Language Switcher

V2025

UB ෆිනෑන්ස් රන්සිත්ගේ කුණු වැඩක්

ගහෙන් වැටුණු මිනිහට ගොනෙක් ඇන්න විට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නැත. මේ කියන්න යන්නේද එවැනි කතාවක්ය.

සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත ෆිනෑන්ස් ඇන්ඩ් ගරන්ට් සමාගම දැනට වසර නවයක පමණ කාලයක පටන් ඇත්තේ අක්‍රීයව ය. 2008 වසරේ එහි බිඳ වැටීම ආරම්භ වූ අතර මේ දක්වා මුල්‍ය ආයතයෙ හි තැන්පත්කරුවන් 2697 දෙනෙකු විසින් තැන්පත් කළ රුපියල් මිලියන 1,863 කට ආසන්න මුදල එම තැන්පත් කරුවන්ට නොගෙවීම නිසා සිදුව තිබෙන විශාල ඛේදවාචයක්ද ඇත. එය වාර්තා වන්නේ දැනටමත් එම තැම්පත්කරුවන් අතරින් 57 දෙනෙකු සියදිවි හානිකරගෙන තිබීම සහ 12 කට ආසන්න ප්‍රමාණයක් ස්වභාවික මරණයට පත්වූ බවට මරණ සහතික සටහන් වෙමින්ය.

එසේ මියගිය කිසිවෙක් ලෝකය අල්ලන්න සිතා එෆ් ඇන්ඩ් ජී ආයතනයේ මුදල් තැම්පත්කල උදවිය නොවේය. ඇත්තම කියනවා නම් කීයක් හෝ වැඩිපුර පොලියක් ලබා සිය සැදෑසමය කාටවත් අතනොපා ජීවත්වීම, දරු මල්ලන්ගේ හෙට දවස වෙනුවෙන් කීයක්හෝ වැඩිපුර ඉතුරු කරන්න අපේක්ෂාවෙන් එෆ් ඇන්ඩ් ජී සරණ ගිය උදවියය. එහෙත් ඒ සියලු දෙනාට අද සිදුව ඇත්තේ හූල්ලමින් අවසන් හුස්ම හෙළන්නටය. අසරණ කමේ අන්තිම කඳුළු බිඳු දරුවන්ට පෙන්වා දිවි ගමන අවසන් කරන්නටය.

ඒ අනුව මේ ඛේදවාචකයට ඉතිහාසයක් මෙන්ම වර්තමානයක් සහ අනාගතයක්ද ඇති බව පැහැදිලිය. ඒ කඩා වැටුණු එෆ් ඇන්ඩ් ජී සමාගම නැවත ගොඩනගා තැම්පත්කරුවන්ට සාධාරණයක් කරන්නට පැවරු පාර්ශවද අද වන විට ඒ මුලික කටයුත්ත දැනුවත්ව පැහැර හැර අනෙක් සේරම වැඩ කරමින් සිටින නිසාය.

මේ පැවරීමටද ඉතිහාසයක් ඇත. එසේම ඊටද අනාගතයක් සහ වර්තමානයක් ඇත. මේ ලියන්නේ ඒ යුග එකතුකළ එෆ් ඇන්ඩ් ජී ඛේදවාචකයේ වත්මන් පැතිකඩය.

එෆ් ඇන්ඩ් ජී සමාගම අස්ථාවරත්වයට පත්වීමෙන් අනතුරුව 2009 වසරේ මාර්තු 31 වනදා එම සමාගමේ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවට පවරන්නට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීමෙන්ය. අනතුරුව මෙහි කළමනාකාරීත්වය ආරක්ෂාකාරීව සහ සක්‍රීයව සිදුකිරීම සඳහා මර්චන්ට් බැංකු සභාපතිවරයා යෝජනාවක් ගෙනවිත් ඇත. ඒ අදාළ තැම්පතු වලින් 60%ක් කොටස් වෙළඳපොල ආයෝජනය කරන්නටත් ඉතිරිය තැම්පතු සඳහා 9%ක පොලීයක් ගෙවීමටත්ය.

ඒ සඳහා තැන්පත්කරුවන්ද එකඟවී ඇත. නමුත් පසුව එෆ් ඇන්ඩ් ජී ආයතනයේ කළමනාකරණය යුනියන් බැංකුවටත් නැවත එය එම බැංකුවේම අනුබද්ධ යූ බී ෆිනෑන්ස් සමාගමටත් පැවරිණ.

