Language Switcher

V2025

බහුතරයක් නැති ජනපතිවරු දෙදෙනා ගැන රනිල් කියන කතාව

තමාට මෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාටත් බහුතරය නැති හෙයින් තමාගේ සහ අනුරගේ තිබෙන වෙනස කුමක්දැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විමසී ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ විමසුවේ අද (27) මීගමුවේදී පැවති ජන හමුවක දී ය.

එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

බහුතරයක් නැති හිටපු ජනාධිපති සහ බහුතරයක් නැති ඉන්න ජනාධිපති

‘‘පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්න කියල අනුර දිසානායක ජනාධිපතිතුමා මට කියල තියෙනවා. ඇත්ත... බහුතරයක් දෙනා මට ඡන්දය දුන්නේ නැහැ කියන කාරණය මම පිළිගන්නවා. හැබැයි අනුර දිසානායක ජනාධිපතිතුමාටත් බහුතරය නෑ. ඒ නිසා ‘මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති’ ඒක තමයි ඇත්ත කතාව.

මම පළමුවෙන්ම දේශපාලනයට ආවෙ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ, එක්දහස් නමසිය හැත්තෑ හත අවුරුද්දෙ. එදා මම මන්ත්‍රී කෙනෙක් විදියට පත්වුණා. එදා ගම්පහ කියල වෙනම දිස්ත්‍රික්කයක් තිබුණේ නැහැ. මේ ගම්පහ උතුරු කොටස. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයක් කරන්නැයි අපි ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව තමයි ගම්පහ දිස්ත්‍රික්කය ඇරඹුණේ. එදා මේක නොදියුණු දිස්ත්‍රික්කයක්. අපි එදා කටුනායක සහ බියගම නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කරා. ප්‍රේමදාස ජනපති යටතේ ගම්මාන සහ නිවාස ගණනාවක් බිහි බිහි කරා; නගර දියුණු කරා; ඒකල ප්‍රදේශය දියුණු කරා; ගුවන් තොටුපොළ දියුණු කරා. ඒ අනුව විශාල දියුණුවක් ඇතිවුණා. දැන් ගම්පහ ප්‍රධාන දිස්ත්‍රික්කයක් බවට පත්ව තිබෙනවා.

නිමල් ලාන්සාගේ කපුකම

එජාප පරාජයෙන් පස්සෙ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ දිස්ත්‍රික්කය නියෝජනය කරා. එතුමියත් වතුපිටිවල යනාදි ප්‍රදේශ දියුණු කරමින් ඒ දියුණුව තවත් ඉදිරියට ගෙන ගියා. අද ගම්පහ කියන්නෙ ලංකාවේ ජනගහනය වැඩිම දිස්ත්‍රික්කයක්. ඒ වගේ ම කොළඹ සමග කරට කර තරග කරන්න පුළුවන් හැකි දිස්ත්‍රික්කයක්. එහෙම දියුණුවක් ඇති කරේ එජාපය සහ ශ්‍රීලනිප යන පක්ෂ දෙක කියන එක අමතක කරන්න එපා.

අද මම මෙහේ ආවෙ අලියාට ඡන්දෙ දෙන්න කියන්න නෙවෙයි; මම මෙහේ ආවෙ ගෑස් සිලින්ඩරයට ඡන්දෙ දෙන්න කියල කියන්න. රට කඩා වැටුණු අවස්ථාවේ වගකීම බාරගන්න වෙන කවුරුවත් හිටියේ නෑ; සජිත් හෝ අනුර එදා හිටියේ නෑ. අගමැති වෙන්නවත් කවුරුවත් හිටියේ නෑ.

''එක දවසක් නිමල් ලංසා මට කතා කරලා අගමැති වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔයා මට අගමැතිකම දෙන්නේ කොහොමදැයි මම ලන්සාගෙන් ඇහුවා. කවුරුවත් බාර ගන්නෙ නෑ කියල නිමල් ලංසා මට කිව්වා. ඒ අනුව ගෝඨාභය ජනාධිපතිවරයා හමුවන්නට ගොස් මා ඒ අභියෝගය භාර ගත්තා. ටික කාලයක් යද්දි ජනාධිපතිතුමත් යන්න ගියා. එදා පාර්ලිමේන්තුව වට කරපු දවසේ කවුරුවත් හිටියේ නෑ. අද රට ඉල්ලන හැමදෙනා ම එදා දිව්වා. අපි හමුදාව යොදවලා මේ රට ආරක්ෂා කරා. ඊට පස්සෙ පාර්ලිමේන්තු චන්දෙදි මට ඉදිරිපත් වෙන්න කියල ඉල්ලීම් ආවා. ඉන්පසුව පාර්ලිමේන්තුවේ බහුතරයක් එකතු කරගෙන ආණ්ඩුවක් හැදුවා. අද අපි බංකොලොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. ඒක කරන්න පුළුවන් කියල එදා කවුරුවත් හිතුවේ නෑ.''

