Language Switcher

V2025

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් !

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (13) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි දක්වා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍ය අංශයට පමණක් නොව පෞද්ගලික අංශයට ද විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන්නේය.

මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳ මේ වන විටත් රජය අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ ජාතික ආහාර සුරක්ෂිතභාවය සඳහා ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ වැඩසටහන ඉතා වැදගත් බවයි. රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමත් සමඟ විදේශ විනිමය ද ඉතිරි කර ගත හැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ජනතාවට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය රටතුළම නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදිමට කටයුතු කරන බවත් පැවසීය.

පසුගිය කාලයේ ගත් ඇතැම් තීන්දු තීරණ නිසා රටේ කෘෂිකර්මාන්තයේ යම් පසුබෑමක් ඇති වූ නමුත් ඉදිරි මහ කන්නයට ගොවිජනතාවට ශක්තිමත්ව මුහුණදීමට හැකි පසුබිම මේ වන විට රට තුළ ගොඩනඟ ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය සහල් සම්පූර්ණයෙන් රට තුළම නිෂ්පාදනය කිරීමට ගොවි ජනතාව අද ශක්තිමත්ව සිටින බව පැවසූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරියේ ද ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක් ලබාදීමට කටයුතු කරන බව පැවසීය.