1-6-10 ශ්‍රේණි සඳහා නව මොඩ්‍යුලර් පොත්

1-6-10 ශ්‍රේණි සඳහා නව මොඩ්‍යුලර් පොත්

පසුගිය 2019-2021 වර්ෂවල පැවති කොවිඩ් 19 ව්‍යසනය, අරගලය හා වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම ආර්ථික පසුබැස්ම නිසා අහිමි වූ සියලු පාසල් අධ්‍යයන කටයුතු 2025 වර්ෂය වන විට යාවත්කාලීන කර අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසී ය.

ඒ වෙනුවෙන් පසුගිය වසර දෙකක කාලය පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු දෙනා කළ සුවිශාල කැපවීම පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නොමැති බවත් විදුලිය, ඉන්ධන අද අවශ්‍ය පමණ ඇති නිසා රට යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක එම වෙහෙසකර මතකයන් බොහෝ දෙනෙකුගෙන් ගිලිහී යමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහනට ඊයේ සහභාගී වෙමින් පිටිපන ප්‍රධාන ගබඩා සංකීර්ණයේ දී ය.

රජයෙන් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ දෙනු ලබන පෙළපොත් ඉදිරි 2025 වර්ෂයේ දීත් නිසි කලට අඛණ්ඩ ව ලබා දීමේ අරමුණින් එම ඉදිරි වර්ෂයට අදාළ පෙළපොත් බෙදා හැරීමේ කටයුතු මෙසේ ඇරඹුණ බව ද සුසිල් ප්‍රේමජයන්ත  මෙහි දී කියා සිටියේ ය.

උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා පහ ශේණි ශිෂ්‍යත්ව විභාග උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ගේ දීමනා සියල්ල ද වැඩි කර ඇති බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා ලබන සැප්තැම්බර් මාසය වන විට පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කී ය. එසේ ම 2025 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විභාගය මුල් මාස දෙක තුළ පවත්වා උසස් පෙළ ඇතුළු අනිකුත් විභාග ද වේලාසන පවත්වා විභාග කාලසටහන යාවත්කාලීන කරන බවත් හෙතෙම පැවසී ය.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම ආරම්භ කළ උසස් පෙළ පන්ති අධ්‍යයන කටයුතු මේ වන විට සාර්ථක ව සිදු කෙරීගෙන යන බවත් ඒ සඳහා අවශ්‍ය විද්‍යා, ගණිත, තාක්ෂණ, ඉංග්‍රීසි ඇතුළු විදේශ භාෂා යන විෂයන්ට අදාළ ගුරු පත්වීම් 2,300ක් මීට සති දෙකකට පෙර ලබා දුන් බවත් පළාත් මට්ටමින් ද විභාග පවත්වා ගුරු පත්වීම් 16,000ක් පමණ ලබා දී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා උසාවි නියෝග මත වසරකට අධික කාලයක් ඇණහිට තිබූ සංවර්ධන නිලධාරීන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ දී එකඟතාවකට පැමිණ 23,000ක් වූ එම පිරිසගෙන් විභාග ප්‍රතිඵල මත ගුරුපත්වීම් ලැබූ 6,000ක ප්‍රමාණය හැර ඉදිරි සති දෙක තුළ කැබිනට් පත්‍රිකාව අනුමත කරගෙන නඩු කටයුතු අවසන් කර ඉතිරි පිරිස සම්මුඛ පරීක්ෂණයකින් අනතුරු ව අභ්‍යාසලාභීන් ලෙස ස්ථානගත කිරීම් සිදු කරන බවත් සඳහන් කළේ ය. ඒ අනුව විෂය වර්ග කිහිපයක හැර ඉතිරි සමස්ත ගුරු පුරප්පාඩු ප්‍රමාණය ම පුරවා අවසන් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

එසේ ම 2024 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් සම්පූර්ණයෙන් ම සිසුන්ට ලබා දී අවසන් කර ඇති බවත් ඒවා ලබාගත්තේ ද මෙරට ආර්ථිකයට බරක් නොවන ලෙස 80%ක චීන ප්‍රදානයක් වශයෙන් බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි 2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද සම්පූර්ණයෙන් ම නොමිලේ චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ සියල්ල නිසි කලට ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් පැවසී ය. ඒ අනුව රුපියල් බිලියන හයක් රජයට ඉතුරු වන බව කී අමාත්‍යවරයා 2025 වර්ෂයට අවශ්‍ය පෙළපොත් ද දරුවන්ට නිසි කලට ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පැවසී ය. නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය අනුව 2025 වර්ෂයේ සිට 1-6-10 ශ්‍රේණිවල මොඩ්‍යුලර් ක්‍රමයට පන්ති කාමරය තුළ ඉගැන්වීම් සිදු කිරීමට අවශ්‍ය පොත් නිර්මාණය කර ඇති අතර 2025 ජනවාරි මස එම පොත් ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න