Image

සජිත් ගේ දේශපාලන සතිය - එකම විකල්පය සජිත් & Team

සජිත් ගේ දේශපාලන සතිය - එකම විකල්පය සජිත් & Team

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව ගොඩනැගී ඇති ව්‍යාකූල තත්ත්වය හමුවේ විපක්ෂයක් ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ රැසක් ගෙවුණු සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගනු ලැබූ අයුරු දැකගත හැකි විය.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22වන ව්‍යවස්ථා සංශෝධනය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දිනක් තිබිය දී, විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සඳුදා පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී රැස්විය. ඒ 22 ගැන සහ පාර්ලිමේන්තු සතියේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම තුළ සැඟවී ඇති ආණ්ඩුවේ යටි අරමුණු රැසක් එහි දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එකින් එක පෙන්වා දුන්නේ ය.

“ සර්.. මේකේ යටි අරමුණු ගොඩක් තිබෙනවා. මේක අජාසත්ත, දෙව්දත් පන්නයේ වැඩක්, අජාසත්තට කියනවා ඔයා තාත්තා මරලා රජ වෙන්න, මම බුදුහාමුදුරුවෝ නැති කරලා, බුදුහාමුදුරුවෝ වෙන්නම් කියලා. ඒක තමයි මේ ප්ලෑන් එකට දෙන්න තියෙන හොඳම උදාහරණය. අනුරට ඕන සදාකාලික බලය. මේ 22 ඇතුලේ තවත් සැඟවුණු න්‍යායපත්‍රයක් තියෙනවා, මම ඒක පාර්ලිමේන්තුවේදිම හෙළිකරන්නම්. මේ අනුර ඇතුළු මාලිමාව හෙමින්, හෙමින් මුට්ටිය දාන්නේ ඒකට.”

ඔය අස්සේ ඊළගට කට ඇරියේ මන්ත්‍රී අජිත් පෙරේරා ය,

“ නායකතුමා, අපි මේ රටේ ජනතාව හරිම පොයින්ට් එක පෙන්නලා දැනුවත් කරන්න ඕන, තමන් අකමැති විනිශ්චයකාරවරයා ගෙදර යැවීම වගේම තමන් කැමති විනිශ්චයකාරවරයා ධූරයේ තබා ගැනීමත් වැරදියි. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ජනාධිපතිට එවපු ලියුම ගැන ඇහුවාම අධිකරණ ඇමති කියනවා එයා දන්නේ නෑ කියලා. ඒක ඉතිං ජනාධිපති සහ අධිකරණ ඇමති අතර ප්‍රශ්ණයක්. ඕකම තමයි මෙයාලා මහනායක හිමිවරුන්ගේ ලියුමටත් කිව්වේ, අපි දන්නේ නෑ කියලා. හරිම ලේසීයි ඒ උත්තරය. ඇත්තට ම පාර්ලිමේනතු ඇවිත් ඉන්නේ පොල්ලෙලි ටිකක් තමයි බලාගෙන ගියහම.”

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආපු චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තවත් අලුත් තර්කයක් ඉදිරිපත් කළේ අජිත්ගෙන් පසුව ය.

“ සර්, අපි දැක්කා මේ ආණ්ඩුව කියමින් යනවා, ඇප පිට, සැකපිට ඉන්න අය තමයි මේ 22 කට විරුද්ධ වෙන්නේ කියලා, ඒ බොරු මතයට අපි කුඩු වෙන්න ගහන්න ඕන. අපි අහන්න ඕන 22 විරුද්ධ නීතීඥ සංගමයේ රජිව් අමරසූරිය ඇතුළු අය ඉන්නේ එතකොට ඇප පිට, සැකපිට ද? කියලා, මහනායක හිමිවරුන්, කතෝලික රදගුරු සංගමය, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, ඒ වගේ ම ජාත්‍යන්තර සංවිධාන ඇප පිට, සැක පිටද? ඉන්නේ කියලා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරන්න ඕන, ඒ වගේම රටේ මිනිස්සුන්ගෙනුත් අපි ඒකම අහන්න ඕන.”

මේ සියල්ල ගැන හොඳින් අසා සිටි විපක්ෂ නායක සජිත් කිව්වේ, අපි මේ පාර්ලිමේන්තු සතියේ දී සහ ඉදිරි සති කිහිපය පුරා, මාධ්‍ය හමුවලදීත්, රූපවාහිනී විවාදවලදී වගේම රටපුරා සිදුකරන ජනහමුවලදීත් මේ කරුණු වලට ප්‍රමුඛතාව දී ජනතාව දැනුවත් කිරීම වැදගත් බවය. 

