Image

දුමින්ද දිසානායකගේ රන් ආලේපිත ගිනි අවි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

දුමින්ද දිසානායකගේ රන් ආලේපිත ගිනි අවි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

මෑතකදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ (2027) ජනවාරි 29 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර, සාක්ෂි විභාගය පැවැත්වීම සඳහා 2027 ජනවාරි 29, පෙබරවාරි 18 සහ පෙබරවාරි 26 යන දින නියම කරන ලදී.

නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාව අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සිද්ධියට අදාළ පළමු විත්තිකාර කාන්තාව වන කසකස්ථාන් ජාතික කාන්තාවගේ විදේශ ගමන් බලපත්‍රය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදා හැරීමට බාධාවක් නොමැති බවත් එය මුදා හැරීමට නියම කරන බවත් විනිසුරුවරයා දන්වා සිටියේය. එලෙස ලබා ගන්නා විදේශ ගමන් බලපත්‍රය සති දෙකක් ඇතුළත මෝසමක් මගින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.

තවද, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ 1 සහ 3 යන සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කළේය.

2025 මැයි 20 වන දා වැල්ලවත්ත ප්‍රදේශයේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න