මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට දෙන පිළිතුරේ වපසරිය
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පළ කරන ලද වීඩියෝ දෙකකට පිළිතුරු වශයෙන් ලියැවන “මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි” යන ලිපි පෙළෙන් ඉදිරියේ දී පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙනු ඇත. ඒවානම්, ඉන්දියාවේ විසූ අශෝක රජු ලංකාවට ධර්මදූත පිරිසක් යැවී ද? එසේනම් ඒ කුමන කාලයේ ද? මේ අය පැමිණියේ ලංකාවට ම ද? මේ පිරිස බෞද්ධ ධර්මදූතයින් ද? අශෝක රජු බෞද්ධයෙක් ද?මේ අය එනවිටත් ලංකාවේ බෞද්ධයන් සිටියා ද? එසේ සිටියේ නම් මේ ධර්මදූත පිරිස ලංකාවට ඒමේ වැදගත්කම කුමක් ද? මේ පිරිස ලංකාවට පැමිණි බවට ඇති සාක්ෂි මොනවා ද? මේ පිරිස පැමිණි පසු ලංකාව තුළ සීඝ්‍රයෙන් බුදුදහම පැතුරුණි ද? යන ඒවා ය.
මහාචාර්ය නිර්මාල් මහතා මහාවංශයේ මහින්දාගමනය පිළිබඳව ඇති විස්තරය “මිථ්‍යාවක්” යැයි හඳුන්වමින් එය ලංකාවේ බුදුදහම පැතිරුණු පසු පසුකාලීනව තනාගන්නා ලද ප්‍රබන්ධයක් යැයි ඍජුව හෝ ව්‍යංගයෙන් පවසන නිසා ඉහත ලියූ ප්‍රශ්නවලට ඓතිහාසික සාධක ඉදිරිපත් කිරීමේදී මහාවංශයේ මහින්දාගමනය පිළිබඳව ඇති කිසිදු සඳහනක් මේ ලිපි පෙළෙහි භාවිතා නොකෙරේ. මේ ලිපි පෙපෙළෙහි භාවිතාකරනු ඇත්තේ මහාවංශයෙන් පිටත ඇති මහින්දාගමනය ඔප්පුකරන ඓතිහාසික සාධක පමණි. එසේම මේ ලිපි පෙළෙහි දී භාවිතා කරන සියලු සාධක පාඨකයින්ට ද සොයා බැලිය හැකිවන පරිදි මූලාශ්‍ර සහිතව පළ කෙරෙනු ඇත.
අශෝක අධිරාජයාගේ 13වන සෙල්ලිපිය
උතුරු ඉන්දියාවේ නැගෙනහිර දෙසට වන්නට ක්‍රි.පූ හයවෙනි සියවස වනවිට මගධ නම් රාජ්‍යයක් තිබිණි. බුදුරජානන් වහන්සේ ගේ සූත්‍ර දේශනාවල ද සඳහන්වන මේ රාජ්‍යය උන්වහන්සේ පිරිනිවන්පාන කාලයේ දී පමණ තමන් අවට රාජ්‍යයන් යටත්කර ගනිමින් අධිරාජ්‍යයක් බවට පත්වෙමින් තිබිණි. මුලින් රජගහ නුවර තම අගනුවර ලෙස පැවති මේ අධිරාජ්‍යයේ අගනුවර පසුව පාඨලීපුත්‍ර (වත්මන් පැට්නා) නම් විය. මේ අධිරාජ්‍යයේ රාජවංශ කිහිපයක් පැවති අතර එහි තිබූ නන්ද රාජවංශය බලයෙන් පහකොට මෞර්ය රාජවංශයේ ප්‍රථම රජුවූ චන්ද්‍රගුප්ත මෞර්ය පාඨලීපුත්‍ර නගරයේ බලයට පැමිණියේ ය. ග්‍රීසියේ සිට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රි පූ 324 දී ඉන්දියාව ආක්‍රමණය කළේ මෞර්ය රාජවංශයත් එයට පෙර පැවති නන්ද රාජවංශයත් අතර වකවානුවේ දී පමණ ය.