 

දුර දකින ලාල්කාන්ත සහ කබීර්ගේ විග්‍රහය

වෙරිටේ රිසර්ච් (Verité Research) යනු ශ්‍රී ලංකාව සහ ආසියානු කලාපය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ ස්වාධීන පර්යේෂණ සහ විශ්ලේෂණ ආයතනයක් වේ. ආර්ථිකය, දේශපාලනය, නීතිය සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඔස්සේ උපායමාර්ගික විශ්ලේෂණයන් සහ දත්ත පාදක කරගත් තොරතුරු සැපයීම මෙම ආයතනය මගින් සිදු කරනු ලබයි. 

වෙරිටේ රිසර්ච් 2026 පෙබරවාරි මාසයේ නිකුත් කළ වාර්තාවට අනුව 65%ක් ලෙස ඉහළ මට්ටමක පැවති ආණ්ඩුවට වූ ජනතා අනුමැතිය, 2026 ජූලි මාසය වෙනුවෙන් නිකුත් කළ නවතම වාර්තාවට අනුව 50% දක්වා පහළ බැස තිබේ. රටේ ආර්ථික තත්ත්වය ගැන ද ජනතා මතය වෙනස් වී ඇති අතර, මීට පෙර 57%ක් ලෙස පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ යහපත් දැක්ම නවතම වාර්තාවට අනුව 38% දක්වා අඩු වී තිබේ. එමෙන්ම ඉදිරියේදී ආර්ථිකය යහපත් අතට හැරෙනු ඇති බවට පෙබරවාරියේ විශ්වාස කළ 64%ක ප්‍රතිශතය ජූලි මාසය වනවිට 42% දක්වා පහළ වැටී තිබේ. සමස්ත තෘප්තිමත්භාවය (Satisfaction) ද 59% සිට 38% දක්වා අඩු වී ඇති තත්ත්වයක් තුළ ස්වාධීන සමීක්ෂණවල මට්ටම ගැන සජබ සභාපති කබීර් හෂීම් පුළුල් පැහැදිලි කිරීමක් කළේ ය.

“මේ එළියට ආපු වෙරිටේ රිසර්ච් රිපෝට් එකේ අඩංගු කරුණු අපි අත්හරින්න හොඳ නෑ. මේකේ යටි අදහස තමයි මාළිමා ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය  දුරස් වෙමින් තිබෙනවා කියන එක.”

“ මමත් ඒකට පුංචි අදහසක් එකතු කරන්නම්, මම දැක්කා සමහර නාලිකා දැන් ඒ වෙරිටේ රිසර්ච් රිපොට් එක ගැන නිවුස් කියන්නේ හරි අමුතු විදිහට, එයාලා කියනවා, අනුරගේ ජනප්‍රියතාව හැකිළිලා නෑ ලු. හැබැයි විපක්ෂය සමග සමවෙලා ලු… අනේ මගේ කට, කාට කියන්න ද මේවා. හැබැයි ලාලට තේරිලා ද මන්දා එනපොට හොඳ නෑ කියලා, මිනිහා ආයෙත් නුවරින් ඡන්දේ ඉල්ලන්නේ නෑ කියලා ප්‍රසිද්ධියේ ම කියනවා නේ. මිනිහට ඉව තේරෙනවා, ලාලා කන බොන මිනිහනේ, මිනිහට තේරෙනවා ඇති ලබන පාර ඉල්ලන්න දිස්ත්‍රික්කයකුත් නෑ ඒයට ඇපත් නෑ කියලා. පව් ලාලා.. රණ්ඩු ඇල්ලුවට හොඳ මිනිහා.”

එහෙම කියමින් සභාවම සිනහා ගැස්සුවේ චාමර සම්පත් මන්ත්‍රීවරයා ය.

