මාක්ස් පවා මාක්ස්වාදියකු නොවන ලෙස අර්ථ දැක්විය හැකි ආකාරයට වංගිස සුමනසේකර විසින් ලාංකීය වාම දේශපාලන අවකාශය තුළ නිතර කතාබහට ලක්වන, බුද්ධිමය න්‍යාය සහ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අතර පරතරය ස්පර්ශ කරන අදහස් දැක්වීමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් සහ දයලෙක්තික විශ්ලේෂණයකින් බලන කල, එම ඉදිරිපත් කිරීම තුළ ප්‍රධාන න්‍යායික සීමා සහ පැහැදිලි පරස්පර කිහිපයක් හඳුනා ගත හැකි ය.
මාක්ස්වාදයේ සැබෑ ආත්මය ප්‍රායෝගික අරගලය තුළ ම පවතිනවා ද?
මාක්ස්වාදී න්‍යායට අනුව යමකු ගේ පන්ති ස්වභාවය සහ ඔහු ගේ දෘෂ්ටිවාදය සැමවිටම එක සමාන නොවේ. කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් ද මධ්‍යම පාන්තික හෝ ඉහළ ධනේශ්වර පසුබිමකින් පැමිණි අය වෙති. එම නිසා, "මධ්‍යම පාන්තික ජීවිත ගත කරන අයකුට" ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) න්‍යායික මාක්ස්වාදී ස්වරූපය විවේචනය කිරීමට ඇති අයිතිය හෝ හැකියාව ඔවුන් ගේ පන්තිය මත පමණක් පදනම්ව අවතක්සේරු කිරීම න්‍යායික වැරැද්දකි. ජවිපෙ මාක්ස්වාදී ද නැද්ද යන්න තීරණය කරන්නේ බුද්ධිමතුන් ගේ පන්ති පසුබිම මත නොව, ජවිපෙ සතු වර්තමාන දේශපාලන වැඩපිළිවෙළ, දේපළ අයිතිය පිළිබඳ ස්ථාවරය සහ පන්ති අරගලය පිළිබඳ ඔවුන්ගේ ප්‍රායෝගික භාවිතාව මත ය. වංගිස විසින් මෙම මූලික න්‍යායික සාකච්ඡාව මඟහැර, පැරණි X කණ්ඩායමේ හෝ රොහානියානු දේශපාලන ස්ථාවර මතක් වන පරිදි පුද්ගලයින් ගේ ජීවන රටාව වෙත අවධානය යොමු කර ඇත. මාක්ස් වාදී බුද්ධිමතුන් "පවත්නා පාලනය පෙරළා දැමීමට ප්‍රායෝගිකව සංවිධානය නොවන බවට ඔහු චෝදනා කරයි. නමුත් ජවිපෙ වර්තමානය වන විට (විශේෂයෙන් ජාතික ජන බලවේගය හරහා) ක්‍රියා කරන්නේ පවත්නා පාලනය විප්ලවීය ලෙස පෙරළා දැමීමට නොව, පවත්නා ධනේශ්වර රාමුව සහ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුළතින්ම පාලන බලය උරගා බැලීමට ය.

එබැවින්, පවත්නා ක්‍රමය විප්ලවීය ලෙස පෙරළා දැමීමට ක්‍රියා නොකරන ජවිපෙ, "මාක්ස්වාදී නොවේ" යැයි මාක්ස්වාදී බුද්ධිමතුන් පවසන න්‍යායික තර්කය නිවැරදි ය. එසේ තිබිය දී, එම බුද්ධිමතුන් ප්‍රායෝගිකව විප්ලව නොකරන බව කීම තුළින්, ඔහු විසින් ම ජවිපෙ සතු විප්ලවීය නොවන බව සහ මාක්ස්වාදී නොවන ස්වභාවය වක්‍රව සාධාරණීකරණය කරනු ලබයි. නමුත් න්‍යායිකව ගත් කල, සංවිධානය වී ක්‍රමයට එරෙහිව සටන් නොවැදීම බුද්ධිමතුන් ගේ සීමාවක් මිස, ජවිපෙ මාක්ස්වාදී ද නැද්ද යන්න පිළිබඳව ඔවුන් කරන විග්‍රහය වැරදි වීමට හේතුවක් නොවේ. බුද්ධිමතුන් ගේ ප්‍රායෝගික දුර්වලතාව පෙන්වා දීමෙන් පමණක්, ජවිපෙ සතු දේශපාලන මතවාදයේ න්‍යායික ගැටලු නිවැරදි යැයි ඔප්පු කළ නොහැකි ය.