අන් සියලු කරුණු අමතක කළත්, ඇලෙක්සැන්ඩර් රජුගේ ඉන්දියානු ආක්‍රමණය ඉතිහාසය හදාරන්නන්ට වැදගත් වන එක් හේතුවක් ඇත. ඒ වනවිටත් ග්‍රීකයෝ තමන්ගේ වැදගත් සිදුවීම් ඉතා සැලකිල්ලෙන් ඔවුන්ගේ වර්ෂ ක්‍රමයකට ලේඛනාරූඪ කරමින් සිටියහ. පසුව රෝමානු වර්ෂ ක්‍රමයටත් ඉන්පසු ක්‍රිස්තු වර්ෂ ක්‍රමයටත් පරිවර්තනය වූයේ බටහිරයින්ගේ මේ වර්ෂ ක්‍රමය යි. ඇලෙක්සැන්ඩර් රජුගේ ආක්‍රමණයෙන් පසු මේ දෙපිරිස අතර සිදුවූ අන්තර් ක්‍රියා නිසා, ඉන්දියාවේ සිදුවූ සිදුවීම් බටහිර වර්ෂ ක්‍රමයෙන් ගණනය කිරීමේ හැකියාව ලැබිණි. ලෝකයේ දැනට ව්‍යවහාර වන වර්ෂ ගණනය කිරීමේ ක්‍රමය වන ක්‍රිස්තු වර්ෂ ක්‍රමයෙන් ඉන්දියාවේ සහ ඒ හා බැඳුණු රටවල සිදුවූ සිදුවීම් යම් පමණකින් හෝ විග්‍රහ කිරීමේ හැකියාව ලැබුණේ ඉන් පසු ය. මෙය පැහැදිලි කිරීම මහින්දාගමනය සිදුවූ වසර නිර්ණය කරගැනීමට ඉවහල් වේ.
අශෝක රජු චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ මුණුබුරාය. ඔහු රජ පැමිණ වසර අටකට පසු ඔහු නැගෙනහිර ඉන්දියාවේ කාලිංග දේශය ආක්‍රමණය කළේ ය. මේ ආක්‍රමණයේ දී සිදුවූ ජීවිත සහ දේපොළ හානිය දුටු ඔහු මහත් කම්පාවට පත්විය. ඉන්පසු තමන් තවදුරටත් ආක්‍රමණවල නොයෙ දී ධර්මය පැතිරවීමට තීරණය කළ බව ඔහු ඉන්දියාව පුරා පිහිටවූ සෙල්ලිපි රාශියක ඇත. මෙයින් අශෝක රජුගේ 13වන සෙල්ලිපිය ලෙස පුරාවිද්‍යාඥයින් නම් කර ඇති සෙල්ලිපිය අපගේ මාතෘකාවට අතිශයෙන් අදාළ ය.
මේ සෙල්ලිපිය පකිස්ථානයේ ශාබාසාර්ගි හා මන්සේරාහි කරෝස්ති අක්ෂරයෙන් ද, ඉන්දියාවේ උත්තරකාන්ද්, ගුජරාට් හා ආන්ද්‍රා ප්‍රදේශ් හි බ්‍රාහ්මී අක්ෂරයෙන් ද, ඇෆ්ගනිස්ථානයේ කන්දහාර්හි ග්‍රීක් අක්ෂරයෙන් ද පිහිටුවා තිබී සොයාගෙන ඇත. මේ 13වන සෙල්ලිපිය ගැන විශාල වශයෙන් පොත් සහ ලියැවිලි පළවී ඇතත් යමෙකුට ඒ ගැන ඉතා ඉක්මනින් හැදෑරීමට අවශ්‍යනම් “Puratattva: Inscriptions of Ashoka” නම් විද්වත් විමසුමට පාත්‍රවන (Peer Reviewed) වෙබ් අඩවියට පිවිසීමෙන් එසේ කළ හැකි ය.
