අති විශිෂ්ට, ආශ්වාදනීය නවකතාවක් වන "ගොළු හදවත“ කෘතියේ ජීවමානව හුන් සුගත් නම් පරමාදර්ශී ප්‍රේමවන්තයා යළිත් මා තුළ පුනර්ජන්මය ලබන්නේ සුවිශිෂ්ට ලේඛක, සාහිත්‍යශූරී, අධිනීතිඥ ඩබ්ලියු. ඒ. අබේසිංහ සුධීමතුන්ට පිං සිද්දවෙන්නයි.
ඒ එතුමන් සමග පැවැති හෘදයාංගම සම්භාෂණයක දී යි.
ස්ථානය:
මරදානේ ටවර් රඟහල පේනතෙක් මානයේ පිහිටි සුපතල " ෂාලිමාර් " අවන්හලයි.
දැනට පොත් 400 ක් පමණ ප්‍රකාශයට පත්කොට ඇති මේ අසිරිමත්, ප්‍රවීන ගත්කරුවා අභියස නොම්මර එකේ දුහුනෙකු වන මම මීවිත තොල ගාමින්, එතුමන්ගේ සොඳුරු අත්දැකීම් පිළිබඳව වශීකෘතව අසා සිටියෙමි.
මොන තරම් වාසනාවක්ද...?
අමරණීය ප්‍රේමවන්ත කරුණාසේන ජයලත් නම් සුන්දර මානවවාදියා අබේසිංහ මහත්තයා ගේ අතිශය සමීප ළෙන්ගතු මිතුරකුව සිටි සමය ගැන රසාලිප්ත තොරතුරු රාශියක් අසා මම අමන්දානන්දයට පත්වීමි.
අබේසිංහ මහත්තයා මෙසේ කියයි.
"කුමාර... කරුණාසේන ජයලත් කියන්නේ අප්‍රමාණ මිනිසෙක්... ආදරය වෙනුවෙන් ම උපන්, හරිම ආදරණීය මිනිසෙක්. මධුවිතින් සප්පායම් වී මා හා දොඩමළු වෙමින් ඔහු පැවසූ ආදරණීය කතන්දර අදත් මට මහා සාහිත්‍යයක් බඳුයි. ඔහු ගේ ඇඟ පුරාම දිව්වේ ආදරය. එතරම් ළෙන්ගතු මිනිසුන් හරිම විරලයි. කුමාර... ඇත්තටම කරුණාසේන ජයලත් කියන්නේ ගොළු හදවතේ සුගත්ම තමයි..."
අබේසිංහ මහත්තයා ගේ කටහඬින්ම මා ඇසූ මෙවදන් සමූහය තවමත් මගේ ආත්මය තුළ නින්නාද වෙමින් අපූර්ව ප්‍රේමණීය උන්මාදයක් තුළ මා මෝහනයට පත්කරයි.
අද පාන්දර 3 ට විතර ඇහැරී උණු උණුවේ කෝපි කෝප්පයක් තොල ගානා අතරේ, ආදරණීය අබේසිංහ මහත්තයා විසින් මා තුළ පුනර්ජනනය කළ ගොළු හදවතේ සුගත් සහ ජයලත් මහතා මගේ සාංසාරික කාව්‍යමය විඥාන ධාරාව තුළ මෙසේ විසංයෝජනයෙන් තොරව සුසංයෝජනය වූහ.