ඔහුගේ මෙම පැහැදිලි කිරීම හරහා මාක්ස්වාදය යනු හුදු ආර්ථික හෝ දේශපාලන න්‍යායක් පමණක් නොව, එය මානව විමුක්තිය උදෙසා කෙරෙන සදාචාරාත්මක සහ ප්‍රායෝගික කැපවීමක් යන උත්තරීතර ස්ථාවරය මැනවින් ඉස්මතු කරයි. ඓතිහාසික විප්ලවයන් තුළ තිබූ කටුක යථාර්ථ (පාවාදීම්, කලකිරීම්) පිළිගනිමින්ම, මාක්ස්වාදයේ සැබෑ ආත්මය ප්‍රායෝගික අරගලය තුළම පවතින බව ඔහු තර්ක කරයි. කෙසේ වෙතත්, මෙම ස්ථාවරය දැඩි ලෙස ආරක්ෂා කිරීමට යාමේ දී ද තවත් පැහැදිලි න්‍යායික සීමා මතු වේ.
සාමාන්‍ය කම්කරුවකුට මාක්ස්වාදියකු විය නොහැකි ද...?

මාක්ස්වාදය යනු සදාචාරාත්මක කැපවීම් මත පමණක් පදනම් වූ ආගමක් නොවේ. එය සමාජ-ආර්ථික යථාර්ථ විද්‍යාත්මකව විශ්ලේෂණය කරන ක්‍රමවේදයකි. යමකු සටන් කළ පළියට ම හෝ මානව විමුක්තිය වෙනුවෙන් ජීවිතය පූජා කළ පළියට ම ඔහු මාක්ස්වාදියෙකු නොවේ. (උදාහරණයක් ලෙස ආගමික අන්තවාදීන් හෝ ජාතිවාදී සටන්කාමීහු ද තම අරමුණු වෙනුවෙන් උපරිමයෙන් ජීවිත පරිත්‍යාග කරති). එබැවින්, "සටන් කිරීම සහ කැපවීම" පමණක් මාක්ස්වාදයේ එකම නිර්ණායකය ලෙස ගැනීම න්‍යායික හිතළුවකි. පුද්ගලික අව්‍යාජභාවය සහ කැපවීම තිබු පමණින්, සමාජයක් වෙනස් කිරීමට නම් පවතින නිෂ්පාදන මාදිලිය සහ රාජ්‍ය ව්‍යුහය පිළිබඳ නිවැරදි න්‍යායික අවබෝධයක් තිබිය යුතු ය. න්‍යාය විරහිත හුදු ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අවසානයේ කෙළවර වන්නේ මහා විනාශයවලිනි.
මාක්ස්වාදය 'විශ්වීයත්වයක්' වන්නේ එය සෑම මනුෂ්‍යයෙකුටම පන්ති ක්‍රමයෙන් නිදහස් වීම සඳහා පොදු විද්‍යාත්මක මඟක් පෙන්වන බැවිනි. නමුත් ඔහුගේ තර්කයට අනුව, එම විශ්වීයත්වයට ඇතුළත් විය හැක්කේ "ජීවිතය අවදානමට ලක් කරමින් සටන් කරන පූර්ණකාලීන ක්‍රියාධරයින්ට" පමණි. මෙහි ඇති ගැටලුව නම්, සියල්ලන්ටම පොදු වූ "විශ්වීයත්වයක්" ගැන කතා කරන අතර ම, එයට ඇතුළු විය හැකි පිරිස ඉතා සීමිත "සුවිශේෂී" කණ්ඩායමකට පමණක් සීමා කිරීම යි. මේ අනුව, කර්මාන්තශාලාවක වැඩ කරන, තමන් ගේ දෛනික ජීවිතය ගැටගසා ගැනීමට සටන් කරන, නමුත් පූර්ණකාලීනව පක්ෂයක සංවිධානය වීමට නොහැකි සාමාන්‍ය කම්කරුවකුට ද මෙම තර්කය අනුව "අව්‍යාජ මාක්ස්වාදී ආත්මයක්" වීමේ ඉඩකඩ අහිමි වී යයි.
