වැඩ කරන ජනතාවට ගෞරවනීය සේවාස්ථානයක් සහතික කිරීම උදෙසා ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් ආරක්ෂාවීම සහතික කිරීම සඳහා රජය කැපවී සිටින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද ඊට අදාළ මූලික කරුණු අන්තර්ගත කර ඇති බවයි.
අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ වඩාත් සුරක්ෂිත සහ පරිපූර්ණ සේවා ස්ථාන නිර්මාණය කිරීම කරා මෙරට ගෙන යන ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ILO 190 සම්මුතිය අපරානුමත කිරීම පිළිබඳ ජාතික වැඩමුළුව අමතමිනි.
කම්කරු අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) එක්ව සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා රේඛීය අමාත්‍යාංශ කිහිපයක මෙන්ම ත්‍රෛපාර්ශ්වික සේවා යෝජකයින්ගේ සහ සේවක සංවිධාන ආදියේ සහභාගිත්වයෙන් අද (27) කොළඹ 03 එන් එච් කලෙක්ෂන් හෝටලයේ දී පැවැත්විණි.
C190 අපරානුමත කිරීම සඳහා වත්මන් ව්‍යායාමය ශක්තිමත් කරමින්, C190 අපරානුමත කිරීම පිළිබඳ ජාතික එකඟතාවයක් සාකච්ඡා කිරීම සහ ගොඩනැගීම මෙම වැඩමුළුවේ අරමුණ විය. එසේම, පරිපුර්ණ සහ සම්බන්ධීකරණය කරන ලද ජාතික ප්‍රවේශයක වැදගත්කම අවධාරණය කරමින්, අපරානුමත කිරීමේ අභියෝග සහ අවස්ථා පිළිබඳව සමාජ සංවාදයක සහභාගිවන්නන් නිරත විය.
රැකියා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ගෝලීය හා ජාතික වශයෙන් ප්‍රමුඛ අභියෝගයක් ලෙස පවතින අතර, ලොව පුරා සේවකයින්ගෙන් සියයට 22 කට වඩා වැඩි ප්‍රමාණයක් සිය සේවා කාලය තුළ අවම වශයෙන් එක් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් හෝ හිංසනයක් අත්විඳ ඇත.
2019 වසරේදී, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ඇතුළු ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර වැඩ ලෝකයකට සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය පිළිගැනීමේ පළමු ජාත්‍යන්තර ගිවිසුම වන ILO සම්මුති අංක 190 (C190) සම්මත කර ගැනීම සඳහා වැඩ ලෝකයේ කාරක (world of work actors) හමු විය.
උත්සවය අමතමින්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා ජෝනි සිම්ප්සන් මහත්මිය පැවසුවේ “C190 සම්මුතිය අපරානුමත කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් සමාජ සාධාරණත්වය සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙරට දැඩි කැපවීම පෙන්නුම් කරන බවත්, C190 සම්මුතිය ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ සහ මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ඇතුළු සියලු ආකාරයේ රැකියා ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ආමන්ත්‍රණය කරන බව සහ මෙම පියවර ක්‍රියාත්මක කිරීම මගින් ක්‍රියාකාරී වැළැක්වීමේ උපාය මාර්ග ප්‍රවර්ධනය කිරීම, විශේෂයෙන් අඩු සැලකිලි ලබන කණ්ඩායම්වල පුද්ගලයන්ට, සැමට ආරක්ෂිත, වඩාත් පරිපූර්ණ සේවා ස්ථානයක් සඳහා අයිතිය සහතික කිරීම ශක්තිමත් කරන බවත් ය. C190 සම්මුතිය අපරානුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වෘත්තීය සමිති සහ සේවායෝජකයින්ට සහාය විය හැකි ආකාරය ඉලක්ක කරගත් විද්වත් මණ්ඩල සාකච්ඡාවක් ද මෙම වැඩමුළුවේ දී පැවැත්විණි.
190 වන සම්මුතිය අපරානුමත කිරීම, ශ්‍රී ලංකාවේ සියලුම සේවකයින් සඳහා ඔවුන් සේවාවේ නියුතු අංශය, රැකියා තත්ත්වය, ස්ථානය, විධිමත් හෝ අවිධිමත් පසුබිමක හෝ සාම්ප්‍රදායික නොවන වැඩබිම්වල සේවය කරයි ද නැතිද යන්න නොසළකා, ඔවුන්ගේ ගෞරවය, සුරක්ෂිතතාව සහ සමාන ආරක්ෂාව සහතික කිරීමේ වැදගත් පියවරක් වනු ඇත.
එය ඵලදායිතාව ඉහළ නැංවීමට, වගකිවයුතු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, කාන්තා රැකියා අවස්ථා පුළුල් කිරීමට, සමාජීය සහ සෞඛ්‍ය සේවා වියදම් අවම කිරීමට සහ පරිපූර්ණ ආර්ථික වර්ධනයට සහාය වීමට ද උපකාරී වනු ඇත. ඒ සියල්ල ශ්‍රී ලංකාවේ සුනිසි වැඩ සහ සදාචාරාත්මක ව්‍යාපාරික පිළිවෙත් සඳහා ඇති ජාත්‍යන්තර කීර්තිය ශක්තිමත් කරන අතරම, ප්‍රචණ්ඩත්වය සහ හිංසනය පිළිගත නොහැකි බවටත් එය අවසන් කළ යුතු බවටත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල පණිවිඩයක් ලබාදෙයි.
(ජේ. මුණසිංහ)