 

වසර 39කට පසු ජවිපේ ගහපු කාල බෝම්බය

ශ්‍රී ලංකා නිතිඥ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා, කතෝලික රදගුරු සංගමය, පමණක් නොව එක්සත් ජාතීන්ගේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර සංවිධාන රැසක් දැඩි විරෝධයක් ප්‍රකාශය කර ඇති පසුබිමක, ආන්දෝලනාත්මක 22වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ ය. එහි දී සජිත් ප්‍රමුඛ විපක්ෂය පාර්ලිමේන්තු සභාගර්භය තුළ 22 කට එරෙහිව විරෝධතාවක නිරත විය.

sw4824

එහිදී සජිත් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, මීට වසර 39ට පෙර හරියට ම අද වැනි දවසක තමයි අද ආණ්ඩු කරන ජනතා විමුක්ති පෙරමුණ මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවේ, එහි දී කීර්ති අබේවික්‍රම මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු සේවකයෙක් මැරුණා. ලිලිත් ඇතුලත්මුදලි ඇමතිතුමාට මාරාන්තික තුවාල සිද්ධ කළා. එදා බෝම්බ ගහලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු ජවිපේ, අද ව්‍යවස්ථාව වෙනස් කරලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න හදනවා. අධිකරණවල ලක්ෂ 11ක් නඩු හිරවෙලාලු. හැබැයි මේ 11න් ලක්ෂ 10ක් තියෙන්නේ දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ හා කම්කරු උසාවිවල. ඉතිං කොහොමද උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමෙන් හිරවෙච්ච නඩු කඩිනම් වෙන්නේ.”

එලෙස දැඩි ස්වරයෙන් ආණ්ඩුව ප්‍රශ්ණ කළ සජිත්… 22වන සංශෝධනය අත්තනෝමතික හා ඒකාධිපති වියරුවකට රට යොමු කරවන සංශෝධනයක් බවත්, සත්‍ය අවබෝධ කරගනිමින් මෙම සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට ආණ්ඩුවට තවමත් කාලය තිබෙන බවත් අවධාරණය කළේ ය.

 

CJ බ්ලැක්මේල් කරන ජනපති…?

එවැනි තත්ත්වයක් තුළ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පසුගිය 20වන දා පාර්ලිමේන්තුවේ දී විශේෂ අනාවරණයක් සිදුකළේ ආණ්ඩුවේ ඉහ මොළ තවත් රත්කරවමින්ය. වත්මන් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, මෙම සංශෝධනය සම්මත කරගැනීමට පෙර, එම චෝදනාවලට පිළිතුරු ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බව අවධාරණය කළේ ය.

sw5824

“වත්මන් අගවිනිසුරු සුරසේන මහත්තයාගේ විවාහ සහතිකයේ උපන්දිනය සඳහන් වෙලා නෑ කියලා වාර්තා පළවෙමින් තිබෙනවා. ඒ වගේම දරුවන්ගේ උප්පැන්නවලත් පියාගේ උපන්දින නෑලු. මේ කතා වැරදිනම් නිවැරදි කිරීම ආණ්ඩුවේ වගකීමක්. එහෙම නැත්නම් ජනාධිපතිතුමා, CJ ගේ උප්පැන්න සහතිකය අතේ තියාගෙන ඔහුව බ්ලැක්මේල් කරනවා ද? එහෙම සැකයක් අපිට මතුවෙනවා. කූඨ ලේඛණ සැකසී‌මේ චෝදනාවට වසර 20කට හිරේ යනවා ද ? නැත්නම් අපිට අවශ්‍ය විදියට තීන්දු ලබාදෙනවා ද කියලා අගවිනිසුරුතුමාව බ්ලැක්මේල් කරනවා ද කියන සැකය අපිට මතුවෙනවා.”  කවිරත්න මන්ත්‍රීවරියගේ මේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සමග ආණ්ඩුපක්ෂය මීයට පිම්බාක් මෙන් ගල්ගැසුණු ආකාරය දැකගත හැකි විය.

 

රුපියල් කෝටි 33,000ක වංචාව

sw6824

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සුවිශේෂී හෙළිදරව්වක් සිදු කළේ ය. ඔහු පැවසුවේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ දී වන්දි ලබාගැනීමට අදාළව වංචාවක් සිදුව ඇති බව ය. 