මේ සෙල්ලිපියේ අශෝක රජු තමන් යවන දේශයේ අම්ටියෝග, ටුලමායා, අන්ටෙකිනා, මාකා හා අලික්ශුන්ඩලා යන රජවරුන් හමුවීමට ද, චෝල, පාන්ඩ්‍ය, තම්‍රපානියා, කාම්බෝජ, නභපක්ම්කි, නබාක, භෝජ, ආන්ද්‍ර සහ පුලින්ද දේශවලට ද ධර්මය පිළිබඳ පණිවිඩය රැගෙන දූත පිරිස් යැවූ බව ලියයි.
මේ ලිපියේ සඳහන් අම්ටියෝග සිරියාව පාලනය කළ ඇන්ටියෝකස් නම් ග්‍රීක රජු ලෙසත්, ටුලමායා ඊජිප්තුව පාලනය කළ ටොලමි නම් ග්‍රීක රජු ලෙසත්, අන්ටෙකිනා මැසිඩෝනියාව පාලනය කළ ඇන්ටිගෝනස් නම් ග්‍රීක රජු ලෙසත්, මාකා ලිබියාව පාලනය කළ මාගාස් නම් ග්‍රීක රජු ලෙසත් සහ අලික්ශුන්ඩලා ග්‍රීසිය පාලනය කළ ඇලෙක්සැන්ඩර් නම් ග්‍රීක රජු ලෙසත් ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. මොවුහු මහා ඇලෙක්සැන්ඩර් රජු මිය යෑමෙන් පසු කොටස්වලට කැඩී ගිය ග්‍රීක අධිරාජ්‍යයේ රජවරු වූහ. සමකාලීන ග්‍රීක ලේඛනවල මේ රජවරුන් රජකම් කළ වර්ෂ සඳහන්ව ඇති නිසා ඒ රාජ්‍යකාල සැසඳීමෙන් මේ දූත පිරිස් ධර්මදූත ගමන් ගිය කාලවකවානුව කුඩා වෙනස්කම් සහිතව විවිධ ඉතිහාසඥයින් විසින් ක්‍රි. පූ. 250ත් , ක්‍රි. පූ. 255ත් (ක්‍රි පූ 3වන සියවස) අතර කාලයකට සසඳා ඇත.
මේ දූත පිරිස් ඉන්දියාවෙන් යැවූ කාලය ඒ ඒ ග්‍රීක රජවරුන් රජකම් කළ කාල වකවානු අනුව මාගේ කෘතියේ Finding Sinhabahu 28 වනි පිටුවේ වගුවකින් මෙසේ සඳහන්කර ඇත. මාගේ නිගමනය වූයේ මේ ධර්මදූත මෙහෙවරන් සිදුවූයේ ක්‍රි පූ 250-240 වැනි කාලවකවානුවක බවයි.
(Finding Sinhabahu - 28 වෙනි පිටුව)
මේ 13 වෙනි සෙල්ලිපියේ ඇති වැදගත් ම සටහන නම් අශෝක රජු ගේ දූත පිරිස් “තම්‍රපානියා” නම් දේශයකට ද ඒ වකවානුවේ දී ම ගිය බවයි. ලංකාවට මිහිඳු මහරහතන්වහන්සේ වැඩි වර්ෂය ලෙස මහාවංශය, දීපවංශය සහ නිකාය සංග්‍රහය ග්‍රන්ථවල සඳහන්වන්නේ ක්‍රි.පූ 308 (බුද්ධ වර්ෂ 236) යි. එනම් අශෝක රජුගේ 13වන සෙල්ලිපියේ සඳහන්වන ඔහු ධර්මදූත පිරිස් යැවූ වර්ෂ සහ අපේ වංශකථාවල සඳහන් වසර අතර අවුරුදු 40-50 ක පමණ කුඩා කාල වෙනසක් ඇත. එනිසා අපට මේ සරල නිගමනයට එලඹිය හැකි ය. එනම් “ලංකාවේ වංශකථාවල සඳහන්වන අන්දමට මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ යැයි සඳහන්වන ක්‍රි. පූ. 3 වෙනි සියවසේ දී පමණ අශෝක අධිරාජයා “තම්‍රපානියා” නම් දේශයකට ධර්මදූත පිරිසක් යැවී ය” යන්න යි.
