Image

වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය දෙසැම්බර් 10ට කල් යයි!

වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය දෙසැම්බර් 10ට කල් යයි!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 10 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (23) දින නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර, විත්තිකරුවන් දෙදෙනාම විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

සාක්ෂි අංක 01 අද අධිකරණයේදී සාක්‍ෂි ලබාදෙනු ලැබූ සාක්ෂි අංක 1 සහ 2 ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

 

අධි චෝදනා කියවීම සහ ලේඛන පිළිබඳ විවාදය

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී සැකකරුවන්ට අදාල අධි චෝදනා පත්‍රය අධිකරණයේදී කියවා දෙනු ලැබූ අතර සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශාවින්ද්‍ර ප්‍රනාන්දු තම සේවා දායකයන් එම අධි චෝදනාවන්ට නිවැරදිකරුවන් බවයි අධිකරණයට දන්වා සිටියේ.

සිද්ධියට අදාළව පළමු විත්තිකාර සහ දෙවන විත්තිකරු  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශාවින්ද්‍ර ප්‍රනාන්දු සහ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට දන්නා සිටියේ අධි චෝදනා පත්‍රයේ ගොනුකර තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලේඛන මේ වෙන තෙක් විත්තිකාර පාර්ශ්වයට ලැබී නොමැති බැවින් අද දින සාක්ෂි විභාගය සිදු කිරීමට විරෝධතාවය පළ කරන බවයි.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂකවරිය පවසා සිටියේ අද දින මෙම සිද්ධියට අදාළව සාක්ෂි විභාගය ආරම්භ කිරීමට තිබූ බවත්, සිද්ධියට අදාළ සියලු ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. එම ලේඛන මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් ලබා ගැනීමට හැකියාව තිබියදී නඩු විභාගය කල් දැමීමට විත්තිකාර පාර්ශවය ක්‍රියා කරන බවද අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීතිවරිය අධිකරණයට දන්වා සිටියාය.

එම අවස්ථාවේදී දෙවැනි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මෙලෙස පවසා සිටියා.

"production ෆයිල් එක අපිට කඩන්න බැහැ. ඒක කඩන්න පුළුවන්නේ අල්ලස් එකේ නිලධාරීන්ටන්ට විතරයි. අධිකරණයට දීපු කොපි අපිට දුන්නේ නෑ ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නෙ"

එම අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කර සිටියේ  එම ලිපි ලේඛන ලබා ගැනීමට අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

 

අල්ලස් කොමිසම සහකාර නිතී අධ්‍යක්ෂවරිය

"අපරාධ නඩු විධාන සංග්‍රහයේ 162 වගන්තිය ප්‍රකාරව නඩු විභාගයට අවශ්‍ය සියලු ලේඛන අවස්ථා තුනකදී විත්ති පාර්ශවයට ලබා දීමට අපි කටයුතු කරලා  තිබෙනවා."

 

ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස්

" ලැයිස්තු ගත නොකරන ලේඛන ගාස්තු සහිතව ලබාදීමටද කටයුතු කරන්න ලෙසත් තව දිනයක් පුර්ව නඩු විභාගයට ලබා දීමට නොහැකි බවයි වාර්තාවේ දක්වා තිබෙන්නේ."

 

අල්ලස් කොමිසමේ සහකාර නිතී අධ්‍යක්ෂවරිය

" අධිකරණ රෙජිස්ට්‍රාර්වරියගෙන් ගන්න කියලා නියෝග කර තිබෙනවා. අනික ස්වාමීනී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දැන් මාස තුනකට වැඩි කාලයක් වෙනවා. අවස්ථා තුනකදීම ලේඛන නොලැබුණු බව දන්වා නඩුවේ සාක්ෂි විභාගය කල් දමා තිබෙනවා."

 

ජනාධිපති නීතිඥ ශාවින්ද්‍ර ප්‍රනාන්දු

" අධි චෝදනා පත්‍රයට අනුව අධි චෝදනා ගොනුකර ඇත්තේ  45 වැනි ශිෂ්‍ය බට නිලධාරීන් බදවා ගැනීමත් සම්බන්ධයෙන් සිදු වූවැයි කියන යම්කිසි විෂමතාවයක් සම්බන්ධයෙන්. ඊට අදාළ ගොනුව අල්ලස් කොමිසමේ තිබෙන බවට විශ්වාසයි එම ගොනුවේ සාධාරණ නඩු විභාගයත් සඳහා එම සියලු ලේඛන අපට ලැබිය යුතු අතර එම ලේඛන පරිශීලනය කිරීමෙන් අනතුරුවයි සාක්ෂි විභාගය සිදුවිය යුත්තේ. "

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අධිකරණයට දන්වා සිටියේ පළමු සහ දෙවන විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ලේඛන ලැබී නොමැති බවට විරෝධතාවයක් පළ කළ බවයි. නමුත් 2026/8/26 දින 1,2 චූදිතයන් අධිකරණය පෙනී සිටි  අතර අධි චෝදනා භාර දෙනු ලැබුවා. ඉන්පසුව පූර්ව නඩු විභාගය පවත්වනු ලැබුවා. අදට යෙදී තිබුණේ සාක්ෂි විභාගය සිදු කිරීමටයි. ඒ අනුව ඉදිරි දින විත්තිකාර පාර්ශවයට අවශ්‍ය සියලු ලේඛන ලබා දීමට අධිකරණයේ රෙජිස්ටර්වරියට නියෝග කරනවා. යනුවෙනි.