ගොළු හදවත සුන්දර නවකතා පොත
තබා තිබෙන විට පොත් මේසයක් මත
පරිච්ඡේද මැද විඳ විඳ කඳුළු තෙත
සුගත් කෙසේ වාවාගන්නේ ද හිත
සිරව සිටිය මුදු මුද්‍රිත පිටු අතර
සුගත් අකුරු යට කලබල විය නිතර
සිටිනු බැරි ම තැන වැකි අතරෙහි වැතිර
සුගත් පොතෙන් එළියට පැන්නා මිතුර
මහත් සෙනේ දුන් ළතැවුල් දරාගෙන
රැගත් සුරා විතකින් දුක පෙරාගෙන
නොතිත් හැඟුම් දහරින් ළය තෙමාගෙන
සුගත් පනී අවසන් පිටු ඉරාගෙන
කතා පොතින් එළියට පැන්නට පස්සේ
සුගත් දුවයි බඩවැටි හූමිටි ඔස්සේ
පඳුරු ලලා වෑහෙන හංකිති අස්සේ
ඇවිත් බසයකින් පිටකොටුවට බැස්සේ
අඹ දඹ රඹ විලිකුන් සුවඳින් තුටුව
ලඹ දෙන මොනරුන් සිය සෙබඩුන් කැටුව
තඹ දොයිතුවකින් හද ඔකඳව නැටුව
කුඹ ගස් උඩ මල් පීදෙන පිටකොටුව
පිත දවනා උඩ කරණම් ආර්ථික
සිත සොයනා අති මනරම් සූර් එක
දත විදහා කෘන්තක සහ චාර්වක
අත වැනුවා කොලෝනියල් බාර් එක
අවන් හලේ හිඳගෙන අඳුරු ම කොනක
සුගත් හෙමින් වටපිට බලනා ඉමක
නෙතින් දුටුව දේ අදහාගත නොහැක
සිටී ජයලතුන් කිමිදී මුනිවතක
ඈත කෙළවරේ අසුනක බර වෙමිනී
හිඳී සුපෙම් ලේඛකයා මධු මතිනී
අනේ සුගත්ට ද හරියට දුක හිතුණී
වහා දිව ගියා ඔහු වෙත සෙනෙහසිනී
අහා නැගිට ජයලත් පෙරට ම එන්නා
හඬා ගෙන ම සුගතුත් ඇඟට ම පැන්නා
දයා නොහිම් මිනිසත් ගුණ කඳ පෙන්නා
බදාගෙන ම හැඬුවා සුපසන් දෙන්නා
සිඹිමින් නළල අපමණ මුදු දයාවෙන
සොබමන් සිතින් විඳිනා දුක කියාගෙන
පපුවෙන් උනා එන හැඟුමන් බෙදාගෙන
මහඬින් ඉකිගසා හැඬුවා බදාගෙන
සුගත්:
සුගත් වින්ද දුක නුඹ හද වින්දා ද
රැගත් සුරා විත මූදට නැව්වා ද
රුවැත්තියක මතකය හද දැව්වා ද
මටත් වඩා ජයලත් නුඹ බිව්වා ද
කරුණාසේන ජයලත්:
කඩදාසිය උඩ අකුරින් ලිව්වාට
ගොළු හදවත උහුලාගනු බැහැ රෑට
මගෙ අකුරුම මගෙ පපුවට ඇන්නාට
සුගතේ නුඹ හා ඇය පළි නෑ ඊට
සුගත්:
සුගත්ගේ ද දම්මිගේ ද චරිත මවා
නුඹත් ගේම ලිව්වෙ ම ඇල්වතුර නිවා
පෙමත් සමග හදවත් සක්වළෙහි යවා
ලුණුත් පැණිත් කැලතූ නුඹ තමයි බුවා
කරුණාසේන ජයලත්:
තුරුල විඳින උණුහුම උඩුකුරු වීමෙන්
තරලසාර මූදක හද ඉපිලීමෙන්
පරල වෙවී කකියන ආලෙක නාමෙන්
වෙරළු අහුර මිරිකමි තාමත් හීනෙන්
සුගත්:
රට්ටු පාන හුරතල් අඳුරන්ට බැරී
තට්ටු කරපු තරමට දොර අරිනු බැරී
මට්ටු නොවෙන සිතුවිලි උහුලන්ට බැරී
අච්චු ගහපු පොත ඇතුළේ ඉන්ට බැරී
කරුණාසේන ජයලත්:
ඉරට හොරා බඹරුන් මල් පැණි ඉරුවා
හඳට හොරා සාවුන් රෑ නිදි මැරුවා
හදට හොරා හැඟුමන් වාවනු බැරුවා
නුඹට හොරා මං දම්මිට පෙම් කෙරුවා
සුගත්:
පොත ඇතුළේ හිත පතුලේ බිජු රැක්ක
වත කමලේ මුදු කොපුලේ හස දැක්ක
හිත රිදිලා ඇවිලී යන කල බොක්ක
මට තරහයි ජයලතුනේ නුඹ එක්ක
කරුණාසේන ජයලත්:
සසර දුවන ගමනක සකි කොහිද ඉම
නතර නොවන සිහිනෙක හුදු අරුත කිම
අපට වඩා සුවිසල් අප විඳපු පෙම
නුඹට වඩා විඳවන්නේ ලියපු මම
සුගත්:
එමට උනන සිතුවිලි නොදකීය ඉම
කමටහනකි මට සුසිනිඳු සුසුදු ළැම
කුමට අසමි යළි දිවියක අරුත කිම
පෙමට වඩා සොඳුරුද සකි බිඳුණ පෙම
කරුණාසේන ජයලත්:
රළු දිවිය ම වැලපුණ මුදු හඬා දොඩා
තලු මරනා පෙම මීරකි කඳුළු කඩා
මුළු දිවිය ම තුළ කාලය පමණි කුඩා
ගොළු හදවත සුවිසාලය මටත් වඩා

කුමාර හෙට්ටිආරච්චි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
