා ගැනීමට පාසල් නිවාඩු දීමට කටයුතු කළා. කාර්යාල සේවක පැමිණිමේ ද යම් අඩුවක් ඇති බව වාර්තා වෙනවා.
මේ සියල්ල රටේ ආර්ථිකයට සෘජුව බලපානවා. එම නිසා තමයි ජනාධිපතිතුමා හරිත ආර්ථිකයක් ගැන කතා කළේ. අපි මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවේදි සාකච්ඡා කළා. දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපනය කිරීමට ද සැලසුම් කළේ මේ අනුවයි. අපි ඉතා ඉක්මණින් මේ කටයුතු සිදු කරනවා. ලෝකයේ දියුණු රටවල ක්‍රියාකරකම්වල අනිසි බලපෑමට ලක් වන්නේ අපි වගේ කුඩා රටවල්. එම කරුණ ද ජනාධිපතිතුමා COP 27 සමුළුවේදි මතු කළා.
ජනාධිපතිතුමා දිගින් දිගටම මේ පිළිබඳ කතා කරන්නේ රටක් ලෙස අපට අනාගතයේ මුහුණදීමට සිදුවන බරපතළම අභියෝගය දේශගුණික විපර්යාස වීම නිසයි. ජනාධිපතිතුමා මේ පිළිබඳ එදා කතා කරද්දී හිනා වුන බොහෝ දෙනෙකුට අද මෙහි යථාර්තය වැටහී ඇතැයි මම සිතනවා. එම නිසා මේ වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස ‍මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න