Language Switcher

V2025

නකල්ස් ගැන චෝදනා ඇමති කිරිඇල්ල ප්‍රතික්ෂේප කරයි

නකල්ස් රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම් කිසිදු පුද්ගලික සමාගමකට හෝ පුද්ගලික ආයෝජකයින්ට ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට රජය කිසිදු ආකාරයකින් කටයුතු කර නැතැයි ව්‍යාවසාය  සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.

ඊයේ  (ජුනි 07)  කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කල අතර නකල්ස් පදනම් කරගෙන එල්ලවී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත්  රජය නකල්ස් රක්ෂිත වනාන්තරය ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගනු ලබන බවද ප්‍රකාශ කර සිටියේය.
 එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද  කියා සිටියේය. 

"1992 වර්ෂයේ දී එවකට පැවති රජය විසින් වැවිලි  කළමානාකරණ පුද්ගලික අංශයට පැවරීමේ කළමනාකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ වතු වගාවට යටත් අක්කර පන්ලක්ෂ හතලිස්දාහක් (5,40,000) පුද්ගලික වතු සමාගම් 19 ක් යටතට පත් කරනු ලැබුවා. එම වැඩපිළිවෙළ යටතේ ජනවසම, රාජ්‍ය වැවිලි සමාගම, ඇල්කඩුව වැවිලි සමාගම යන වතු සමාගම්වලට අයත් සංවර්ධනය නොවූ ඉඩම් වල කළමනාකරණය භාර ගැනීමට එදා කිසිදු සමාගමක් ඉදිරිපත් වුණේ නැහැ. මෙම වතු සමාගම්වලට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් තේ වගාව සඳහා සංවර්ධනය කිරීමට පසුගිය දශක දෙකක පමණ කාලයක් තුළදී රජයට විධිමත් වැඩපිළිවෙළක් නොතිබීම නිසා මෙම වතුවල  නඩත්තු කටයුතු කිරීමට මහා භාණ්ඩාගායට වසරකට මිලියන 1000 කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම රජයට විශාල වැය බරක් බවට පත්වී තිබෙනවා. 

මෙම වැය බර කළමනාකරණය කර ගැනීම සඳහා මෙම මුඩු බිම් පෞද්ගලික ආයෝජන අවස්ථාවන්ට ලබා දෙමින් ආර්ථික වශයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් රජය ප්‍රතිපත්තිමය වශයෙන් ඇති කොට තිබෙනවා.  ඒ යටතේ මෙම ඉඩම්වල ආයෝජනය කිරීමට පුද්ගලික ආයෝජකයන්ට ඉඩකඩ විවර කර තිබෙනවා. එසේ නොමැතිව මෙය නකල්ස් රක්ෂිතය හෝ ඊට අදාල ඉඩම් සංවර්ධනය කිරීමක් නොවෙයි.

 පසුගිය දශකය පුරා මෙම වැවිලි සම්ගම්වලට අයත් ආදායමක් නොමැති තේ ඉඩම් නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැය කරමින් හා දැනට අවිධිමත් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම වතු සමාගම්වල වතු කම්කරුවන් සඳහා පඩි නඩි ගෙවමින් විශාල වැය බරක් දරනවා. ඒ වගේම මෙම වතු සමාගම්වල සේවය කරන අහිංසක කම්කරුවන්ට දින 06 ක් තම සේවා කටයුතුවල නිරතවීමට තරම් පසුබිමක්ද උදා නොවීම මෙම වැවිලි සමාගම් මේ වන විට මුහුණ දී තිබෙන ගැටළුවක්.  එමෙන්ම පසුගිය දශකය තුළ පමණක් මෙම වතු කම්කරුවන් සඳහා වතු සමාගම් විසින් ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල හා සේවක අර්ථසාධක අරමුදලට කළ යුතු ගෙවීම් ද දීර්ඝකාලීනව නොගෙවීම නිසා2015 වසර වන විට රුපියල් මිලියන 1800 කට වැඩි වැය බරක්ද දරා තිබෙනවා.  2015 වසරේ මා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අතරේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එම ගැටළුව විසඳීමට පියවර ගනිමින් එම මුදල් රුපියල් මිලියන 300 දක්වා මේ වන විට ගෙවා තිබෙනවා.

