Language Switcher

V2025

2026දී ළමයින්ටත්, දෙමව්පියන්ටත්, ගුරුවරුන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා - අගමැතිනි

 ළමයින්ටත්, ගුරුවරුන්ටත්, දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරනවා. මේක කරන්නේ ජනප්‍රිය වෙන්නවත්, ඡන්දේ ගන්නවත් නෙමෙයි, අපේ රටේ අධ්‍යාපනය නිවැරදි කරන්න ඕන කියන අවංක අදහසින්..... පසුගිය කාලයේ ගුරුවරුන් බඳවා ගැනීම නිසි පරිදි සිදුවී නොමැති බවත්, ඉදිරියේ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්ගහවෙල, වීරඹුගෙදර, පිදුරුවැල්ල, පිල්ලැස්ස, මාවතගම සහ පරගහදෙනිය යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් ඇය මෙසේ පැවසුවාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

‘‘රජය සෑම ක්⁣ෂේත්‍රයකම තිබෙන ගැටළු හදුනා ගනිමින්, ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරමින්, අවශ්‍ය දක්ශ නිලධාරීන් තෝරාගනිමින් රජය කටයුතු කරගෙන යනවා. ඒ ව්‍යාපෘති ගමට ගේන්න මේ මැතිවරණය අපිට සුවිශේෂයි.

දේශපාලනයේ ඉහළ ස්ථරය සුද්ධ කලා වගේම බිම්මට්ටමත් පිරිසිදු විය යුතුයි.

අපේ ප්‍රතිවාදී කණ්ඩායම් වලට තියෙන්නේ වෙනස් වුවමනාවක් මේක විපක්ෂයට දේශපාලන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් කියලා අපිට තේරෙනවා.

නමුත් අපිට පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. රජයේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අපිට පාලන ව්‍යුහය හරියට හදාගෙන ඉන්න ඕන.

මම දැක්කා එක්සත් ජාතික පක්ෂය කියලා තියනවා අගෝස්තු වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා කියලා. මං දන්නෑ කොහොමද ඒක වෙන්නේ කියලා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස දෙසැම්බර් වෙනකොට ජනාධිපති වෙනවා කියලා කිව්වා ඇත්තටම මං දන්නෑ කොහෙන් මතුවෙන අදහස් ද කියලා.

විහිලු සපයන ඒ ව්‍යාපාර දිහා අනුකම්පාවෙන් බලලා අපේ ගමන අපි යන්න ඕනේ. අපේ ගමන අපිට හරියට යන්න අවශ්‍ය ඒ කණ්ඩායම පත් කරලා එවන්න එක තමයි ඔබ කරන්න ඕන.

දේශපාලන සංස්කෘතිය තුළ අපි කරලා තියෙන වෙනස ජනාධිපති සහෝදරයා ජනාධිපති වුණ මොහොතේ සිටම ඔබ දකින්න ඇති. අපි මේ රටේ ජනතාවට බරක් නොවන විදිහට ආණ්ඩුව ගෙනියන්න සෑම උත්සාහයක්ම ගන්නවා. දේශපාලනඥයන්ට ඕන විදිහට නටන්න අපි ඉඩතියන්නේ නැහැ.

අමතර වියදම්, නාස්තිය, හොරකම් සියල්ල නතර කරලා තියෙන්නේ. තවදුරටත් අපිට කාටවත් දැන් චෝදනා කරන්න බැහැ හොරකම් කරනවා කියලා.

මේ වෙනකොට මහනුවරට විශාල පිරිසක් පැමිණෙනවා.
මහනුවර දළදා වන්දනාවට ගිය බැතිමතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම් ජනතාව පල්ලිය විවෘත කරලා දුන්නා, ව්‍යාපාරික ස්ථාන විවෘත කරලා දුන්⁣නා රටේ ජනතාව තුළ එවැනි සාමූහික හැගීමක් ඇති වෙලා තිබෙනවා.