“තම්‍රපානියා” ලංකාව ද…?
ඊළඟට වැදගත්වන්නේ 13වන සෙල්ලිපියේ සඳහන් “තම්‍රපානියා” ලංකාව ද යන්න විමසීම යි.
මේ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලැබෙන්නේ අශෝක අධිරාජයා ගේ මුත්තණුවන්වූ චන්ද්‍රගුප්ත මෞර්ය රජු ගේ රාජ සභාවේ සේවය කළ ග්‍රීක ජාතික තානාපතිවරයකුවූ මෙගස්තනීස්ගේ “ඉන්ඩිකා” නම් ග්‍රන්ථයෙනි. මගධ මෞර්ය අධිරාජ්‍යයේ පාඨළීපුත්‍ර නගරයේ විශාල කාලයක් විසූ ඔහු, ග්‍රීක භාෂාවෙන් ලියූ මේ පොතෙහි කොටස් ආචාර්ය ශ්වෝන්බෙක් විසින් එක්කල අතර, එය ජේ. ඩබ්. මැක්ක්‍රින්ඩල් විසින් 1877 දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන කරන ලදී. මේ පරිවර්තනය “Ancient India as described by Megasthenês and Arrian” යැයි අන්තර් ජාලයේ ටයිප්කර ඕනෑම අයකුට බාගත හැකි ය.
ඉතිහාසය හදාරන්නන් විසින් කියවිය යුතු ම පොතක් වන පිටු 224 කින් යුක්ත මෙහි 169 සිට 172 පිටුව දක්වා ඇත්තේ තැප්‍රොබෑන් යැයි ග්‍රීකයින් හැඳින්වූ ලංකාව නම් දිවයින පිළිබඳ දීර්ඝ විස්තරයකි. අශෝක රජු ගේ මුත්තණුවන් ලියූ මේ පොතේ සඳහන්වන ග්‍රීක උච්ඡාරණයට ලියැවුනු “තැප්‍රොබෑන්” නම් මේ දිවයින අශෝක රජුගේ සෙල්ලිපිවල සඳහන් “තම්‍රපානියා” බවට කිසිම සැකයක් නැත. මේ පොතේ “චන්ද්‍රගුප්ත” හැඳින්වෙන්නේ “සන්ද්‍රකොට්ටා” ලෙසිනි.

එසේම මේ පොතේ 105වන පිටුවේ මිනිසුන් දෙවි කෙනකු මෙන් අදහන (Boutta) නම් අයෙකුගේ අනුගාමික දාර්ශනිකයන් එකල ඉන්දියාවේ විසූ බවත් සඳහන් වේ.

අශෝක රජු ගේ මුත්තණුුවන් ගේ කාලයේ ලියැවුණුු මේ පොතේ බුදුන් වහන්සේ ගැන ඇති මේ සඳහන, මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා ගේ මහින්දාගමනය ගැන සැක උපදවන ප්‍රකාශයන් නිසා කුල්මත්වී සිටින, බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදීම අශෝක රජු විසින් ගොඩනගන ලද ප්‍රලාපයක් යැයි පවසන “මෙරට බුදුන්වාදීන්” ගේ නොසතුටට හේතුවන කරුණක් වනු ඇත.
මේ සියලු කරුණු එක්කොට සලකන විට ඉන්දියාවේ අශෝක රජු ක්‍රි. පූ 3වන සියවසේ දී ලංකාවට ධර්මදූත පිරිසක් එවී ය යන්න ගැන කිසිදු සැකයක් ඇතිවිය නොහැකි ය.
අශෝක රජු බෞද්ධයෙක් ද…?
