ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරය තමා භාරගැනීම තුළින් රටට අහිතකර තීන්දු රැසක් ගැනීමට තිබූ අවස්ථා වැළකී ගිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අමතමින්.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු සභාපති අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුණු අතර අදාළ උත්සවය සඳහා තමන්ට ආරාධනා කර නොතිබූ බවත් මේ සඳහා තමන් සහභාගීවූයේ උත්සවයේ සංවිධාන කටයුතු කළ රවී ජයවර්ධනගෙන් දුරකතනයෙන් විමසා බවද ජනාධිපතිවරයා අන්දහන් කර සිටියේය.
එසේම රටේ අනෙක් දේවල් සිදු වන්නේද එසේ යයිද කී ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂකයා ලෙස යොදා ගත්තේ ඉදිරිපත් වන්නට කෙනෙක් නොසිටි නිසා බවත් එය ජයගත් පසු සුදු කල දින 100 වැඩසටහන සකස් කලේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත් එම වැඩසටහන ලොකු වැරැද්දක් බවත් කීය. එසේම දින 100 ආණ්ඩුව වෙනුවට ඒ මොහොතේ කල යුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයකට යාම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
‘ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය මං බාරගත්තට පස්සෙ තමයි රොටිය ඇටකුණා වුනේ කියල කිවුව. රොටිය ඇටකුණා වුණ හැටියි කන්න බැරිව කර වුනු හැටියි හොදට මට කියන්න පුළුවන් මාත් එක්ක සංවාදයකට එනවනං’ යයිද ජනාධිපතිවරයා පැවසීය.
ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණ එම උත්සවය අමතමින් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්‍ෂයට දැඩි විවේචනයක් එල්ල කරනු දක්නට ලැබිණ.