“මුර්දු ප්‍රනාන්දු හිටපු අගවිනිසුරුවරිය පැහැදිලිව කියලා තිබෙනවා මේ නඩු කටයුත්ත අඛණ්ඩව ඉදිරියට යායුතු බව. ඒ වගේ ම ඇයගෙන් පසුව පත්වූ අගවිනිසුරුවරයා ඊට මැදිහත්විය යුතු බව. හිටපු අගවිනිසුරුවරිය ඇතුළු පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ නියෝගය පරිදි ඩොලර් බිලයනයක වන්දියක් ශ්‍රී ලංකාවට ගෙවන ලෙස අදාළ නැව් සමාගමට නියෝග කරල තිබුණා. ඒ අතරතුර මේ සමාගම ජනාධිපතිවරයාට ලිපි යොමු කරමින් විවිධ දේ යෝජනා කරලා තියෙනවා. තවත් පැත්තකින් නීතිපතිවරයා හා අදාළ සමාගම එක්ව මෝසම් ෆයිල් කරනවා. දැන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම මෝසම කැඳවලා නීතිපතිවරයාගේ එකගතාව මත මේ නඩුව අත්හිටුවලා තිබෙනවා. කවුද මේවට අවශ්‍ය සහයෝගය දුන්නේ… කවුද මේවට වගකියන්නේ? දයාසිරි දැඩිව ප්‍රශ්න කළේ ය. 

“ දැන් මේ තීන්දු නිසා රටට අහිමිවෙන රුපියල් කෝටි තිස්තුන් දහසට ( රු. 330,000,000,000 ) කවුරුන් හෝ වගකිව යුතුයි. කිසිවකු හෝ ඊට මැදිහත්වී තිබෙනවා. නැත්නම් කොහොමද නීතිපතිවරයා මේ නඩුව අත්හිටුවීමට එකඟවෙන්නේ. මේ නඩුව අත්හිටුවීමට නීතිපතිවරයා අධිකරණය හමුවට ගොස් එකඟතාව පළ කරන්නේ කාගේ අවශ්‍යතාවට ද? ඒ නිසා මෙය ඉතා විශාල වංචාවක්.” 

දයාසිරි අවධාරණය කළේ, ආණ්ඩුවට පාං කියා ගන්නට බැරි කරමින් ය.

 

වරුණගෙන් - අනුරට අභියෝගයක්… ඔන්න උත්තර දෙන්න 

sw7824

මේ අතර සමගි ජනබලවේගය පසුගිය 19 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී සමගි ජනබලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂගෙන් මාධ්‍යවේදියකු විමසා සිටියේ, මේ දයාසිරිගේ හෙළිදරව්ව පැහැදිලි සාක්ෂි මත සිදුකළ හෙළිදරව්වක් ද යන්න ය.

ඊට පිළිතුරු දුන් වරුණ රාජපක්ෂ කියා සිටියේ…, “එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්  පැහැදිලි තීන්දුවක් ලබාදී තිබිය දී, ඊට අදාළ නීති ක්‍රියාවලිය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් අත්හිටුවීම සම්බන්ධයෙන් දයාසිරි මන්ත්‍රීවරයා ඊයේ ප්‍රශ්ණ කරනවා මමත් දැක්කා. දයාසිරි කියන විදියට මේක මහා කුමන්ත්‍රණයක්. ඒ නිසා ඔන්න ජනාධිපති අනුරට පාර්ලිමේන්තුවට ඇවිත් තමන්ගේ පිරිසිදුකම ඔප්පු කරන්න අවස්ථාව ඇවිත්. ඔය කියන ලියුම ලැබුණ ද? ඒකේ තිබුණේ මොකක්ද? එව්වේ කවුද?  මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්නේ ජනාධිපතිට.  ඒ වගේ ම මේක අභියෝගයක්. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් දයාසිරිට උත්තර දෙයි කියලා. මහබැංකු මංකොල්ලය කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් වුන මංකොල්ලයක්. ජනාධිපතිතුමා මේකට උත්තර නොදුන්නොත් මහබැංකු මංකොල්ලය වගේ ම, එක්ස්ප්‍රස් පර්ල් කියල වංචාවක් බ්‍රෑන්ඩ් වෙන්න පුළුවන්.” 

 

ජනපති පාර්ලිමේන්තු පැමිණ නිහඩවම පිටව යයි

ahwi

දයාසිරි මෙම හෙළිදරව්ව කළේ 18වන දා ය, ඒ ගැන කියමින් වරුණ අනුරට අභියෝග කළේ, 19වන දා ය. ඒ අනුව පසුදා එනම් 20 වනදා ජනපති අනුර පාර්ලිමේන්තු පැමිණියේ ය.

