Language Switcher

V2025

මාධ්‍ය වාරණය 21 වන සියවසට අදාළ නෑ - අමාත්‍ය මංගල සමරවීර

දේශපාලනය සහ ජනමාධ්‍ය අතර ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය සාධයක් බවත් ජනමාධ්‍ය සහ දේශපාලකයින් කරට අතදාගෙන වැඩ කිරීමට යාමෙන් දෙපාර්ශවයේම කටයුතු නිවැරදිව සිදුනොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) පුවත්පත් ආයතනයේ පැවති ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මාධ්‍ය වාරණය සම්බන්ධවද අදහස් දැක්වූ අතර 21 සියවසේ සන්නිවේදන ක්ෂේත්‍රය ලබා ඇති තාක්ෂණික දියුණුව හමුවේ වාරණය යන්න අදාළ නොවන දෙයක් බවත් මාධ්‍ය තහනමක් ගැන සිතීම පසුබෑමක් බවද පැවසීය.

එහි දී අදහස් දැක් වූ මංගල සමරවීර අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මේ දේශනය ගැන කල්පනා කර කර ඉන්න අවස්ථාවේ මට පොතක් කියවන්න ලැබුණ Constructive news කියල. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව කළ සමීක්ෂණයක්. එහි සඳහන් වෙන්නේ 2017 අවුරුද්දේ ජනතාවට විශ්වාසවන්තම වෘත්තියන් පිළිබඳවයි. ඉහළින් ම සඳහන් වන්නේ හෙද වෘත්තිය ඊළගට වෛද්‍ය වෘත්තිය. අන්තිම කෙළවරේ සඳහන් වෙනවා දේශපාලනය. ඒක එහෙයි මෙහෙයි කියල වෙනසක් නැහැ අපි කවුරුත් ඒක පිළිගන්න දෙයක්. නමුත් ඊට උඩින් තියෙන්නෙ ජනමාධ්‍යවේදීන් කියලයි. අපි දෙගොල්ලොම වගේ එක ම බෝට්ටුවක ඉන්නෙ. ඇමරිකාවෙ නෙවෙයි මෙහෙ සමීක්ෂණයක් කළත් මේ හා සමාන ප්‍රතිචාරයක් ලැබෙයි කියල මම හිතනවා. දේශපාලනඥයන්ට වගේ ම ජනමාධ්‍යවේදීනුත් විශ්වාසය අඩුවෙන් දිනාගත්ත පිරිසක් බවට පත් වෙලා තියෙන්නෙ ඇයි කියල අපි සමීක්ෂණය කරන්න ඕනෙ. ජනමාධ්‍ය කියන්නෙ රටක් පවත්වාගෙන යන ප්‍රධාන කුලුනක්. දේශපානඥයො කඩාවැටෙද්දි ජනමාධ්‍ය කියන කුලුනත් කඩාගෙන වැටෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයකට විශාල පහරක් එල්ල වෙන්න පුළුවන්.

වෙබ් අඩවියක පුවතක් පළ වෙන්නෙ යන්නෙ තත්පර කිහිපයක් නිසා වෘත්තීය ජනමාධ්‍යවේදීනුත් ඒ සමග තරග කරන්න යාමෙන් සත්‍ය යට යනව ද කියන දේ ගැනත් අපි හිතන්න ඕනෙ.

