ඒ කියන්නෙ ඒ පොත් දෙක එළියට දැම්මම වෙන දේ තමයි උතුරේ ඉන්න දෙමළ තරුණ තරුණියන්ගෙ ඔළුවට ආපහු සැරයක් දෙමළ ඊළාම් රාජ්‍ය ගැන ඔළුවට එනව.
ඊට පස්සෙ මේ අවුරුදු තිහක් තිස්සෙ තිබිල යාන්තම් ඉවර කරගත්ත යුද්ධෙ වගේ එකක් ආපහු පටං ගන්නව. ඒ විතරක් නෙවේ මේ පොත් ටික ලංකාවේ ඥානයල ඇතුළු වර්ගවාදී සංඝයන් ගෙ අතට ගියාම එකම විනාසය යි. ඒ ගමන ආපහු අර ඉස්සර වගේ වෙනව. දකුණේ වර්ගවාදය ඇවිස්සෙනව. ඒ පොතක ඊළාම් සිතියම තියෙනව. උතුරෙත් ආපහු ඊළාම් ඉල්ලල ආයුධ අතට ගන්නව .ඒ නිසා එවැනි තත්වයක් ඇතිවෙන එක රටට වගකිව යුතු ආණ්ඩුවක් විදියට කටයුතු කරන්න ඕන. දෙයක් වෙන්නට පෙර එය වැළැක්විය යුතුයි.
කිසිසේත්ම නැවැත මේ රට තුළ වර්ගවාදයකට ඉඩක් නැත. ඕන නම් තව දුරටත් දාර්ශනික ආස්තානයක සිට ලියුවහොත් "දේවල් " ඉවත් කල යුත්තේ භාෂාවෙනි. අන්න ඒ නිසා මේ ඉතිරි පොත් එළියට දාන්න බෑ. ඔන්න ඕකයි කෙටියෙන්ම කතාව.
යාපනයේ සිංහල ලකුණ
ඒක කොහොම උනත් මට එක එක ඒව මතක් වෙනව. අවුරුදු තිහක යුද්ධයකින් පසු තත්ත්වය කියන්නෙ වෙඩි හඬ බෝම්බ මළමිනී නැති වටපිටාවක් වුනාට මිනිසුන් ගෙ හිත් ගින්නෙන් ඇවිළෙන, වේදනාබර මතක පැටැව්ගහන, කාංසාවෙන් පාවවෙන් දුකෙන් කලකිරීමෙන් කේන්තියෙන් පවතින තත්ත්වයක්. ඉස්සර චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලෙ මංගලගෙ මූලිකත්වයෙන් උතුරට සාම පා ගමනක් ගියා. වව්නියාවෙන් එහාට යන්න දුන්නෙ නෑ ගිය හැමෝටම. එදා අපට හම්බ උනා යාපනේ පැත්තෙ ඉඳල එහේට ආපු අපේ වයසෙ කොල්ලො කෙල්ලො. ඒ අයත් ආවේ සාමය ඕන යුද්ධය එපා කියල. අපිත් ගියේ යුද්ධය එපා සාමය ඕන කියල. අන්න එදා හම්බ වුණ සිවරාජන් කිව්ව එදා තමාලු සිංහලයෙක් ඇස් දෙකට දැක්කෙ. මට ඒක හරියට ඔළුවට ගියේ නෑ. පස්සෙ කතා කරනකොට තේරුණා එයාල සිංහල කියල හිතන් ඉඳල තියෙන්නෙ ආයුධ පතුරං කරේ එල්ලං හිටිය සිංහල යුද බටයො. ඒ කාලෙ එල් ටී ටී එකේ හිටිය ගොඩාක් තරුණ කොල්ලන්ට "සිංහලයා" කියනකොට ඔළුවට එන්නෙ තමන්ට උඩිං බෝම්බ දාන, තමන්ගෙ පැත්ත අල්ලගන්න තමන්ගෙ හතුරා. ඒ කියන්නෙ සිංහලය! මට මතකයි සිවරාජන් ඇතුළු තව ගොඩක් අය අපව අතගාල බැලුව. එයාල එදා තමයි ආයුධ නැති නිකං සිංහලයෙක් දැක්කෙ.