කිසිවෙකු නොසිතූ ලෙස හිටි හැටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ආවේ දයාසිරිට සහ වරුණට උත්තර දෙන්න යැයි බොහෝ අය සිතුව ද, ජනපති අනුර කිසිදු වචනයක් කතා නොකර විනාඩි කිහිපයක් පාර්ලිමේන්තුවේ වාඩිවී සිට පිටව ගියේ ය.මෙය දුටු වරුණ, දයාසිරිට දුරකතන ඇමතුමක් ගෙන විමසුවේ…, “මම හිතුවේ ලොක්ක තකහනියක් දුවං ආවේ අපිට උත්තර දෙන්න කියලා. ලොක්ක නිකං සද්ද නැතුව බංඩක්කා වගේ ලිස්සලා ගියා නේද? පොර හොරගල් අහුලනවා වගේ වැඩේට උත්තර නොදී…”

 

ආණ්ඩුවයි කාලගුණයයි දෙකම එකයි

එහෙම කතාවක් පසුගියදා අහන්න ලැබුණේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි පොළොන්නරුව පැත්තේ ගොවි මහත්තයෙකුගෙන් ය. එල් නිනෝ තත්ත්වයෙන් සිදුවිය හැකි බලපෑම් ගැන සජිත් දැන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූයේ පූර්ව තක්සේරු වාර්තාවක් සකස් කරන්නට ය.

එහි දී සජිත් හමුවේ ගොවීන් පැවැසුවේ, මේ වන විට තම ප්‍රදේශවලට ඉතා දරුණු නියඟයක රතු එළි දැල්වෙමින් ඇති බව ය.

“මේ වගේ නියඟයක් ගැන අපිව දැනුවත් කරලා නෑ. සර්, ඒත් අපේ දරුවෝ ෆෝන්වලින් හරි තොරතුරු දැනගෙන අපිට කියනවා මෙහෙම නියඟයක් ඉදිරියේ දී එනවා කියලා. මේ ආණ්ඩුව අද අපිව අමතක කරලා, නෙළපු අස්වැන්න විකුණ ගන්නත් නෑ. ඉස්සරහ දී  මහ කන්නේ කොහොම කරන්නද කියලා කියන්නෙත් නෑ.. මේ ආණ්ඩුවයි, කාලගුණයයි දෙකම එක වගේ, මොනව වෙනවද? මොනව කරනවද? කියලා අපිනම් දන්නේ නෑ. අපිව නොමරා මරණ එක තමයි කරන්නේ.”

“මම එල් නිනෝ තත්ත්වය ගැන මීට මාස 6කට විතර ඉස්සෙල්ලා කියද්දී ආණ්ඩුවයි, මාධ්‍යයි ඔක්කොම මට හිනා වුණා, දැන් ඒ ගොල්ලෝ නිදාගෙන නැගිටලා වගේ ඒ, මේ අත දුවනවා. මම දැක්කා මට හිනා වුණ මාධ්‍ය දැන් හැමදාම ප්‍රවෘත්තිවල එක කොටසක් එල් නිනෝ ගැන කතා කරන්න වෙන් කරලා. ඒක හොඳයි, අපි මේ දේවල් ගැන කතා කළේ මහජනතාව ගැන හිතලා, ඒත් ඒ අය එදා අපිට මඩ ගැහුවේ දේශපාලනය ගැන හිතලා, ඒත් අද ඒ අයට ම සත්‍යය අවබෝධ වෙලා. දැන් මේ නියඟයේ බලපෑම අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, වව්නියාවට, මුලතිව් වගේ ප්‍රදේශවලට තදින්ම දැනෙන්නට පටන් අරන්. ජාත්‍යන්තර කාලගුණ දත්ත සැලකිල්ලට ගනිමින් බොහෝ රටවල් ඇති විය හැකි අවදානමකට මුහුණ දෙන්න සැලසුම් හදාගෙන යනවා. ඒත් අපේ රටේ එවැනි දෙයක් තවමත් ආරම්භ කරපු බවක් පේන්න නැහැ.”

එහෙම කියපු සජිත්, ගොවි සංවිධාන ඇතුළු සියලු පාර්ශව සම්බන්ධ කරගනිමින් පූර්ව තක්සේරු වාර්තාවක් සකස් කර දේශගුණික ව්‍යපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කිරීමට සූදානම් කරන ලෙස තම නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ ය.

 

සිද්ධාර්ථ හිමියන්ට සහ නන්දාට සජිත්ගෙන් අවසන් ගෞරව

sw9824

කලාවට සහ සංගීතයට විශේෂ ඇල්මක් දක්වන සජිත්, 22වෙනි ව්‍යස්ථා සංශෝධන සහ අනුරාධපුරයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් සැලසුම් කිරීම් අතර තුර වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාමයට සහ නුගේගොඩ, විජයබා මාවතේ මාලිනී සංගීත ආශ්‍රමයට යෑම අතපසු කළේ නැත. ඒ මෙරට ගීත සාහිත්‍යයට සහ ශ්‍රී ලාංකේය සංගීතයට සුවිශේෂී මෙහෙවරක් කළ පුජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ට සහ විශාරද ආචාර්ය නන්දා මාලිනියට අවසන් ගෞරව දැක්වීමට ය. 

