Language Switcher

V2025

කන්තලේ මගඩියේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ගැන කැෆේ ප්‍රධානියා කියන කතාව

කන්තලේ සීනී කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘කන්තලේ ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපෘතිය‘ යෝජනා කෙරුණි.  එහි ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 100  කි.  කන්තලේ සීනි සමාගම යනු ඉඩම් හා අතහැර දමන ලද ගොඩනැගිලි හා යන්ත්‍ර‍ කිහිපයක් පමණී.  ලංකා රජයෙන් මේ ව්‍යාපෘතියට ස්ථාපනය වන සමාගමේ කොටස් 51%  ක් ලැබේ.  ඒ වෙනුවෙන්, ලංකා රජය දෙන්නේ මොනවාද? සත්‍ය වශයෙන්ම කිසිවක් නැත!

කථාව කෙටියෙන් කියමි.  

එම්ජී ෂුගර්ස් සමාගමෙන් දැවැන්ත මුදලක් (අල්ලසක්) උදුරා ගන්නට ආචාර්ය අයි.කේ. මහානාම උත්සාහ කළේය.  මේ ගැන එදා දුෂණ විරෝධී පෙරමුණ කථා කළේය.  සමාගම ඉල්ලා සිටියේ ගොඩනැගිලිවල ඉතිරි කොටස් නව හා යන්ත්‍ර‍ නව සමාගමට දෙන ලෙසය.  කිසිදු හේතුවක් නොදක්වා එදා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් මහානාම එයට විරෝධය පළ කළේය.   ඩොලර් මිලියන 100 ක ආයෝජනය නැවතුණි.  කන්තලේ  දියුණු කළ හැකි ආයෝජනය නැවතුණි.  

දැන් වසර දෙකක් පුරා ‘එම්.ජී. සුගර් හා රජය ‘ජාත්‍යන්තර බේරුම්කරණයට‘ ගොස් ඇත. රටට දැවැන්ත ආයෝජනයක් අහිමි විය. අල්ලසක් නිසා ආයෝජනයට බාධා කළ පුද්ගලයා හිටපු ඉඩම් ලේකම් ය.    

අත්අඩංගුවට පත් වන දෙවන පුද්ගලයා, දිසානායක ගේ පුත්‍ර‍යා මෙම ගනුදෙනුවේ මැදිහත්කරුය.  ඔහු විවාහ වී සිටින්නේ කුරුණෑගල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගේ දියණිය සමගිනි.   

රටට ඩොලර් මිලියන 100 ක ආයෝනයක් ගෙන ආ සමාගමට යන එන මං නැත.  මුදල් ද, ව්‍යාපාරය ද නැත.  කප්පම් කරුවෝ අල්ලස් ඉල්ලති. එය නොලැබෙන විට අහක යන ලෙඩ දමති. 

මෙයට මාස කිහිපයකට පෙර, ජනාධිපති ලේකම් කාර්යාලයට ‘ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍ර‍ධානී‘ තනතුරට පුද්ගලයෙකු අවශ්‍ය වන්නේය.  මාසයකට පෙර, එයට ආචාර්ය මහානාම යෝජනා වි එම තනතුර ලබන්නේය.  (මෙවන් දුෂිතයෙකුට ජනාධිපති කාර්යාලයේ තනතුරක් ලැබීම තුල ජනාධිපති කාර්යාලයේ අකාර්යක්ෂමතාව පිළිබද අදහසක් ලබා ගත හැකිය) 

ඔහු තමන් නැවතු තැනින්, පටන්ගන්නේය.  තමන් ජනාධිපති කාර්යාලයේ බැවින් ව්‍යාපාරය ඇරඹිමට අවශ්‍ය පහසුකම් සැලසිය හැකි බව කියා ඔහු ඉල්ලන්නේ කෝටි 60 කි (එය ඉඩම් ලේකම් සමයේ දී ඉල්ලු මුදලයි) පසුව එය කෝටි 10 ට පහත වැටෙන්නේය.  අද, අල්ලස් කොමිසම මුදල් දෙන විට අල්ලා ගන්නේ  එයින් කෝටි 2 ක් ලබා ගන්නට  පැමිණි  අවස්ථාවේ දී ය! 

අල්ලස් සිද්ධිය, මුලින්ම ප්‍ර‍සිද්ධ කළේ මාගේ සමාජ ජාලා පිටුව යි.  ඒ වෙන විට අල්ලස් මෙහෙයුම සිදු වී විනාඩි 45 ගත වී තිබුණි.  මෙවැනි සිදුවීමක්, වසන් කරන්න මැදිහත් නොවන ආයතනික ව්‍යුහයක් රට තුල ගොඩ නැගී ඇත.  

ජනාධිපතිවරයාගේ   ‘කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී,  හිටපු ජනාධිපතිවරියගේ ලේකම් (හා දැව සංස්ථා සභාපති) හා ඔහුගේ පුත්‍ර‍යා (එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගේ බෑනා ය) සම්බන්ධ අල්ලස් සිද්ධියකට පුද්ගලයින් අත්අඩංගුවට පත් වී ඇත. 

මේ කථාවේ අවසන් නැත.  

කීර්ති තෙන්නකෝන්විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානයහිටපු උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