දේශගුණ විපර්යාස පිළිබඳ විශේෂඥයා

අපි රට වැටෙන්නට ඉඩ දුන්නේ නෑ. ජනපතිවරණයෙ දි අපි ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වුණා. ඒ වගේ ම අද ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින මේ සියලු දෙනා පළපුරුදු පිරිසක්. ගම්පහට මාලිමාවෙන් ඉදිරිපත් වී සිටින්නේ කවුද? ඒ අය කවුදැයි ඔබලා දන්නව ද? මෙතන පළපුරුදු අය සිටිනවා. දේශගුණ විපර්යාස සම්බන්ධව දන්නා අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබෙන්නේ අපි විතරයි. රුවන් විජයවර්ධන කියන්නේ දේශගුණ විපර්යාස පිළිබඳව හොඳින් දන්නා කෙනෙක්. ඔහු මගේ උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වුණ කෙනෙක්. මාලිමාවේ මෙවැනි අය ඉන්නවාද? නලින් ප්‍රනාන්දු ඇමති කාලයේ පොල් පෝලිම් තිබුණේ නැහැ . ලසන්ත ඇමතිතුමා මහා මාර්ග ප්‍රවාහනය ගැන දන්නා කෙනෙක්. ඒ නිසා සිලින්ඩරයට ඡන්දය ලබාදී මේ අය පාර්ලිමේන්තුවට එවන්න.

අපි දෙන්න ම ඉන්නෙ එකට

අනුර දිසානායක ජනාධිපතිතුමා ඉන්නෙ මාස තුනයි කියල මිනිස්සු කියනවා. මම නම් එහෙම කියන්නේ නැහැ. එතුමා ජනාධිපති විදියට ගමනක් යන්න ඕනෙ. එතුමාගේ පක්ෂය පැත්තෙන් දෝෂාභියෝගයක් ආවොත් නම් මම දන්නේ නැහැ. එහෙම දේවල් කරන්න ඕනෙ නෑ. හැබැයි දාලා තියෙන ලැයිස්තුව දැක්කොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් නෙමෙයි සති තුනක් වත් තියෙයි කියලා මං නම් හිතන්නේ නෑ. ඒ නිසා රට ගෙනියන්න පළ පුරුද්ද තියෙන, පුළුවන් අයට ඡන්දය දෙන්න ඕනෙ. පළපුරුදු අය පාර්ලිමේන්තුවේ හිටියොත් ජනපතිට අවුරුදු තුනක් හරි රට ගෙනයන්න පුළුවන්. එහෙම නැති වුනොත් පොල් පෝලිම් නෙවෙයි හැම තැනම පෝලිම් තියේවි. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඡන්දය ඉල්ලුවා. බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා. ඉතින් එතුමටත් බහුතරයක් දීලා නැහැනෙ; එතුමටත් සියයට පනස් එකක් ලැබුණේ නැහැ. එහෙම නම් එතුමගේ සහ මගේ වෙනස මොකක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමාට වගේම මටත් බහුතරය නෑ.ඉතින් විශේෂත්වය මොකක්ද? අපි දෙන්නම ඉන්නේ එකට.

වර්ජන මෙහෙයුවේ මාලිමාව

මම දැන් එතුමාලා කොනිත්තනවා කියල කියනවා. මම කොහොමද කොනිත්තන්නේ. විජිත හේරත් ඇමැතිවරයා රජයේ සේවකයන් කෙනිත්තුව නිසා මා ඒ ගැන කතා කරා. මේ රටේ පඩි වැඩි කරන්න කියල විශාල උද්ඝෝෂණයක් ගියා. මාලිමාවෙන් වර්ජන පවා ඇති කරා. ඒ අනුව රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සඳහා උදය සෙනෙවිරත්න ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා. ඊට කලින් මම රුපියල් දස දහසක් ද ලබාදී තිබුණා. පසුව උදය සෙනවිරත්න කමිටුව වාර්තාව අපට ලබා දුන්නා. ඔවුන් ඉදිරිපත් කළ පඩි වැඩි කිරීම කරන්නට බැරි බව භාණ්ඩාගාර ලේකම්වරයා පැවසුවා. අපගේ ලේකම් සමග කතා කරන්නැයි මම උදය සෙනෙවිරත්න මහතාට කිව්වා. ඊට පස්සෙ කොටස් දෙකකට වැටුප් වැඩි කරන්න භාණ්ඩාගාරය කැමති වුණා.