සක්‍රීය ක්‍රියාධරයකු නොවී න්‍යායික විනිශ්චයක් දිය නොහැකි ද...?
න්‍යායික විශ්ලේෂණයක දී වැදගත් වන්නේ ප්‍රකාශය කරන්නේ 'කවුද' යන්න නොව, එම ප්‍රකාශය 'සත්‍ය ද නැද්ද' යන්නයි. බුද්ධිමතා අව්‍යාජ මාක්ස්වාදියකු නොවීම හෝ ඔහු මධ්‍යම පාන්තික සුවපහසු ජීවිතයක් ගත කිරීම වෙනම විවේචනයකි. නමුත් ඔහු, "ජවිපෙ සතු වර්තමාන දේශපාලන-ආර්ථික වැඩපිළිවෙළ (විශේෂයෙන් ලිබරල් වෙළඳපොළ ක්‍රමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු ආදිය) මාක්ස්වාදී නොවේ," යැයි පවසන තර්කය විද්‍යාත්මකව නිවැරදි විය හැකි ය. බුද්ධිමතා ගේ පෞද්ගලික සීමා පෙන්වා දීමෙන් පමණක් ජවිපෙ පිළිබඳ ඔහු ගේ විවේචනයේ ඇති සත්‍යතාව අසත්‍ය කළ නොහැකි ය. ඔවුන් ''ජවිපෙ මාක්ස්වාදී නොවනවා කියා විනිශ්චය දෙන්නේ කෙසේද?" යන ප්‍රශ්නය හරහා යම් දේශපාලන විශ්ලේෂණයක් කිරීමට හෝ විනිශ්චයක් දීමට ඇති අයිතිය, අදාළ පුද්ගලයා ගේ සදාචාරාත්මක සුදුසුකම මත සීමා කිරීමට ඔහු විසින් උත්සාහ කරයි. මාක්ස්වාදය යනු විද්‍යාත්මක මෙවලමකි. සිතියම් විද්‍යාඥයකුට කන්දක් මුදුනට නොගොස් කන්දේ උස මැනිය හැකි සේම, බුද්ධිමතෙකුට ද සක්‍රීය ක්‍රියාධරයකු නොවී, ජවිපෙ ලේඛන සහ ප්‍රායෝගික හැසිරීම් නිරීක්ෂණය කර න්‍යායික විනිශ්චයක් දිය හැකි ය.
ඔහු පවසන්නේ ජවිපෙ සාමාජිකයා මාක්ස් වාදී බුද්දිමතාට අනුව මාක්ස්වාදී නොවන විට, බුද්ධිමතා ඊටත් වඩා මාක්ස්වාදී නොවන (විශ්වීයත්වයේ ආත්මයක් නොවන) බවයි.
මාක්ස්වාදයේ මූලික හරය වන්නේ ධනේශ්වර "නිෂ්පාදන සබඳතා" එනම් දේපළ අයිතිය, අතිරික්ත වටිනාකම සූරාකෑම, වැටුප් ශ්‍රමය) වෙනස් කිරීමයි. ජවිපෙ තුළ පවතින්නේ සාමූහික "සංවිධාන ආකෘතියක්" මිස ''විකල්ප නිෂ්පාදන සබඳතාවක්" නොවේ. ජවිපෙ සාමාජිකයින් තවමත් ජීවත් වන්නේ සහ යැපෙන්නේ ධනේශ්වර ආර්ථික ක්‍රමය ඇතුළත ය. එබැවින් හුදු සංවිධානමය සාමූහිකත්වය, ධනවාදයට විකල්ප නිෂ්පාදන ආකෘතියක් ලෙස සිතීම වැරදි වටහා ගැනීමකි. ධනේශ්වර ක්‍රමය තුළ විකල්ප ආකෘති වැඩි කිරීමට සහ එකතු කිරීමට උත්සාහ කිරීම, මාක්ස්වාදයට වඩා යුතෝපියානු සමාජවාදයට හෝ ලිබරල් ප්‍රතිසංස්කරණවාදයට සමාන ය. ධනේශ්වර රාජ්‍යය සහ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය පවතින තාක් කල්, ඒ තුළ ගොඩනගන කුමන හෝ විකල්ප සාමූහිකත්වයක් අවසානයේ දී ප්‍රධාන ධනේශ්වර වෙළඳපොළ විසින්ම ගිලගනු ලබයි.