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා නොපැවසුවත් එතුමා මෙන්ම මහින්දාගමනය අමූලික අසත්‍යයක් හෝ නොවැදගත් සිදුවීමක් ලෙස සලකන එතුමාගේ පුරණාචාර්‍යවරුන් විටින් විට, වටින් ගොඩින් ලියූ තවත් කරුණක් ඇත. එනම් අශෝක රජු සියළු ආගම් වලට ගරු කලත්, බෞද්ධයෙකු නොවූ බවයි. වටහාගැනීමට පහසු අයුරින් පවසන්නේ නම් ඔහු වත්මන් පරම විඥානාර්ථවාදියෙකුට සමාන අයෙකු වූ බවයි.
මෙය යමෙක් බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි හරිහැටි නොදැන කරන ප්‍රකාශයකි. යමෙක්ට බෞද්ධයකු වීමට ශුද්ධවූ ජලයෙන් සේදීමක්, ශුද්ධවූ නූලක් ගැටගැසීමක් හෝ චර්ම ඡේදනයක් යනාදි විශේෂිතවූ ආගමික චාරිත්‍රයක් සිදුකිරීම අවශ්‍ය නොවේ. කිසිදු සැබෑ බෞද්ධයකු ඒ ඒ ආගම්වල මේ චාරිත්‍ර හෙළා දැකීමක් කිසිසේත් සිදුනොකළ යුතු නමුත්, තමන් බෞද්ධයකු යැයි විශ්වාස කිරීම හෝ පැවසීම බෞද්ධයකු වීමට ඇති එකම අවශ්‍යතාව යි. බෞද්ධයකු කිසියම් ආගමික කටයුත්තක් නොකළත් ඔහු ගේ බෞද්ධ බව නැතිවී නොයයි. එසේම සැබෑ බෞද්ධයා අන් සියලු ආගම්වලට ගරුකරන අතර, අන් ආගම්වලට ගරු කිරීම හෝ උදව්කිරීම තුළින් බෞද්ධයකු ගේ බෞද්ධ බව නැතිවී නොය යි. මේ සියලු අරුත්වලින් අශෝක රජු බෞද්ධයකු වෙයි.
කර්නාටක ප්‍රාන්තයෙහි මස්කි, බිහාර් ප්‍රාන්තයෙහි සාසාරාම් හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙහි රූපනාත් යන ස්ථානවල තිබී සොයාගෙන ඇති, අශෝක රජුගේ කුඩා සෙල්ලිපි අංක 1 ලෙස නම් කරන ප්‍රාකෘත භාෂාවෙන් ලියැවුණු සෙල්ලිපියේ තමන් බුදුන්, දහම් හා සඟුන් සරණ ගිය “උපාසකයකු” බව පවසයි. (“Puratattva: Inscriptions of Ashoka”) මෙයට අමතර තවත් සෙල්ලිපි රැසක තොරතුරු මගින් අශෝක රජු බෞද්ධයකු වූ බව පැහැදිලි වූවත් මේ බව සනාථ කිරීමට තවත් සාක්ෂි අවශ්‍ය ද…?

‘(අශෝක රජුගේ 1 වෙනි කෙටි සෙල්ලිපිය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය)’
මේ සියලු සාධක මත ක්‍රි පූ 3වන සියවසේ දී ඉන්දියාවේ මගධ අධිරාජ්‍යයේ බෞද්ධ අධිරාජයා වූ අශෝක රජු ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව සනාථ වේ.
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා මිථ්‍යාවක් හෝ මිථ්‍යා කතන්දරයක් හෝ නොවැදගත් සිදුවීමක් හෝ යැයි පවසා, මහාවංශ කතුවරයා ගේ ප්‍රබන්ධයක් යැයි සඳහන් කරන්නේ මහාවංශයෙන් පරිබාහිර ඓතිහාසික සාධකවලින් ඔප්පුවන මේ සත්‍යය යි.
වෛද්‍ය අජිත් අමරසිංහ
(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළෙහි දී වසරේ හොඳ ම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)
මතු සම්බන්ධ ය…
මෙම ලිපියේ පළමු කොටස: මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
