අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා – ජනපති

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා  – ජනපති

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ ඉදිරියට යාමට මෙරට දරුවන්ට අවස්ථාව උදා කර දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේ එම සිසුන් වෙත කරන ලද ආරාධනය අනුව මෙලෙස විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ජනාධිපතිවරයා එම සිසුන් වෙත ලබා දී තිබු පොරොන්දුවක් ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් ද ඉතා කෙටි කලක් තුළ විද්‍යාලය වෙත ප්‍රදානය කිරීමට කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සිසු දරුවන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියහ.

එම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින් 96 දෙනෙකු පමණ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා එක්ව සිටී අතර ඔවුන්ට සහතික පත්‍ ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ හා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීරගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙහිදී සිසු දරුවන් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩනඟන අනාගත නායකයන් බිහි වන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බවයි.

එහිදී ලබා ගන්නා අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වන විට බොහෝ පාසල්වල ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මකවීම සතුටට කරුණක් බවද පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඓතිහාසික හා පෞරාණික පසුබිම මෙහිදී සිසු දරුවන්ට පැහැදිළි කර දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වෙමින් ව්‍යවස්ථා සභා ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශය පිළිබඳවද දැනුවත් කළේය.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර  අදහස් දක්වමින් පාර්ලිමේන්තු කාර්යභාරය පිළිබඳ පැහැදිළි කළාය.

මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.යූ.බී. හේරත්  සහ ගුරුවරුන් හා දෙමව්පියන් කිහිප දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න