සංඛ්‍යාත්මක දැවැන්තභාවය උත්කර්ෂයට නැංවිය හැකි ද...?

ඇත්ත,ජවිපෙ යනු ලංකාවේ ඇති "සංඛ්‍යාත්මකව දැවැන්තම සාමූහික අත්හදාබැලීම" බව සැබෑවකි. නමුත් මාක්ස්වාදී දයලෙක්තිකයට අනුව (ලෙනින්වාදී සංවිධාන න්‍යාය ද ඇතුළුව), සංවිධානයක විප්ලවීය ස්වභාවය මනින්නේ එහි "ප්‍රමාණය" හෝ සාමාජික සංඛ්‍යාව මත පමණක් නොව, එහි ඇති "දේශපාලන ගුණය" මත ය. සංවිධානයක් ප්‍රමාණයෙන් විශාල වන විට, එය පවතින ධනේශ්වර රාමුව තුළ නීත්‍යනුකූලව පැවතීමට සහ ඡන්ද පදනම රැකගැනීමට උත්සාහ කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස එහි මුල් "විප්ලවීය හරය" දියවී යා හැකි ය. එබැවින්, ජවිපෙ සතු සංඛ්‍යාත්මක දැවැන්තභාවය නිසාම එය "කොමියුනිස්ට්වාදී අත්හදාබැලීමක්" ලෙස උත්කර්ෂයට නැංවීම න්‍යායික සීමාවකි.
ජවිපෙ න්‍යායිකව සහ සංස්කෘතිකව ධනේශ්වර ජීවන රටාවලට ප්‍රතිරෝධය දක්වන බව සැබෑවකි. නමුත් මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් බලන කල, කිසිදු සංවිධානයකට ධනේශ්වර නිෂ්පාදන සබඳතාවලින් ‘පූර්ණ වශයෙන්’ මිදී සිටිය නොහැකි ය. පක්ෂයේ පූර්ණකාලීනයින් දෛනිකව පරිභෝජනය කරන්නේ, පක්ෂයේ මුද්‍රණාල හෝ ව්‍යාපාර ක්‍රියාත්මක වන්නේ සහ මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සම්පාදනය වන්නේ ධනේශ්වර වෙළඳපොළ ක්‍රමය ඇතුළත ම ය.
ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණයට අවශෝෂණය වීම වළක්වා ගන්නේ කෙසේ ද...?

මිනිසුන් එකට රඳවා ගැනීමට ජවිපෙ භාවිත කරන උපක්‍රම සහ උපායමාර්ග (උදා: පවුල් සංවිධාන, සුබසාධන සමිති, වෘත්තීය සමිති ජාල) විශිෂ්ට වුවද, ඒවා සැමවිටම මාක්ස්වාදී අරමුණක් වෙනුවෙන් ම පමණක් ක්‍රියාත්මක නොවේ. ඕනෑම දැවැන්ත ආගමික සංවිධානයක් හෝ දක්ෂිණාංශික ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් පවා මෙවැනිම උපක්‍රම භාවිත කරමින් මිනිසුන් ලක්ෂ ගණනින් එකට බැඳ තබා ගනී. එබැවින්, හුදු කළමනාකරණ ශක්තිය මාක්ස්වාදී ජයග්‍රහණයක් ලෙස ලඝු කළ නොහැකි ය. ජවිපෙ ධනේශ්වර