සංචාරක ආකර්ශනය වැඩිකර ගන්න ඉලක්කගත වැඩපිළිවෙළක් !

සංචාරක ආකර්ශනය වැඩිකර ගන්න ඉලක්කගත වැඩපිළිවෙළක් !

ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළි‍වෙළේ ප්‍රගතිය විමසා බැලීමට, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

සංචාරකයන්ට ආකර්ෂණීය සහ සුව පහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට අදාළව දැනට සකස් කර තිබෙන සැලසුම් සහ ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ භූමිකාව පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසූ අතර ඒ වෙනුවෙන් දැනට ගෙන ඇති පියවර සහ නව ප්‍රවණතා පිළිබඳ ඔවුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණි.

ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ අනුමැතිය ලද ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව සංචාරක අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන විසින් 2025 වසර දක්වා වූ උපාය මාර්ග සැලැස්මක් සකස් කරමින් සිටින බවත්, මේ වන විට එහි කටයුතු 95%ක් පමණ අවසන් කර ඇති බවත්මෙහිදී සඳහන් කෙරිණ.

පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගනිමින් ඉහළ පෙළේ හෝටල් පාසලක් මෙරට ඉදිකිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙරටට පැමිණෙන සංචාරයකන්ගේ නවාතැන් පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ඓතිහාසික පෙනුමක් සහිත දැනට භාවිතයට නොගන්නා ගොඩනැඟිලි සහ බංගලා පිළිබඳ සොයා බලා වාර්තාවක් සකස් කරන ලෙසත් මෙතෙක් සංචාරක අවධානයට ලක් නොවූ ස්ථාන හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් මෙන්ම සංචාරක කලාපවල ක්‍රියාත්මක කළ හැකි නව ව්‍යාපෘති පිළිබඳ සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

නව ආයෝජන සඳහා හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් (Investment Infrastructure corporation) ස්ථාපිත කිරීමටත්, ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට කවුන්සිලයක් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආයෝජන කලාප මෙන්ම සංචාරක කලාප සහ තාක්ෂණ කලාප ද ඒ යටතට පත්කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය. ඒ අනුව පළාත් 09 ආවරණය වන ආකාරයට පළාත් සංචාරක මණ්ඩල ස්ථාපිත කිරීමටත් එම එක් එක් මණ්ඩල යටතේ ප්‍රාදේශීය කමිටු ස්ථාපිත කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

මෙහිදී අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  සඳහන් කර සිටියේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බවය.

තවද මධ්‍යම හා ඌව පළාත්වල සංචාරක අවධානය යොමු නොවූ ස්ථාන රැසක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා විශේෂයෙන් මධ්‍යම පළාත තුළ වායු දූෂණය අවම බැවින් තිරසර සංචාරක කලාපයක් ලෙස එම පළාත සංවර්ධනය කිරීමට ඇති හැකියාව ද පෙන්වා දුන්නේය.

මෙරට ගුවන් තොටුපොළ සහ උද්‍යානවල තදබදය අවම කරමින් සංචාරකයන්ට පහසුකම් සැලසීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී.පී. හේරත් යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහු ද, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සභාපති කාවන් රත්නායක  ඇතුළු එහි සෙසු සාමාජිකයන් මෙන්ම නිලධාරීහු පිරිසක් මෙමඅවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න