ආගම්වලට අපහාස කරන්න කාටවත් බැහැ - සජිත්

ආගම්වලට අපහාස කරන්න කාටවත් බැහැ - සජිත්

පසුගිය කාලයේ බිහි වූ ආණ්ඩු ආගම ජාතිය භාෂාව කුලය කේන්ද්‍ර කර ගෙන ජන ජීවිත විනාශ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ ඊයේ (23) මහනුවර අකුරණ නගරයේ දී පැවති ජන රැලියේ දී ය.

මතු දැක්වෙන්නේ එම අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ සම්පූර්ණ කතාව ය.

 මම, කඩා වැටුණු රට එක්සේසත් කරනවා

‘‘ජාතිවාදයට ජාතිභේදයට ආගම්වාදයට විරුද්ධව පාරට බැස්සේ සමගි ජන බලවේගය යි. ආදාහනය සහ භූමදානය ගැටලුවේ දී මුස්ලිම් ජනතාව වෙනුවෙන් මහපාරට බැහැලා ජාතික සමගිය ආගම් අතර සමගිය වෙනුවෙන් පාරට බැස්සෙත් සමගි ජන බලවේගය යි. සමහර අය පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට යට වෙලා ඉස්ලාම් ආගමට අපහාස කරමින් අන්තවාදී චෝදනා එල්ල කරා. මේ රටේ කිසිම කෙනෙකුට: කිසිදු ආගමකට, ජාතියකට, අපහාස කරන්න අයිතියක් නෑ. සෑම ආගමකට ම ජාතියකට ම ගරු කළ යුතුයි. මේ රට අපි හැමෝගෙ ම රට.

මේ බෙදුනු රට; කඩාවැටුණු රට එක්සේසත් කිරීම මම කරනවා. අපේ ආණ්ඩුවක් යටතේ: ජාතිවදයට, ජාතිභේදයට, ආගම්වාදයට, ආගම්භේදයට, අන්තවාදයට ඉඩ නෑ. අපේ රටේ මේ මොහොතේ පවතින්නේ ගැටුම්කාරී දේශපාලනය රජවුණු යුගයක්. තරහ මරහකම්, එදිරිවාදිකම්, හතුරුකම්, ජාතිවාදය ආගම්වාදය, ගෝත්‍රවාද,ය වර්ණභේදය, කුල භේදය යනාදි විදියටරට බෙදිලා; රට බංකොලොත් වෙලා ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අතරමං වෙලා ඉන්න මොහොතක තවදුරටත් නොබෙදී එකතු වෙන්න ඕනෙ. ඊර්ෂ්‍යාව වෛරය බල තන්හාව බැහැර කරලා රට ගොඩනගන එකමුතුභාවයකට එක්වෙන්න ඕනෙ. එහෙම නැතුව මේ විදියට නම් ඉදිරියට යන්න බෑ.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට මේ රටේ පොදු ජනතාව ගැන හිතන්නේ නෑ; පොදුජන හදගැස්ම ගැන අවබෝධයක් නෑ. සංහිඳියාව, සහෝදරත්වය හා මිත්‍රශීලීත්වය තුළ ජනතාවක් විදියට එකට එකතු වී එකමුතුභාවය රට ගොඩනගන ශක්තිය බවට පත්කරගත යුතුයි. බෙදුණු රට තුළ විවිධ හේතු නිසා කඩා වැටුණු, ගරා වැටුණු ජන සමාජය එකමුතුභාවය තුළින් යළි ගොඩනැගීමට එක්වන්නැයි මම හැම දෙනාට ම මිත්‍රත්වයේ හස්තය දිගු කරනවා.

රට සින්නක්කරව ලියා ගන්න කාටවත් අයිතියක් නෑ

බංකොලොත් රට ගොඩ ගත යුතුයි. අප රට ආර්ථික වශයෙන් දියුණු වනවා වෙනුවට බංකොලොත් වෙලා. ඒකටට හේතුව තමයි කණ්ඩායමක් රට සින්නක්කරව ලියාගෙන වගේ පාලනය කිරීම. මේ රට තනි පුද්ගලයකුට... එහෙමත් නැතිනම් කණ්ඩායමට අයිති රටක් නෙවෙයි; ලක්ෂ දෙසිය විස්සක් ජනතාවට අයිති රටක්. ජනාධිපතිවරණය හරි මහමැතිවරණය හරි දිනුවා කියලා රට සින්නක්කරව ලියාගන්න බෑ. එහෙම කරන්න දෙන්නෙත් නෑ. ඒක තාවකාලික භාරකාරත්වයක් විතරයි. අපි නව ආර්ථික දැක්මක් තුළින් රට ගොඩගන්නවා. සියලු දෙනාට සමාන ප්‍රතිලාභ ලැබෙන සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ගොඩනංවා රට නැවතත් දියුණු කරනවා. අපේ රටේ සීමසහිත සන්නාම තිබුණට කොරියාව තුළ විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ සන්නාම තියෙන නිසා අපේ රටත් ඒ තත්ත්වයට ගත යුතුම යි.

බෝම්බ දෙකක් වැටුණු ජපානයත්, යුද්ධයෙන් විනාශ වූ වියට්නාමයත්, ගෝත්‍රික යුද්ද නිසා විනාශ වුණ රුවන්ඩාවත් අද ලෝකයේ දියුණු රටවල්. අපිත් ඒ විදියට දියුණු විය යුතු යි. ඒ සඳහා ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කළ යුතුයි. ‘නැහැ බැහැ බලමු’ කියන අදහස නැති කරගෙන එකමුතුභාවයෙන් සහ කැපකිරීම් සිදු කරලා, සද්ජාතිකත්වයක් ඔස්සේ අපේ රට ගොඩ ගැනීමට එකතු වන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

(සටහන - ජයසිරි අලවත්ත)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න