අවශෝෂණයට ඔරොත්තු දී රැදී සිටින්නේ එහි ඇති "පටු, දැඩි, විනයගරුක සහ රහසිගත" කේන්ද්‍රීය ව්‍යුහය නිසාය. නමුත් ලංකාව වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් සහිත රටක මැතිවරණ හරහා බලය ලබා ගැනීමට නම්, පක්ෂයට තමන්ගේ එම පටු කේන්ද්‍රයෙන් මිදී මධ්‍යම පාන්තික, ලිබරල්, සහ ප්‍රාග්ධන හිමියන් ද ඇතුළු පුළුල් මහජන පදනමකට විවෘත වීමට සිදු වේ. වර්තමානය වන විට ජවිපෙ ජාතික ජන බලවේගය (NPP) හරහා රාජ්‍ය බලය ලබාගෙන ඇති සන්දර්භය තුළ, ඔවුන්ට පක්ෂයේ පැරණි "සංවෘත/ප්‍රතිරෝධී" ස්වභාවය තවදුරටත් පවත්වාගෙන යා නොහැක. බලය රඳවා ගැනීම සඳහා ඔවුන්ට රාජ්‍ය යාන්ත්‍රණය, බහුජාතික සමාගම්, සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන (IMF) සමග සමීපව වැඩ කිරීමට සිදු වේ. එබැවින්, ජවිපෙ මෙතෙක් කල් රැකගෙන ආ ‘විප්ලවිය හරය’ රැක ගැනීමට ගියහොත් ඔවුන්ට රාජ්‍ය පාලනය ගෙන යා නොහැකි වන අතර, රාජ්‍ය පාලනය සාර්ථකව කිරීමට ගියහොත් ඔවුන් මෙතෙක් රැකගත් ‘විප්ලවිය හරය’ ධනේශ්වර රාජ්‍යය තුළ දියවී යෑම වැළැක්විය නොහැකි ය.
මෙම සන්දර්භය බුද්ධිමතකුට සැබවින්ම "දැවැන්ත වැඩබිමකි". මන්ද, පක්ෂයක් ධනේශ්වර විරෝධී සටන්කාමී ස්වරූපයේ සිට "ධනේශ්වර රාජ්‍යයක් කළමනාකරණය කරන පාලක පක්ෂයක්" දක්වා පරිවර්තනය වන දයලෙක්තික මොහොත අප ඇස් පනාපිටම සිදුවෙමින් පවතින බැවිනි.
මෙම තත්ත්වය තුළ මාක්ස්වාදී බුද්ධිමතකුගේ කාර්යය වන්නේ ජවිපෙ සතු සංවිධාන ශක්තිය දෙස බලා මවිත වීම පමණක් නොවේ. පාලන බලය අතට ගත් පසු මෙම සංවිධාන ආකෘතිය ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණයට අවශෝෂණය වීම වළක්වා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව සජීවී සහ විවේචනාත්මක මැදිහත්වීමක් කිරීමයි.
මෙම ඓතිහාසික පරිවර්තනය ඇතුළත, ජවිපෙ සාමාජිකයා තවදුරටත් "විප්ලවවාදියකු" ලෙස ඉතිරි වේවිද, නැතහොත් "පවතින ක්‍රමයේම කළමනාකරුවෙකු" බවට පත් වේවි ද...?
පක්ෂය තුළින් අභ්‍යන්තර විවේචනයක් මතු වුවහොත්...?