උඩ බලාගෙන පාසල් යෑම
මට තව මතක් වෙනව ක්‍රිෂ්ණන් කිව්ව කතාවක්. එයාල ඉස්කෝලෙ ගියේ බිම බලං නෙවේ අහස දිහා බලං. අහසෙන් එන බෝම්බ පුරවගත්තු ප්ලේන් හෙලිකොප්ටර් සද්දෙ එනකොට ම බංකර්වලට රිංගන හැටි. එයාලගෙ ගෙදර අක්කටයි මල්ලිටයි ක්‍රි ක්‍රිෂ්ණන්ටයි පාඩම් කරන්න පොළොව යට බංකර් තිබ්බ කතාව. මට මතක් වෙනව නලාජනී කිව්ව එයාගෙ අක්ක එල්ටීටී එකෙන් අරං ගියා, අයියයි තාත්තයි දෙන්නම යුද්ධෙන් මැරුණ කියල . අත- පා නැති, අංගවිකල සහෝදර සහෝදරියො තමන්ගෙ ඉස්කෝලෙ කුඩු පට්ටම් වෙන හැටි බලං හිටපු මතක... තමන් ගෙ මුළු ජීවන චර්‍යාවම වෙනස් කරපු අමිහිරි කතා... තමන් ගෙ අක්කව දූෂණය කරල මරපුව... මේ වගේ කතා කොයි තරම් නම් තියෙනවද දෙවියනේ.
ලේඛක ලේඛිකාවන්ට මගහැර යා නොහැකි තිස්වසර
එදා යුද්ධයෙන් අනන්ත අප්‍රමාණ බැට කෑ දරුවන් අද වැඩිහිටියො. මේව ලියවෙන්නෙ නැතුව තියේවි ද...? ලියන්න පුළුවන් එවුන්ගෙ පෑන්වලින්. අනෙක අපි බලන්න ඕන එදා සමාජ වටපිටාව. ඔය යාපනයට ලයිට් ටීවී ඩෙක් විතරක් නෙවේ බ්ලූ පටි බෙදුවෙත් රනිල්. එල් ටී ටී එක දෙකට කැඩුවෙ රනිල්. රනිල් තමයි මහින්දට පොළොව හදල දුන්නෙ. යාපනේ ඉස්සර කරුවලයි. සන්නිවේදනයක් නෑ. හෑන්ඩ් ෆෝන් නෑ. ඊ මේල් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ. ෆේස් බුක් නෑ. අනෙක යාපනේ වෙනමම පැත්තක්. කැලේක මැද්දෙන් යන දිග ගමැනක්. ඒ කියන්නෙ සමාජ සංස්කෘතික දේශපාලන කතන්දරවලට අමතරව භූගෝලීය පිහිටීමේ සාධක පවා බලපෑව. එල් ටී ටී එක: මුහුදේ බලය, පොළොවේ බලය, ගුවන් බලය විතරක් නෙවේ නීති අධිකරණ සහ පරිපාලනමය ව්‍යුහය නිර්මාණය කරගත්තෙත් ස්වයං නිර්ණය අයුතිය සඳහා අවශ්‍ය සාධක එකතු කරගන්න ඕන නිසා. ඒ සියල්ල කුඩු වෙලා ගියා. යුද්ධය දිණුම්. ඒත් තාම අර තුවාල තියෙනව. යාපනයේ දෙමළා ගෙ නිර්මාණ කියන්නෙ ඒ අවුරුදු තිහ. ඒ අවුරුදු තිහ මග ඇරල එන්න බෑ පොත් ලියන උන්ට. ඒව ලියවෙන්නම ඕන.

මාලිමාවේ දුර්වල තැන
ඇටයක් පැළවෙන්න පොළොවක් ඕන; වතුර, ඉර, හුළං ඕන. ඊළමක් බිහිවෙන්න පරිසරයක් ඕන. ඒ පරිසරය කියන්නෙ මිනිස්සුන්ගෙ සිතුවිලි වහන එකක් නෙවේ; සිතුවිලි උඩට එන්න අරින එකක්. ඒව ටේබල් එකට ගන්නයි ඕන; ඒව සංවාදයට ගන්නයි ඕන. ඊළාම් සිතියම තිබ්බ නිසා තහනම් කරන ඒව මහ ගොබ්බ වැඩ. ඒව මේ ගූගල් එකේ ඕන තරම් තියෙනව. කවුරුත් මතක තියා ගන්න ඕන මේ තාක්ෂණික යුගයක් බව. කිසිම නිවුස් එකක් වහන්න බෑ විතරක් නෙවේ තව ඉස්සරහට පොත් පවා නැති වෙනව. කඩදාසි පොත් යනු පෞරාණික භාණ්ඩ බවට ඌණනය වෙනව . අනෙක තමයි දෙයක් ප්‍රබල වෙන්නෙ එය වළක්වන තරමට. දැනටමත් මාලිමා ආණ්ඩුව මේක බලයක් කරල ඉවරයි. අදහස්වලට බය වෙලා නූතන දේශපාලනය කරන්න බෑ කියන එක මාලිමා ආණ්ඩුව මතක තියා ගන්න ඕන. කතිකා දේශපාලනය තුළ තවම මෙයාල වීක් !
අපට බැරිද ඉතිරි පොත් දෙක තහනම් කරපු පොතේ මොන හරියට ද කියල දැන ගන්න. ලබන සතියෙ දීප චෙල්වම් එනව දකුට... බලමු...
Sarath Premathilaka
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
