ජනපති සහ ඉන්දුනීසියානු සමුද්‍රීය කටයුතු සහ ආයෝජන ඇමති අතර හමුවක් !

ජනපති සහ ඉන්දුනීසියානු සමුද්‍රීය කටයුතු සහ ආයෝජන ඇමති අතර හමුවක් !

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan)  අතර හමුවක් අද (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී පැවැත්විණි.

ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative), නීල ආර්ථිකය (Blue Economy) මෙන්ම මුහුදු පැලෑටි කර්මාන්තය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

එමෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණු අතර කඩොලාන වගා කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහයෝගීතා වැඩපිළිවෙළක් ඇති කර ගැනීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද අවධානය යොමු විය.

මෙම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් ද්විපාර්ශ්වික කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ඒ සඳහා ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳ ද සාකච්ඡා විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මින් මීට එක්ව සිටී අතර, ඉන්දුනීසියානු රජය නියෝජනය කරමින් එරට සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යාංශයේ ලේකම් අයෝධායි ජී. එල්. කලාකේ (Ayodhia G.L Kalake), වන හා පරිසර කළමනාකරණය පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය නානි හෙන්ඩියාර්ට් (Nani Hendiarti), යටිතල පහසුකම් සහ ප්‍රවාහනය පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය රහ්මත් කයිමුද්දීන් (Rahmat Kaimuddin), සමුද්‍රීය සම්පත් පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය ෆිර්මාන් හිදායත් (Firman Hidayat), දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ උපදේශක චෙරී නුර් සලිම් (Cherie Nur Salim) යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න