ලියාපදිංචි නොකළ අලි ඇතුන් නඩුවට අතුරු තහනමක්

ලියාපදිංචි නොකළ අලි ඇතුන් නඩුවට අතුරු තහනමක්

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද(07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන ආයතනය ඇතුළු සංවිධාන කිහිපයක් ඉදිරිපත් කර තිබූ පෙත්සමක්, මෝසමක් ගොනු කරමින් අද යළි කැඳවූ අවස‍්ථාවේදී ය.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

බලපත්‍ර නොමැති වීම හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලද අලි ඇතුන් යළි හිමිකරුවන් වෙත මුදා හරින්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ නියෝග බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට පටහැනිව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇති බවට චෝදනා කරමින්, මෝසම ගොනුකර තිබුණි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන  අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයට පටහැනිව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු ගොනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන්වා, නඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වීම නතර කිරීමට කටයුතු කරන්නැයි ජනපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන ද කියා සිටියේ එම ඉල්ලීමට තමා විරුද්ධ නොවන බවයි.

ඒ අනුව දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඬුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව විභාගයට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් නඩුකරයට අදාළ නඩු ගොනුව ශ්‍රේෂ්ඨාධිකරණය භාරයට ගැනීමට නියෝග කළේ ය.

පෙත්සම්කරුවන් විසින් ලියාපදිංචි නොකළ අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට භාර දීමට අවසර දෙමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම ගොනු කර තිබේ.

එය සළකා බැලීමෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන  පෙනී සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න