වත්මන් ඛේදවාචකය ආරම්භ වන්නේ එතැන් පටන්ය. මේ වන විට යුනියන් බැංකුව සහ යු බී ෆිනෑන්ස් ආයතනය සිය වෙළඳපොල සාර්ථකත්වය දක්වමින් විවිධ දැන්වීම් පළකර සිටියත් මේ දක්වා එෆ් ඇන්ඩ් ජී සමාගමේ තැන්පත්කරුවන් වෙනුවෙන් කිසිඳු පොලී මුදලක් ලබාදී නොමැත. අවම වශයෙන් මියගිය තැන්පත්කරුවන් සතු හිමිකම් පත් ඔහුගේ දුවා දරුවන්ට පවරන ක්‍රම වේදයක් වත් සකස්කර නොමැත. එසේම සිය සැමියාගේ බරපතල රෝග තත්ත්වයක් හමුවේ රෝහල් ගාස්තු ගෙවීමට නොහැකිව තම තැන්පත් මුදල් ඉල්ලු බිරිඳකට යූ බී ෆිනෑන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී රන්සිත් කරුණාරත්න පිළිතුරු දෙන්නේ “මිනිස්සුන්ට කොහොමත් ලෙඩ හැදෙනවා ඒත් සල්ලි ඕන නම් ගිහින් මහා බැංකුවෙන් ඉල්ලා ගන්න” යනුවෙන්ය.

කොහොමටත් යූ බී ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරීයා සිතා සිටින්නේ යුබී ෆිනෑන්ස් තම අම්මා අප්පා වෙතින් තමන්ට ලැබුණු දායාදයක් ලෙසය. එසේ සිතා රන්සිත් කරුණාරත්නගේ මැදිහත්වීමෙන් සිදුවූ තවත් කැත වැඩක් මීට පෙරද අප හෙලිකරා ඔබට මතක ඇත.

ඒ එෆ් ඇන්ඩ් ජී ප්‍රොපර්ටි ඩිවලර්පස් සමාගමේ දේපලක් වූ නමුත් මේ වන විට යූබී ෆිනෑන්ස් කළමනාකරණය යටතේ ඇති මීගමුව පෙරිය මුල්ල කොන්ටිනන්ටල් රෙසිඩන්ස් නම් ඉඩම් කොටස් ව්‍යාපෘතියේ බිම් කොටස් 22 කින් යුතු පර්චස් 220 ක පමණ ඉඩමක, එහි ඇතැම් බිම් කොටස් වලට අයිතිකරුවන් ද සිටියදී එම ඉඩම වෙනත් ආයතනයට හොර රහසේ විකුණා තිබීමය.

මෙම හොර ඉඩම් ගනුදෙනුව ගැන හෙළිදරව් වූයේ පසුගිය අගොස්තු මාසයේදී එෆ් ඇන්ඩ් ජී සමාගම වෙතින් බ්ලොක් 65 ඉඩම මිලදීගත් පාර්ශවය ඊට ඇතුල්වීමේදී ඊට ඉඩ නොදී පිටස්තර පාර්ශ්වයක් විසින් වලකා ලීම මතය. එහෙත් 2009 වසරේ බ්ලොක් 65 කොටස මිලදීගත් පාර්ශවය ඊට අදාළ ගෙවීම් සිදුකල බවට ඒ එෆ් ඇන්ඩ් ජී ප්‍රොපර්ටි ඩිවලර්පස් සමාගම නිකුත් කල ලේඛන පවා ඇත. එසේම අදාළ ඉඩම 2009 වසරේ තමන් මිලදී ගත බව දැක්වීමට ලියකියවිලි, වරිපනම් අංකයක් පවා මීගමුව මහ නගර සභාව විසින් නිකුත් කොට තිබේ.

කෙසේ වුවත් අයිතිකරුට ඉඩමට ඇතුල්වීමට ඉඩ නොදෙමින් පිටස්තර පාර්ශවය සඳහන් කර ඇත්තේ අදාළ ඉඩම ඇතුළුව තවත් ඉඩම් කොටස් 22ක් තමන් මිලදීගත් බවය. ඔහු ඒ. වර්ණකුමාර නම් වන අතර ඔහු මෙම පර්චස් 220 කට ආසන්න ඉඩම මිලදි ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 1184 ක මුදලකටය.

නමුත් 2009 වසරේ බ්ලොක් 65 කොටස මිලදීගත් පාර්ශවය ඒ සඳහා රුපියල් ලක්ෂ 120 ක් වැයකර ඇත. එම වටිනාකමට අදාළව මෙම පර්චස් 220 කොටස තක්සේරු කරනවා නම් අවම වශයෙන් ලක්ෂ 2640ක් යූ බී ෆිනෑන්ස් සමාගම සතුවිය යුතුය. එහෙත් වසර නවකට පෙර වූ මිලටවත් මෙම ඉඩම් ගනුදෙනුව සිදුව නොමැත. එසේම මීගමුව ප්‍රදේශයේ වසංගතයක් පැතිරී හෝ ඉඩම් මිල පහල නොගිය බැවින් වර්ණකුමාර සහ යු බී ෆිනෑන්ස් අතර සිදුවූ ගනුදෙනුව අන්ත දුෂිත අයුරින් සිදුව ඇති බව පැහැදිළිය.

