ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ නිමා වූ සංචාරය

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ නිමා වූ සංචාරය

රිය අනතුරකට ලක්ව මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී අභවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සදහන් කළේ ඔහු අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවය.

අනුරාධපුර ප්‍රදේශයේ රූගත කිරීමක් අවසානයේ යලි පැමිණමින් සිටි අවස්ථාවේ තලාව මාර්ගයේ මොරගොඩ නම් ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථයේ වන අලියකු ගැටීම නිසා සිදු වූ අනතුරින් බරපත තුවාල ලැබු ජැක්සන් ඇන්තනී වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි. 1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මිය යන විට 65 වන වියෙහි පසුවුණි.

මෙරට ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය ඔහු රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ විශිෂ්ට මාධ්‍යවේදියෙකි. තව ද මොහු රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස ද සිය හැකියාවන් පෙන්නුම් කර තිබේ.

සිනමාවට අසහාය සේවයක් කළ මෙතුමාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවකි.

සිනමාවේ ද වේදිකාවේ ද රූපවාහිනියේ ද සූර ලෙස කරක් ගැසූ ජැක්සන් ඇන්තනී නම් මහා සංචාරකයා දිවි ගමනේ සංචාරය නිමාකර ගොස් ඇත. ඔහු කල කී දෑ මෙරට සමාජයේ කාලාන්තරයක් පුරා පවතිනු ඇත.

ජ්‍යෙෂ්ඨ රංගධර ජැක්සන් ඇන්තනීට මොක්සුව ලැබේවා...

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න