 

දෙමළ මුස්ලිම් පක්ෂ සජිත්ට දුක කියයි

sw10824

මේ අතර ගෙවුණු සතියේ විශේෂ සාකච්ඡා වට කිහිපයකටම එක්වීමට සජිත්ට සිදුවූ අතර ඉන් එක් සාකච්ඡාවක් වූයේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පක්ෂවල නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාව ය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවූ මෙම හමුවට රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, අඩෙයිකලනාදන්, එම්.එල්. එම්. හිස්බුල්ලා, ශානක්‍ය රාසමානික්‍යම්, නිසාම් කාරියප්පර්, එම්.එස්.ඒ.වසීත්, එම්.ටි.ඒ. තහීර්, තුරෙයිරාසා රවිකරන්, ඉම්රාන් මහරුෆ්, එම්.එස්.යූ. ලෙබ්බේ, රාමනාදන් අර්චුනා, කාදර් මස්තාන් යන දෙමළ සහ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්ව සිටියහ.

උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලුවලට මේ දක්වා විසදුම් නොලැබීම පිළිබඳවත්, එම පළාත්වල ජනතාව බලපාන සමාජ, ආර්ථික හා සංවර්ධන ගැටලු පිළිබඳවත් දීර්ඝව මෙහි දී කරුණු සාකච්ජා කළේ ය.

“අපි ජනාධිපති එක්කත් සාකච්ඡා කළා, මේ දක්වා කිසිම ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඇත්තට ම මේ මිනිස්සු යුද්දයකට මැදිවෙලා හිටපු පිරිසක්. ඒ දරුවොත් ලෝකය දකින්න අවශ්‍යයි. දැන් යුද්දෙ අවසන් වෙලා අවුරුදු කීයක් ද? ඒත් ඒ අයගේ අයිතිවාසිකම් තහවුරු කරන්න එදා ආණ්ඩුත්, මේ ආණ්ඩුවත් කිසිම පියවරක් අරන් නැහැ.”

සාකච්ජාවට එක්වූ පක්ෂවල නියෝජිතයින් සජිත්ට දීර්ඝව කරුණු පැහැදිලි කළේ ය.

අනතුරුව එම මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් මේ සතිය තුළ ම පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරනු දැකගත හැකි වූ අතර, සජිත් එම කතාව අවසන් කර යළි තම කාර්යාලයට පැමිණිමේ දී ඔහු ඉදිරියට පැමිණි දෙමළ හා මුස්ලිම් පක්ෂවල නායකයින් සහ මන්ත්‍රීවරුන්, දෙමළ කතා කරන ජනතාවගේ ගැටලු පිළිබඳ ක්ෂණිකව ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කිරීම ගැන සිය ස්තූතිය පළ කළේ ය.

 

සජිත් & Team අනුරපුරයට

sw11824

සජිත් ප්‍රමුඛ සමගි ජනබලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන “ එකම විකල්පය සජිත් & Team” නමින් 22 සහ 23 දෙදින පුරා අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වී ය. ඒ ගැන අවසන් සැලසුම් සකස් කෙරුණේද ගෙවුණු සතිය තුළ ය.

“ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ දී අපි කොටස් හතරක් ගැන ජනතාව දැනුවත් කරනවා. ඒකේ පළමු කොටස 2020 - 2024 සැප්තැම්බර් කාලසීමාව, 2024 සැප්තැම්බර් සිට අද දක්වා කාලසීමාව, තුන තමයි සජිත්ගේ දැක්ම, හතර වෙනි එක, එකම විකල්පය සජිත් & Team කියන එක.”  

එහෙම කියමින් මහලේකම් රංජිත් සහ සභාපති කබීර් එම වැඩසටහනේ සැලසුම හෙළි කළේ ය.

“2020 අවුරුද්ද කියන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය, ඒකෙදී කොරෝනා උවදුර, ආර්ථික අර්බුදය සහ ඊට මුහුණ දෙන්නට සජිත් ඇතුළු සමගි ජනබලවේගය කළ යෝජනා ගැන යළිත් ජනතාව දැනුවත් කරන්න අපි හිතුවා. මොකද මිනිස්සුන්ට හරියට අමතක වෙනව නේ,” එහෙම කියමින් කතාව ඇරඹුවේ කබීර්ය. 