 නමුත් යූ බී ‍ෆිනෑන්ස් ආයතනය මෙම ඉඩම නිසි වටිනාකමට විකුණා දැමීම සිදු වූයේ නම් තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් හා පොලී මුදල වලින් විශාල ප්‍රමාණයක් පහසුවෙන් ගෙවා දැමීමේ හැකියාව තිබිණි.

මෙම ගනුදෙනුව ගැන සමාගම පවසන්නෙ ඒ බී කන්ස්ට්‍රක්ෂන් සමාගම මෙම ඉඩමෙහි සිදු කළ ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 420 ක ගෙවීමක් සිදු කිරීම විය යු‍තුව තිබූ බවත් ඒ හිලව් කර ගැනීම සඳහා මෙම ඉඩම ඔහුට අඩු මුදලකට විකුණා දැමූ බවය. එය එසේ සිදු කළත් ඒ විකුණා දැමීමෙහි මිල අවම වශයෙන් ලක්ෂ 2000 ක්වත් විය යුතුව තිබිණි.

අනෙක් අතට 2009 වසරේ මිලදීගත් ඉඩම් කොටසක්ද වර්ණ කුමාරට විකිණීම තුළ පෙනී යන්නේ එෆ් ඇන්ඩ් ජී තැම්පත්කරුවන්ගේ අවම වශයෙන් පොලී මුදල් ගෙවීමට වඩා තදියමක් යූ බී ෆිනෑන්ස් කෙරුමන්ට වර්ණකුමාර ගැන තිබී ඇති බවය.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව වර්ණකුමාරගේ ණය හිලවු කිරීමේ මුවාවෙන් මෙම ඉඩම් කොටස් මහදවාලේ කොල්ලකන්න ඉඩදී ඇත්තේ යූ බී ෆිනෑන්ස් හී ප්‍රධාන විධායක රන්සිත් කරුණාරත්නය. ප්‍රිය පාඨකය, එෆ් ඇන්ඩ් ජී තම්පත්කරුවකු බරපතල අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුලත් කර රෝහල් බිල ගෙවන්න තරම් මුදලක් ඉල්ලු අවස්ථාවේ “ගිහින් මහ බැංකුවෙන් ඉල්ලනවා” කිව්වේද මේ රන්සිත්ය.

වාර්තා වන ආකාරයට මේ වන විට යූ බී ‍ෆිනෑන්ස සමාගමේ සියලු කටයුතු ඔහුගේ අධිකාරිත්වයට යටත්ව සිදු වෙමින් ඇත. නම රන්සිත් වුවත් කුණුවූ සිතක්වත් නොතිබෙන ගානට කරන මේ කැත වැඩ යූබී ‍ෆිනෑන්ස් සමාගමේ සභාපති ඇලෙක්සි ලොවෙල් හෝ යුනියන් බැංකුවේ පාලන අධිකාරිය දන්නේ දැයි අප දන්නේ නැත. කොහොමටත් මෙවැනි මජර ගනුදෙනු කරන්නට ඔවුන්ගේ ආශීර්වාදය සක්විති සිත් ඇති රන්සිත්ට ලැබෙනවාද නැද්ද යන්න අපටත් අදාළ නැත. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවට මේ ගැන සොයා බැලීමේ වගකීමක් ඇත. එහෙයින් ඔවුන් වහා මේ රන්සිත් කරන කුණු වැඩ සේම රන්සිත්ගේ කුනුවැඩ නිසා අමාරුවේ වැටී ඇති මිනිසුන්ගේ ප්‍රශ්ණය ගැන විමර්ශනය කල යුතුව ඇත.

එතෙක් අපට කියන්නට ඇත්තේ එෆ් ඇන්ඩ් ජී තැන්පත්කරුවන්ගේ සිට ඒ සමඟ ගනුදෙනු කල පාර්ශව අද මුහුණ දෙන යම් අර්බුදයක් තිබේද ඊට ප්‍රධාන වගකිව යුත්තා වන්නේ යූ බී ෆිනෑන්ස් හී ප්‍රධාන විධායක නිලධාරියා වන රන්සිත් කරුණාරත්න බවය. රන්සිත් ගේ මේ කුණු වැඩ ගැන බලධාරීන් ගන්නා තීරණ මොනවාද යන්න ගැන හෙටටත් අප අවධානයෙන්ය.

කාශ්‍යප කොතලාවල (සත්හඬ)