ජනපති හදන්නේ ‘ඔටුන්නක්’ දාගන්නද? | විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එජාපය විමසයි

ජනපති හදන්නේ ‘ඔටුන්නක්’ දාගන්නද? | විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එජාපය විමසයි

අනුර කුමාර දිසානායක දිවුරුම් දී ඇත්තේ මෙරට ජනතාවත්, ජනතාවගේ පරමාධිපත්‍යයත් ආරක්ෂා කරන බවටත්, මෙරට දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුවේ පළමු ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ වගන්ති අනුව බවත්, ඊට ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ජනමත විචාරනයක් ද ඇතුළත් කරනු ලැබ ඇතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂය මෙලෙස සඳහන් කරන්නේ 36වන ඉල් මහ විරුසමරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ“අපේ ඔළුවට ඔටුන්නක් වැටුණේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යන ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

එමෙන් ම ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය “36 වැනි ඉල් මහ විරු සමරුව අමතමින් අනුර කුමාර දිසානායක සහෝදරයා සිදුකළ කතාව” මැයෙන් නිකුත් කළ නිල නිවේදනයට ඇතුළත් කර නොතිබුණු බව ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන අතර එය හිතාමතාම කළ දෙයක් යැයි ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මතු පළ වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය යි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය

“අපේ ඔළුවට ඔටුන්නක් වැටුනේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල් මහ විරු සමරුවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය. මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කරනු ලැබුවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කරනු ලැබූ “ඔටුනු පැළැඳි” පාලනය යළි ස්ථාපිත කිරීම පිළිබඳවද?

ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශය “36 වැනි ඉල් මහ විරු සමරුව අමතමින් අනුර කුමාර දිසානායක සහෝදරයා සිදුකළ කතාව” මැයෙන් නිකුත් කළ නිල නිවේදනයට ඇතුළත් කර නොතිබිණ. එය හිතාමතාම කරන ලද්දකි.

අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දී ඇත්තේ මෙරට ජනතාවත්, ජනතාවගේ පරමාධිපත්‍යයත් ආරක්ෂා කරන බවටය. මෙරට දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුවේ පළමු ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ වගන්ති අනුවය. ඊට ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ජනමත විචාරනයක්ද ඇතුළත් කරනු ලැබිණ.

ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ ඩොමේනියන් රාජ්‍යයක් ලෙසය. එනම් එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජතුමා ලංකාවේ 6 වැනි ජෝර්ජ් රජු හැටියට පාර්ලිමේන්තු නීතියක් මගින් පත්කර ගනු ලැබීය. එතුමාගේ අභාවයෙන් පසුව 1953 රාජකීය තනතුරු පනත (රෝයල් ටයිට්ල්ස් ඇක්ට්) හී දෙවැනි වගන්තිය යටතේ දෙවැනි එලිසබෙත් රැජිණිය එකී තනතුරට පත් කර ගත්තාය.

එදා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් 1972 දී ජනරජය පිහිටුවා ගත්තේය. ජනරජ ව්‍යවස්ථාවේ පෙරවදනෙහි එය ජනතා පරමාධිපත්‍යයෙන් ඇතිවූවක් ලෙස පැහැදිලිවම සඳහන් කරයි.

එහි 12 වැනි වගන්තිය මගින් එලිසබෙත් රැජිණගේ “රැජිණ” තනතුර ඉවත් කරන ලදි. ඉන් පසුව ජනරජය ඇති කෙරිණි.

ඉල් මහ විරු සැමරුම් කතාව මගින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මෙරට බහු පක්ෂ ක්‍රමය අහෝසි කර තනි පක්ෂ පාලනයකට ගොස් ජනරජ ව්‍යවස්ථාව ඉවත් කිරීමටද? නැවත “ඔටුන්න” ගෙනවිත් එය පළඳවා ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේද? මෙසේ ක්‍රියාකරන්නේ වැඩි ඡන්ද ප්‍රමාණය හිමිවුවත් බහුතර ඡන්දයවත් නොලැබුණු පාලකයෙකු බව අමතක කළ නොහැකිය.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වළ දමා තනි පක්ෂ පාලනයක් කරා ගමන් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පැරදවීමට සියලු බලවේග ඒකරාශී විය යුතුය.

2025 නොවැම්බර් 14

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න