අපේ දරුවන්ට දැනුම තිබුණත් ලෝකය ඉදිරියට යන්න පුළුවන් කුසලතා ආකල්ප වර්ධනයේ බරපතල ගැටළු තියෙනවා.

එතකොට ඒක විතරක් නෙවෙයි ඊටත් එහා ගියොත්ඒ කියන්නේ අධ්‍යාපනයේ අඩුම තරමේ ඒ දැනුමක ආකල්ප සහ කුසලතා අධ්‍යාපන ක්‍රමය තුළ හරියට සිද්ධ වෙන්නේ නැති නිසා විශාල සමාජයක් අර්බුධයක් නිර්මාණය වෙලා තිබෙනවා.

පාසල් අතර විෂමතාවයක් තියෙනවා. හොඳ පාසල් හොඳ නැති පාසල්, ජනප්‍රිය පාසල් ජනප්‍රිය නොවන පාසල්, පාසැල් අතර විශාල තරගකාරීත්වයක් ඇතිවෙලා තියෙනවා. උසස් පෙළ හදාරන ළමයි පාසල් යන්නේ නැහැ. පාසලට යන්නේ රෙජිස්ටර් එකේ නම දාගන්න විභාග විභාගයට පෙනී සිටින්න විතරයි. පිරිමි දරුවන් සීග්‍රයෙන් අධ්‍යාපනයෙන් හැලෙනවා. පාසල් තුලත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නෙ දැනුම විතරක් නෙවෙයි සමාජයට අවශ්‍ය ගුණාංග, අධ්‍යාත්මික දියුණුවත් අවශ්‍යයි.

මේක වෙනස් කරන්න අපි මැදිහත් වෙන්න ඕනේ. එතකොට අධ්‍යාපනයෙන් මේ ආර්ථිකයට මේ සංවර්ධන සැලැස්මට සම්බන්ධ වෙන්න පුළුවන් කුසලතා තියෙන පිරිසක් බිහිවෙන්නත් ඕනේ.

ගුරු විද්‍යාපිඨ වල ලබා දෙන්නේ පුහුණුවක් නෙමෙයි ඒක නවක වදය වගේ එකක්. නේවාසික පහසුකම් නෑ, සනීපාරක්ෂක පහසුකම් නෑ, ඉගෙනුම් පහසුකම් නෑ, වසර පහලොවකින් විෂය නිර්දේශ වෙනස් වෙලා නෑ, ගුරුවරුන් පුහුණු කරන්න සුදුසු ආචාර්ය මණ්ඩල නෑ මේ සියල්ලම අපිට නිවැරදි කරන්න වෙලා තිබෙනවා.

ජර්මනියේ අවුරුදු 9ක් පුහුණු වුණාට පස්සේ තමා දරුවන්ට උගන්වන්න දෙන්නේ නමුත් අපේ රටේ මොනවද කරන්නේ. ඒ තත්ත්වයට නැතත් තියන තත්වයෙන් ඉදිරියට යන්න අවශ්‍ය වටපිටාවක් හදන්න ඕන. පාසල්වල විශාල ගුරුහිගයක් තිබෙනවා. සමහර පාසල් වල ගුරුවරුන් බෙදීයාමෙි විෂමතා තිබෙනවා. පසුගිය කාලයේ නිසි පරිදි ගුරුවරුන් බඳවාගෙන නැහැ. ඉදිරියේ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්න අවශ්‍ය කටයුතු අපි සැලසුම් කරමින් යනවා.

පාසල්වල විෂය මාලා හඳුන්වා දීම, ගුරු පුහුණුව, පාසැල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය සිදු කරන්න අපි කටයුතු කරමින් යනවා. ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය තුළ බරපතල ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ පිළිබඳ නිවැරදිව නිරීක්ෂණය කරලා අවශ්‍යතා හදුනාගෙන අවශ්‍ය නිර්දේශ කඩිනමින් ලබා දෙන්න මේ වන විට කමිටුවක් පත් කර තිබෙනවා.‘‘