ඒ අනුව වැටුප් වැඩිවීමේ භාගයක් මේ වසරේ සහ භාගයක් ලබන වසරෙ දි දෙන්න එකඟතාවක් ඇතිවුණා. ඇත්ත වශයෙන්ම දෙදහස් විසිදෙක වසරේදී මුදලේ වටිනාකම සියයට පනහකින් අඩු වුණා. ඉතින් රාජ්‍ය සේවකයන් ජීවත්වන්නේ කොහොම ද? දෙදහස් විසිපහ වසරේ වියදම් කරන මුදල් සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ කණ්ඩායමට දැනුම් දිය යුතුව තිබෙනවා.

අනුර නොදන්නා විසර්ජන පනත

දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දහතුනක දක්වා අපේ වියදම සීමා කරල තිබුණා. අපි කරන වියදම් සියල්ල ඔවුන්ට දැනුම් දිය යුතුයි. ඒ අනුව අපි රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමත් වියදම් ලේඛනයට ඇතුළත් කර තිබුණා. කැබිනට් තීරණය ගන්න සිදුවුණේ ඒ නිසයි. අයවැය සඳහා වියදම් සීමාව කුමක්දැයි මූල්‍ය අරමුදලට පෙන්විය යුතුව තිබෙනවා. මෙය නිල වශයෙන් ගත් තීරණයක් නොවන බව අනතුරුව විජිත හේරත් ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණා. අනතුරුව අපේ පක්ෂවල වෘත්තීය සමිති නිලධාරීන් මාව හමුවුණා. පසුව සිදුවී ඇති දේ පිළිබඳව මම ඔවුන්ට විස්තර කරා. ඊට පස්සෙ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින්කිව්වෙ මොකක්ද? මම හිතුමතේ මේ වැඩි කිරීම් කරලයි කියල කිව්වා. මම එහෙම කරල නැහැ. මම මුදල් වෙන් කරල නැහැ කියල ජනාධිපතිවරයා කියල තිබුණා. මුදල් වෙන් කරන්නේ දෙදහස් විසි පහේ විසර්ජන පනතින්. දෙදහස් විසි හතරෙ විසර්ජන පනතින් දෙදහස් විසිපහ සඳහා මුදල් වෙන් කරන්න බැහැ. අනුර දිසානායක ජනාධිපතිතුමා ඕක දන්නේ නැද්ද? මම දෙදහස් විසි හතරෙ විසර්ජන පනතින් රුපියල් දස දහසක වැටුප් වැඩිවීම සඳහා මුදල් වෙන් කරා. අපි මෙවර පඩි වැඩිවීම සකස් කරේ දෙදහස් විසි පහේ විසර්ජන පනතට දාන්න.

කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරන්න

මේ පඩි වැඩිවීම ගැන මම භාණ්ඩාගාර ලේකම්තුමාට, ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සමරතුංග මැතිතුමා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන සියලු දෙනා සමග සාකච්ඡා කරා. මේ පඩි වැඩිවීමේ තීන්දුව තියෙන තුරා ම ඒක අයවැයට ඇතුළත් කරන්න ඕනෙ. තීන්දුව වැරදි නම් ඒක ඉවත් කරන්න; ඒ තීන්දුව අහෝසි කරන්න. මොකද වත්මන් ජනාධිපතිතුමාට ඒ සඳහා බලය තිබෙනවා. පඩි වැඩි කිරීම ගැන අවධානය යොමු කරන බව දැන් ඔවුන් කියනවා.

ඒවා වැඩක් නැහැ. අපි කැබිනට් තීන්දුවක් අරගෙන තිබෙනවා. එය ක්‍රියාත්මක කරන්න. එය ක්‍රියාත්මක කිරීමේ විශේෂ වගකීමක් ගම්පහ අපේක්ෂකයන්ට තිබෙනවා. ඔය ගැන කතා කරපු විජිත හේරත් ඉන්නේ ගම්පහ. රාජ්‍ය සේවකයන් ගැන කතා කරපු මහින්ද ජයසිංහ ඉන්නෙත් ගම්පහ. ආර්ථිකය ගැන කතා කරන අනිල් ප්‍රනාන්දු ඉන්නෙත් ගම්පහ. මේ පඩි වැඩි වීම කරන්නේ නැත්නම් මේ අයට ඡන්දය දෙන්න එපා කියල ඔබ කියන්න. අපි මේ තරග කරන්නේ ආණ්ඩුවක් අරගෙන මේවා ඉදිරියට ගෙනියන්න. එතුමට ජනාධිපති ලෙස ඉන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. මට වගේම එතුමාටත් බහුතරයක් නැති නිසා කවුරු හිටියත් කමක් නැහැනේ.’’