මාක්ස්වාදී-ලෙනින්වාදී ව්‍යුහ තුළ පක්ෂය සහ ආණ්ඩුව න්‍යායිකව වෙනස් වුව ද, ප්‍රායෝගිකව ක්‍රියා කරන්නේ එකිනෙකට බද්ධ වූ සමස්තයක් ලෙස යි. ආණ්ඩුවේ තීන්දු තීරණ ගනු ලබන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෝ දේශපාලන මණ්ඩලය විසිනි. ආණ්ඩුව ගන්නා සෑම ලිබරල් හෝ ධනේශ්වර ආර්ථික තීන්දුවකටම (උදා: IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීම, පුද්ගලික අංශය ප්‍රවර්ධනය) පක්ෂය වගකිව යුතුය. එබැවින්, ආණ්ඩුව ධනවාදයට අවශෝෂණය වෙද්දී, පක්ෂය "පිරිසිදු මාක්ස්වාදී අවකාශයක්" ලෙස වෙනම පවතින්නේ යැයි සිතීම විහිළුවකි. පක්ෂය තුළ ආණ්ඩුවට සම්බන්ධ නොවුණු පිරිසක් ඉතිරිව සිටින්නේ ආණ්ඩුවේ ධනේශ්වර හැසිරීම්වලට එරෙහිව පක්ෂයේ මාක්ස්වාදී අනන්‍යතාව රැකගැනීම සඳහා ය. ආණ්ඩුව දිගින් දිගටම ධනේශ්වර රාජ්‍යය කළමනාකරණය කරද්දී, පක්ෂය තුළ සිටින මෙම "මාක්ස්වාදී පිරිස" සැබවින්ම සිය න්‍යායික කාර්යභාරය ඉටු කිරීමට ගියහොත්, ඔවුන්ට තමන්ගේ ම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය කිරීමට සිදු වේ. එවැනි අභ්‍යන්තර විවේචනයක් පක්ෂය තුළින් මතු වුවහොත්, එය ආණ්ඩුවේ ස්ථාවරත්වයට සහ පැවැත්මට සෘජුවම තර්ජනයක් වෙයි. එබැවින්, පක්ෂය බලය ලබාගත් පසු, පක්ෂයේ "මාක්ස්වාදී හරය" රැකගැනීමට යෑම ආණ්ඩුවේ බිඳවැටීමට හේතු විය හැකි අතර, ආණ්ඩුව ආරක්ෂා කිරීමට යෑම පක්ෂයේ "මාක්ස්වාදී හරය" සිතාමතාම මර්දනය කිරීමට හෝ නිහඬ කිරීමට හේතු වෙයි (සෝවියට් දේශයේ සහ චීනයේ ඉතිහාසය පුරාම දකින්නට ලැබුණේ පක්ෂය විසින් ආණ්ඩුව වෙනුවෙන් තමන්ගේ ම වාමවාදී පිරිස් නිහඬ කළ මෙම ප්‍රතිවිරෝධය යි).
මේ මොහොතේ වඩාත් මාක්ස්වාදී ක්‍රියාව කුමක් ද...?

මාක්ස්වාදී බුද්ධිමතුන් ලංකාව තුළ අධ්‍යයනය කළ යුතු දැවැන්තම සහ සුවිශේෂීම සංවිධාන ආකෘතිය මෙය බව සහතිකය. මන්ද, මෙය හුදෙක් පොතේ පවතින න්‍යායක් නොව, සජීවීව ක්‍රියාත්මක වන දේශපාලන පරීක්ෂණයකි.
නමුත් බුද්ධිමතා ගේ භූමිකාව මෙතැනදී අවසන් නොවේ. එය විවුර්ත අවකාශයකි. මාක්ස්වාදී බුද්ධිමතා විසින් අධ්‍යයනය කළ යුත්තේ පක්ෂයේ ව්‍යුහය පමණක් නොවේ පක්ෂය සහ ආණ්ඩුව අතර මතු වන මෙම අනිවාර්ය ප්‍රතිවිරෝධය තේරුම් ගන්නේ කෙසේද යන්න වැදගත් ය. ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් ලෙස රැකගැනීමේ සැබෑ අභියෝගය ඇත්තේ පිටතින් එන ධනේශ්වර විවේචන හමුවේ නොව, ඔවුන් විසින්ම පිහිටුවා ගත් 'ආණ්ඩුව' සහ 'රාජ්‍ය යාන්ත්‍රණය' විසින් ඔවුන් ගේ 'පක්ෂය' ගිලගැනීමට එරෙහිව කරන අභ්‍යන්තර අරගලය තුළ ය. වංගිස බඳු පිරිස් කළ යුත්තේ ලංකාවේ මාක්ස්වාදී බුද්දිමතුන් සහ ජවිපෙ බඳු සංවිධාන අතර සිදු විය යුතු අත්‍යවශ්‍ය න්‍යායික අන්තර් ක්‍රියාවට බාධා වන ලෙස කටයුතු නොකර මාවෝ පැවසු පරිදි දහසක් මත ගැටීමට ඉඩ දීම මේ මොහොතේ සමාජ සංවර්ධන දැක්මෙහි වඩාත් මාක්ස්වාදී ක්‍රියාව නොවේ ද...?

Mandis Murrukkuwadura
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