මට මතක් වෙනවා ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ මහතා ලියපු ශ්‍රී ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම කියන පොතේ වාක්‍ය කිහිපයක්. ‘රජයක් මගින් යම් රටක පුවත්පත් පාලනය කරයි නම් එය එම රටේ නිදහසේ අවසානයයි. එමෙන් ම පුවත්පත් පළ කිරීමට සම්බන්ධ භාරදූර ජාතික වගකීම්වලට ගරු නොකර යම් පුවත්පත් පළ කරයි නම් එය ද රටක නිදහසේ අවසානයයි. ඒ වගේ ම එතුම ඒ පොතේ අන්තිමට මෙහෙම ලියනවා. නිදහස් රටක් නිදහස සුරක්ෂිත කර ගැනීම සඳහා ඇති හොඳ ම මාර්ගය නම් ආණ්ඩුව සහ පුවත්පත අතර පවතින ගැටුමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයකි. දෙපක්ෂය සදාකාලික සටන් කරනවා විනා යම් විදියකින් එක් පක්ෂයක් ජයග්‍රහණය කළහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජයයි. දේශපාලනයේ සහ ජනමාධ්‍යයේ ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක්. ගැටුමක් තියෙන්නෙ ඕනෙ. අපි දෙගොල්ලො කරට අතදාගෙන රාජකාරි කරන්නෙ ගියොත් අපි දෙගොල්ලගෙම වැඩේ හරියට සිද්ධ වෙන්නෙ නෑ. අපට මතකයි පසුගිය යුගයදි ජනමාධ්‍යයට වඩා රජය කොතරම් ශක්තිමත් වුණා ද, ජනමාධ්‍යවේදීන් කී දෙනෙක් අපට අහිමිවුණා ද කියල. ඒ නිසා ම ජනමාධ්‍යයන් රජයේ හීලෑ ගෝලබාලයන් ලෙස කටයුතු කරපු කාලයකුත් තිබුණ. නමුත් අපට යළිත් වතාවක් ඒ තත්ත්වය සමබර කරන්න අපට පුළුවන් වුණා මේ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ. තොරතුරු දැනගැනීමේ පනත වැනි පනත් අපි සම්මත කරගෙන, ජනමාධ්‍යවේදීන්ට තමන්ගෙ මතය ඕනෑම විදියකට පළ කිරීමට අවස්ථාව ලබා දීල තියෙනවා. තහංචි මොකුත් ජනමාධ්‍යවේදීන්ට දාල නැහැ.

ඊයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ දී එතුම ඇහුවෙ කාටත් තේරෙන දෙයක්. ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් බොහෝ පිරිසක් පැමිණිලා, ජනමාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේද විතරක් නෙවෙයි ලෝකේ කිසිම රටක ද බාධා පැමිණිවීමට එරෙහිව සාකච්ඡා කරපු උත්සවේ කෝ අපේ ජනමාධ්‍යවේදී මහත්වරු. නමුත් මේ කර්තෘවරුන් ම මාධ්‍ය නිදහස නැති කිරීමට වගකිව යුත්තන් ම යළි වතාවක් කරළියට ගේන්න දිවා රෑ වැඩ කරනවා.

රජයේ ජනමාධ්‍ය පෞද්ගලික ජනමාධ්‍යට වඩා සාධාරණව අද ප්‍රවෘත්ති ලබා දෙනවා. නමුත් අපි කියල තියෙනව ගැහුවොත් පොඩ්ඩක් ගහන්න කියල. අපටත් මොකක් හරි කියන්න අයිතියක් තියෙනවනෙ. නමුත් එදා වගේ අපේ විරුද්ධවාදීන්ගේ අම්මල තාත්තල මතක් කරල බනින්නෙ නෑ. ඒකාලෙ ගුවන්විදුලි සංස්ථාවේ හිටිය මහත්තයෙක් එයා මගෙ අම්ම මතක් කරල තියෙනවා සිය වතාවකට වඩා, මට නපුංසකයා කියල තියෙනව දෙසිය වතාවකට වඩා. ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්තිවලින් පස්සෙ තිබුණ තවත් ඒ වගේ වැඩසටහනක්.

ලංකා ඊ නිවුස් තහනම ගැනත් වචනයක් කියන්නම්. අද කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බැහැ. තහනම් කරන්න උත්සහ කිරීමත් පසු බෑමක් විතරයි. කිසියම් වෙබ් අඩවියක් තාක්ෂණයෙන් යම් කලකට හෝ නවත්තන්න පුළුවන් වුණත් ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒව කියවන්න පුළුවන්. ලංකා ඊ නිවුස් එකේ ලිපි මම තාමත් කියවනව ඒ විදියට. ඒ නිසා වාරණය කියන එක 21 වැනි සියවසට අදාළ කාරණාවක් නෙවෙයි,”

IMG 9509

IMG 9518

IMG 9528

IMG 9534

IMG 9541

IMG 9562

IMG 9564

IMG 9582