Language Switcher

V2025

නව පාසල් වාරය ආරම්භයට පෙර නිල ඇඳුම්

නව පාසල් වර්ෂය ආරම්භ වන 2024 පෙබරවාරි 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පවසයි.

එම සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට හැකි වූ බවත් පෙර වර්ෂයේ ද 50%ක ප්‍රදානයක් ලබා දීමට මුලින් එකඟ ව සිටි චීන රජය, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත 70%ක දක්වා වැඩි කර එම ප්‍රදානය ලබා දුන් බවත් මෙවර ද එය 80% දක්වා තව දුරටත් ඉහළ නංවා ලබා දීමට කටයුතු කළ බවත් වැඩිදුරටත් පැවසී ය.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ මෙරට චීන තානාපති ෂී ෂැං හොං  විසින් චීන ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට අද (11) නිල වශයෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දුන් අවස්ථාවේ දී ය.

මෙම ප්‍රදානයෙන් මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, මේ වන විට මෙරටට ලැබී ඇති අතර දෙවැනි තොගය පෙබරවාරි 04 වන දා වන විට ලැබී අවසන් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. සෑම සිසු දරුවකුට ම නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මකභාවයෙන් ඉහළ නිල ඇඳුම් ලබා දෙමින් සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීමේ අරමුණින් පළමු 80%ක ප්‍රදානය ලබා දෙන නිෂ්පාදකයාගෙන් ම ඉතිරි පාසල් නිල ඇඳුම් රෙදි 20%ක ප්‍රමාණය ද මිල දී ගැනීමට රජය කටයුතු කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත  ප්‍රකාශ කළේ ය.

මීට අමතර ව උසස් පෙළ විෂය ධාරා සහිත සියලු‍ පාසල් ආවරණය වන පරිදි පාසල් 3000ක ප්‍රමාණයක් ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය අනුග්‍රහය ද චීන රජය මෙරටට ප්‍රදානය කරන බව මෙහි දී කී අමාත්‍යවරයා, තාක්ෂණයත් සමග ඉදිරියට යන නව අධ්‍යාපන ක්‍රියාවලියට එය මහත් පිටිවහලක් වන බව ප්‍රකාශ කළේ ය.

රට ආර්ථික වශයෙන් දුෂ්කර අවධියක පසු වන මෙවන් අවස්ථාවක පාසල් නිල ඇඳුම් ලබා දීමට වැය වන මුදලින් රුපියල් බිලියන පහක පමණ මුදලක් ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙන පරිදි චීන රජයෙන් ලබා දුන් මෙම සියලු‍ ප්‍රදානයන් පිළිබඳ චීන රජය කෙරෙහි සිය කෘතවේදීත්වය පිරිනමන බව මෙරට චීන තානාපතිවරයා හමුවේ සුසිල් ප්‍රේමජයන්ත  පවසා සිටියේ ය.

එමෙන් ම පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතුවලින් ද 80%ක් පමණ මේ වන විට සිදු කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා නව පාසල් වාරය ආරම්භ වන විට එම පෙළ පොත් ලබා දීමට කටයුතු කරන බව ද පැවසී ය.