 

පළමු සාක්ෂිකරුගේ සාක්ෂි

ඉන්පසු අධිකරණයේදී සිද්ධියට අදාල සාක්ෂි විභාගය ආරම්භ වූ අතර අද දින පළමු වන සාක්ෂිකරු වන විශ්‍රාමික කොමදෝරු ඉන්සි රංජිත් ප්‍රේමරත්න අධිකරණයට සාක්ෂි ලබා දෙනු ලැබුවා.

ඔහු සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ 2006 වර්ෂයේදී ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරී ලෙස සේවය කළ බවයි.

ඒ වන විට නාවික හමුදාපති වශයෙන් වසන්ත කරන්නාගොඩ සිටි බවද සාක්ෂිකරු අධිකරණයට දන්වා සිටියා.

වර්ෂයකට එක් වතාවක්  අමාත්‍ය අංශය මගින් ලබාදෙන සේවකයන් බදවා ගත යුතු කාඩ්රි එකට අනුව  නාවික හමුදාවේ ශිෂ්‍ය බට නිලධාරීන් බදවා ගැනිමට අවශ්‍ය අයදුම්පත් කැඳවන බවයි සාක්ෂිකරු අධිකරණයට සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේ.

එම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් ලෙස උසස් පෙළ විභාගය ( කලා,වාණිජ,විද්‍යා සහ ගණිත) සහ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සිංහල  දෙමළ ඇතුළු විෂයයන් හයක සම්මානයක් එකවර  ලබා තිබිය යුතු බවත් අයදුම් පත්‍රයට අදාල දැන්වීම්වල දක්වා තිබු බවයි සාක්ෂිකරු පවසා සිටියේ.

තවද, ක්‍රීඩා  ක්ෂේත්‍රයට විශේෂ සැලකිල්ලක් දක්වා නොතිබූ බවත් ඕනෑම අවස්ථාවක විදේශ ගත  පුහුණුවකට යෑමට අවස්ථාවක් ලැබිය හැකියාවක් ඇති බවද එහි දක්වා තිබු බවද සාක්ෂිකරු පවසා සිටියා.

සාක්ෂිකරු අධිකරණයේදී සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් මෙලෙස පවසා සිටියා.

" 2006 වර්ෂයේ  නාවික හමුදාවේ කැඩෙට් නිලධාරීන් බදවා ගත්තා 45 වන බදවා ගැනීම තමයි සිදු කරේ. ඒ සම්බන්ධයෙන් ගොනුවක් ආරම්භ කළා. ශාරීරික අධ්‍යාපනික ඇතුළු වෙනස් සුදුසුකම් අන්තර්ගත දැන්වීමක් පුවත්පත්වල පළ කරා. යම් යම් අවස්ථාවලදී එම දැන්වීමේ අන්තර්ගත සුදුසුකම් වෙනස්වීමත් සිදුවෙනවා. දැන්වීම සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යොමු කිරීමෙන් අනතුරුවව තමයි පුවත්පත්වලට පළ කිරීමට ලබා දෙන්නේ"

එම අවස්ථාවේදී ජනාධිපති නීතීඥ ශාවින්ද්‍ර ප්‍රනාන්දු  අධිකරණයට මෙලෙස දන්වා සිටියා.

" 45 වන නාවික හමුදාවට ශිෂ්‍ය බට නිලධාරීන් බදවා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන ගොනුව පරීක්ෂා කළා. එහි කාර්යය සටහන් අයත් පත්‍රිකාවක් නැහැ. එක පැත්තක්ම හිස්. මෙම ගොනුවල එක කාර්ය සටහන්වල පත්‍රිකාවක්වත් නැහැ. මට හිතෙන්නෙ මේක කවුරු හරි හෝ විසින් මුල් පිටපත වෙනස් කළ සාදන ලද ගොනුවක් බව. එම නිසා  මම මෙම ලේඛනයට විරුද්ධ වෙනවා." යනුවෙන් දන්වා සිටියා.

 

"Y.K. රාජපක්ෂ" ගොනුව පිළිබඳ සාක්ෂි

සාක්ෂි මෙහෙයවීම සිදුකළ සහකාර අධ්‍යක්‍ෂක නීතිවරිය සාක්ෂිකරුගෙන් තවදුරටත් විමසා සිටියේ  එක් දැන්වීමක් පමණ පමණද පළ කරේ යන්නයි.