2020 මැදභාගයේ අයි.එම්.එෆ්. යන්නැයි සජිත් කළ යෝජනාවත්. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට අසීමිත ලෙස බදු සහන නොදෙන්නැයි සජිත් කළ යෝජනාව ගැනත් රටට කියන්න ඕන. කොරෝනා වෙලාවේ වහාම එන්නත් ගෙනල්ලා හැම පුරවැසියෙකුගේ ම ජීවිත සුරක්ෂිත කරන ලෙස සජිත් ප්‍රේමදාස කියද්දී ගෝඨාභය රජය ගඟට මුට්ටි විසි කරමින්, කොරෝනා පැණි පොවමින් අහිංසක මිනිස්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු හැටි ජනතාවට මතක් කර දිය යුතුයි,” යැයි කබීර් යෝජනා කළේ ය.

“ඒ වගේ ම තමයි, පාස්කු ප්‍රහාර, කොවිඩ් අර්බුදය, ආර්ථික අර්බුදය නිසා කඩා වැටුණු සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් අන්ත අසරණව හිටපු වෙලාවේ, ඒ අයට ආයෙත් නැගී සිටින්නට ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා සජිත් ඩොලර් මිලියන 100 ක් අරන්දීපු එක ගැනත් රටට කියලා දෙන්න ඕන.”

එහෙම කිව්වේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ය.

ඊට පස්සේ 2024 සැප්තැම්බර් 21 ඉඳන් අද දක්වා ගෙවුණු කාලසීමාවේ මොකක්ද වුණේ කියලත් රටට කියන්න ඕන.

“ඇමර්කානු තීරු බද්දට මුහුණ දෙන්නත්, දිට්වා සුළි කුණාටුව වෙලාවේ ජාත්‍යන්තරයේ සහය ඉල්ලන්න කියලා සජිත් කරපු යෝජනාවේ වැදගත්කමත් අපි රටට පෙන්වා දෙන්න ඕන. ‘අනේ ප්ලීස් ඔයාගේ උපදෙස් එපා’ කියපු අනුර කුමාර ජනාධිපති ඇතුළු රජයට තවමත් කෝච්චිය මහනුවරට යවා ගන්න බැරි වුණේ ඇයි ?  නිවාස අහිමි වෙච්ච මිනිස්සු තවමත් කූඩාරම්වල කල් ගෙවන්නේ ඇයි ? මේවා තමයි රටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන තැන්. උද්දච්ච ආණ්ඩුව කිසිම හොඳ යෝජනාවක් පිළිගන්න කැමතී නෑ. මේ හැම අවස්ථාවකම ව්‍යසනය සජිත් මුලින් දැක්කා, ඒ වගේ ම ගන්න ඕන ඉදිරි ක්‍රියාමාර්ග ගැනත් කල්වේලා ඇතිව සජිත් කිව්වා. ඒක තමයි සජිත්ගේ කොලිටි එක, දේශපාලඥයෙකුටත් වඩා, එයා පුරවැසියෙක් විදිහට රට වෙනුවෙන් කරන්න ඕන යුතුකම් කොටස ගැන හිතනවා. මේ එල් නිනෝ තත්ත්වය ගැනත් සජිත් මාස ගණනකට ඉස්සෙල්ලා මතු කරපු කාරණා රටට කියන්න ඕන. අද ගොවියට මේක ක්‍රම, ක්‍රමයෙන් බලපානවා, තව මාස කිසිපයක් යද්දී මේ තත්ත්වය දරුණු වෙනවා.”

මේ විදිහට පක්ෂ සභාපති කබීර් දිගට ම කියාගෙන ගියේ මේ කැම්පේන් එකේ අඩංගුවිය යුතු කරුණු ගැන ය. 

මේ කතාවට එකතු වෙච්ච නිරෝෂන් පාදුක්කත් තමන්ගේ අදහස් ටික කියන්නට විය.