මෙවැනි පසුබිමක් රාජ්‍ය වැයබරක් සහිතව මෙම වතු සමාගම් තවදුරටත් නඩත්තු කිරීම මහා භාණ්ඩාගාරයට හෝ රජයට දිගුකාලීනව කළ නොහැකි කටයුත්තක් බැවින් මෙම සමාගම් යටතේ මෙම ඉඩම් වෙනස් සංවර්ධන ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට ලබාදීමට රජය ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ වී තිබෙනවා. ඒ යටතේ මේ ආයෝජන ව්‍යාපෘති 257 ක යෝජනාවන් ඉදිරිපත් වී තිබෙන්නේ. ‍

ඇල්කඩුව වැවිලි සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව වැනි සමාගම්වලට අයත් සංවර්ධනය නොවූ ඉඩම් සංවර්ධනය කර රටේ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා පුද්ගලික ආයෝජකයින්ගේ යෝජනා 257 ක් ඉදිරිපත් කර ඇති බැවින් රජය එම ආයෝජන අවස්ථා ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන තිබේනවා. එම යෝජනා අතර නකල්ස් රක්ෂිතයට හෝ ඊට ආසන්න පාරිසරික වශයෙන් වැදගත් කිසිදු බිම් අඟලක් ඇතුලත් වී නැහැ. 

එම ව්‍යාපෘති තෝරාගැනීමද විධිමත් මණ්ඩලයක් යටතේ ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කර තිබෙනවා. එම කමිටුවට ව්‍යාපෘති යෝජනා 695 ක් ලැබී ඇති බවත් එයින් යෝජනා 150 ක් ව්‍යාපෘති සුදුසු තත්වයේ නොමැති බැවින් අමාත්‍යංශය විසින් ඒවා ප්‍රතික්ෂේපකර තිබෙනවා.  එයින් තෝරාගත් ව්‍යාපෘති 257 ක් අතරින් කෘෂි කාර්මික සංවර්ධන ව්‍යාපෘති,  කිරි ගොවීන් බෝ කිරීමේ ව්‍යාපෘති, ගව පාලන ව්‍යාපෘති, ආදී ආයෝජන අවස්ථා රාශියක් ඉදිරිපත් වී ඇති නමුත් එම ව්‍යාපෘති සඳහා  නකල්ස් රක්ෂිතයට අයත් බිම් අඟලක් හෝ ලබා දෙන්නේ නැහැ. එම ඉඩම් ලබාදීමට අපේක්ෂා කරන්නේ අදාල වැවිලි සමාගම්වලට අයත් මෙතෙක් සංවර්ධනය කර නොමැති වතු  ඉඩම් පමණයි.

එබැවින් මේ වන විටත් පාරිසරික සංවිධාන හා ඇතැම් ජනමාධ්‍ය විසින් නකල්ස් රක්ෂිතයේ ඉඩම් පෞද්ගලික ආයෝජකයන්ට බෙදා දීමට රජය කටයුතු කර ඇති බවට කර තිබෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ සඳහා අදාල චොදනාකරන සංවිධානවලට විවෘතව මෙම ඉඩම් සතු ප්‍ර දේශවල සංචාරය කරමින් පවතින සත්‍ය තොරතුරු පමණක් වාර්තා කරන ලෙසත් එසේ නොමැතිව නකල්ස් වැනි රක්ෂිතයන් ඉලක්ක කරගෙන මෙවැනි අසත්‍ය ප්‍රචාර නොකරන ලෙසටත් එම සංවිධානවලින් විශේෂ ඉල්ලීමක් කරනවා.