එම අවස්ථාවේදී සාක්ෂිකරු සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේ එක් දැන්වීමක් පමණක් නොව දැන්වීම් දෙකක් පළ කර ඇති බවයි.

එම අවස්ථාවේදී සහකාර අධ්‍යක්ෂක නීතිවරිය ලංකාදීප සන්ඩේ ඔබ්සව්, සිළුමිණ පත්‍රවල පල කරන ලද දැන්වීම් අධිකරණයට පෙන්වනු ලැබුවා.

එම කාලසීමාව තුළ යම්කිසි විශේෂ සිදුවීමක් සිදු වුවාද  යන්න සහකාර අධ්‍යක්ෂ නීතිවරිය සාක්ෂිකරුගෙන්  විමසා සිටියා.

එම අවස්ථාවේදි සාක්ෂිකරු මෙලෙස පවසා සිටියා.

"ඔව් විශේෂ සිදුවීමක් සිදුවුණා. මම මගේ කාර්යාලයට යනකොට ලියුම් කවරයක් සහ එහි ලිපි ගොනුවක් තියෙනවා දැක්කා මේසය උඩ. නාවිකයෙක් ඇවිත් මට කිව්වා මේ ෆයිල් එක අධ්‍යක්ෂ ජනරාල්ට ගිහින් දෙන්න කියලා කිව්වා කියලා.  මම ලියුම් කවරේ විවෘත කරා ඒකෙ අයදුම් පතක් තමයි තිබුණේ මම මොනවද තිබ්බේ කියලා කියෙව්වේ නැහැ."

 

සහකාර අධ්‍යක්ෂක නීතිවරිය :

ඔබේ කාර්යාල කාමරයේ තවත් අය සිටිනවාද?

 

සාක්ෂිකරු :

නැහැ වෙනත් කවුරුත් නැහැ මගේ මේසෙට ඉස්සරහින් කොම්පියුටර් එකක් තියෙනවා අවශ්‍ය වුණොත් ළමයෙක් එනවා ඒකෙ ටයිප් කරන්න එච්චරයි.

 

සහකාර අධ්‍යක්ෂක නීතිවරිය :

ඉන්පසුව එම ලිපිය සහ ලිපි ගොණුව අධ්‍යක්ෂක ජෙනරාල් වෙතට ගිහින් දුන්නාද?

 

සාක්ෂිකරු

"ඔව් මම සෑම දෙයකටම උපදෙස් ගන්නේ මගේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා වන  සිරිවර්ධන මහතාගෙන් . මම එතුමා වෙතට  මෙම ලියුම විතරක් ඇරන් ගියා. ලිපි ගොණුව තියලා.   ඒ වෙලාවේ මට කිව්වා " වැඩේ කරගෙන යන්න කියලා" මම ඊට පස්සේ ලියුම දීලා ආවා.ඊට පස්සේ මං මගේ කාර්යාලයට ඇවිත් ලිපි ගොනුව පරීක්ෂා කරලා බැලූවා. ඒකෙ  Y.K  රාජපක්ෂ කියලා තිබ්බා."

 

සහකාර අධ්‍යක්ෂක නීතිවරිය :

සියලුම ලේඛන මෙහෙම ඔබේ කාර්යාලයට එනවද මෙම අයදුම්පත් වලට සම්බන්ධ නැත්නම් වෙනත් ක්‍රියා පිළිවෙතක් තිබෙනවාද?

 

සාක්ෂිකරු:

" නැහැ මගේ කාර්යාලයට එන්නේ නැහැ.  මගේ යටතේ තියෙන කාර්යාලයට එනවා. ඒකෙ සිටින නාවිකයන් විසින් සුදුසුකම් තියෙන ලේඛන සුදුසුකම් ඇති ලේඛන වශයෙන් වෙන් කරනවා. ඡායා පිටපත් එවලා තියෙනවා අපි ඒවා තාවකාලිකව අයදුම් පත්‍රයේ ගලපා බලනවා."

 

සහකාර අධ්‍යක්ෂක නීතිවරිය :

Y.K රාජපක්ෂ සම්බන්ධයෙන් එලෙස ඡායා පිටපත් එවා තිබුණද?

 

සාක්ෂිකරු:

නැහැ ස්වාමීනි අයදුම් පත්‍රයේ පමණයි ලිපිගොනුවේ තිබුණේ.

සිද්ධියට අදාලව අද දින අධිකරණයේ සාක්ෂි විභාගය අවසන් වු අතර ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්ෂි 1 සහ 2 ට අවවාද කළා.

සිද්ධියට අදාල නඩුව දෙසැම්බර් 10 යළි කැඳවිමට නියමිතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න