“ අපි මාකට් කරන හතර වෙනි කාරණයේ දී මම හිතන්නේ අයියා, ශ්‍රී ලංකාවේ අද වෙද්දී, දූෂණයට එරෙහි, අවංක එකම කණ්ඩායම සජිත් ඇතුළු කණ්ඩායම කියන දේ රටේ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන එක හරිම වැදගත්. අපි 2020 පටන් ගත්ත අලුත් පක්ෂයක්. ඒත් අපි තමයි කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයව නඩු දාලා හිරේ ඇරියේ. රට ම ආර්ථික අර්බුදයකට ඇදලා දාලා පෝලිම් යුගයක් හදලා රට බංකොලොත් කරපු රාජපක්ෂලට විරුද්ධව උසාවි ගිහින් නඩු කිව්වේ අපි. රජයට රුපියල් බිලියන 4 විතර පාඩු කරපු දූෂිත ඊ - වීසා ගණුදෙනුවට විරුද්ධව උසාවි ගියේ අපි. මාලිමා ආණ්ඩුවේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි බාල ගල්අඟුරු නැව් 19ක් ගෙනල්ලා රුපියල් මිලියන 8500 වැඩිය පාඩු කරපු එකට විරුද්ධව අල්ලස් එකට ගියේ අපි, එයාට ඉල්ලා අස්වෙන තැනට මේ හොර ගණුදෙනුව ගැන රටට හෙළිදරව් කළේ අපි. ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවන්න තිබුණු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචා කරපු සිද්ධිය අනුරලා මාස 3ක් තිස්සේ රටින් හංගද්දී ඒක රටට හෙළි කළේ අපි. ඒ වගේම ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවන්න තිබුණු ඩොලර් 6,25000ක් හොරකම් කරපු එක රටට හෙළි කළේ අපි. කන්ටේනර් 323ක් වරායෙන් පන්නපු එක ගැන රටට හෙළි කළේ අපි. ඒ ගැන හොයපු වාර්තාවත් අද ජනාධිපති පෙට්ටගමේ දාලා ලොක් කරගෙන, වැඩේ අතේ මාට්ටු. මේවා ගැනත් රටට කියමු.” 

එතන සිටි සියල්ලෝ ම ඉතා සතුටින් නිරෝෂන්ගේ ඒ අදහස අනුමත කළේ ය. 

මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යළිත් කතා කරමින් කිව්වේ, “ සජිත්ගේ දැක්මත් අපි මාකට් කරන්න ඕන, සජිත්ගේ 'හුස්ම', 'සක්වල' වගේ ම දුප්පත්කම පිටුදකින්න අපි ගෙනාපු ඒ වැඩසටහන ගැන රටට කියන එක හරිම වැදගත්. දැනට මේ රටේ ජනගහනයෙන් පස්දෙනෙකුගෙන් එක්කෙනෙක් දුප්පත්කමින් පෙලෙනවා. ඒ අය මුදා ගන්න සහනාධාර වැඩසටහන් වෙනුවට සජිත් යෝජනා කළේ, ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක්. ඒක දෙවසරක් තුළ ඒ අය දුප්පත්කමින් මුදා ගැනීමේ ප්‍රායෝගික වැඩසටහනක්  කියන දේ අපි රටේ ජනතාවට කියන්න ඕන. රජය ලබාදෙන මුල්‍ය ශක්තිය හරහා ඒ පවුලට කර්මාන්තයක් ආරම්භ කරන්න හරි, ඒ පවුලේ වැඩිහිටියෙකුට රැකියාවක් කරන්න සුදුසු වෘත්තීය පුහුණුවක් ලබාගන්න  ක්‍රමයක් නේද සජිත් යෝජනා කළේ, මේක මේ රටේ මිනිස්සු දන්නේ නෑ. ඒක හරියට අපි සන්නිවේදනය කරලා නෑ. මේක හරියට තේරුම් කරලා දුන්නොත් මේ රටේ සාතිශ්‍ය බහුතරයක් හරියට තේරුම් ගනීවි සජිත් කියන්නේ මොනවගේ දැක්මක් තියෙන නායකයෙක් ද? කියලා. මේක තේරුම් කර නොදී අපි මොන දේවල් කළත් වැඩක් නෑ.”

මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ටිකක් දැනෙන්නට ඒ අදහස ප්‍රකාශ කළේ පුංචි නෝක්කාඩුවකුත් සමග ය.

ඒ අනුව මේ අදහස් උදහස්වල එකතුවක් සමගින් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ආසන හත ම ආවරණය කරමින්, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ඉතා සාර්ථකව සති අත්තයේ දී ක්‍රියාවට නැංවී ය. ඊට සමගි ජනබලවේගය නියෝජනය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින් සහ පළාත් පාලන නියෝජිතයින් එක්ව සිටියහ.

මම | බංගලා හංදියේ ලියුම්කරු 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න