සත්‍ය කවදා හරි ජය ගන්නවා - සජිත් ප්‍රේමදාස කියයි

සත්‍ය කවදා හරි ජය ගන්නවා - සජිත් ප්‍රේමදාස කියයි

මීට වසරකට දෙකකට පෙර තමා පැවසූ දෑ එදා විහිළුවට ලක් කළ ද එදා තමා ගේ සංකල්ප විවේචනය කළ රජය අද ඒවා ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේම එළි දැක්වීම පිළිබඳ සතුටු වන බවත්, සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලබන හුස්ම වැඩසටහන යටතේ අරණායක ප්‍රාදේශීය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී Patient Monitor 5ක්, Infusion Pump 1ක් සහ Syringe Pump 1ක් ලබා දුන්නේ ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය යි

''පසුගිය කාලයේ ධානපතියන් සම්බන්ධ කර ගෙන පාසල් රෝහල් දියුණු කරන්න පුළුවන් බවට යෝජනා ඉදිරිපත් කරන විට ඒවා මැතිවරණ සමයේ විහිළුවට ගත්ත වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැන් එම වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සහන පැකේජ නිර්මාණය කරනවා. ඒවා සිදුවිය යුතු දේවල්. මීට වසරකට දෙකකට පෙර මම කියපු දේවල් එදා විහිළුවට ලක් කළත් එදා මගේ සංකල්ප විවේචනය කළ රජය අද ඒවා ජාතික ප්‍රතිපත්තියක් විදියට පාර්ලිමේන්තුවේම එළි දැක්වීම ගැන සතුටු වෙනවා; ඒ වගේ ම සත්‍ය ජය ගන්නා බවත් කියන්න ඔ්න.

අවතැන් වූ, විපතට පත්, නිවාස අහිමි සියලු දෙනාට ආරක්ෂිත ඉඩම් තුළ නිවෙස් සදා ගැනීමේ අවස්ථාව උදා කළ යුතු යි. අනාරක්ෂිත තැනක පදිංචි වූ අයගේ අනාරක්ෂිත භාවය නිසා ඉවත් කර ඇති අතර මේ අයට ආරක්ෂිත භූමියක් තුළ හොඳ නිවසක් ඉදි කර ගැනීමට සහ තමන් සිටින නිවස කේන්ද්‍ර කර ගෙන ජීවනෝපාය ඇති කර ගැනීමේ අවස්ථාව ද නිර්මාණය කළ යුතු යි. මේ සෑම දේම ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතු යි. මෙහි දී අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ජන ජීවිත සෑම දෙයක් ම සංවර්ධනය වන ඒකාබද්ධ වැඩපිළිවෙළක් කරා යා යුතු යි.

දැන්වත් විහිළු නවත්වා වැඩ කරන්න

දිට්වා සුළි කුණාටුව කවුරුත් විහිළුවකට නොගත යුතු යි. මේ විහිළු නිසා සුනාමියෙන්වත් පාඩම් ඉගෙන ගන්න නොහැකි වුණා. අදටත් ඩොෆ්ලර් රේඩාර් පද්ධති ස්ථාපිත කරන්න නොහැකි වෙලා තිබෙනවා. මේ විහිළු නිසා සිදු වන්නේ දිට්වා සුළු කුණාටුව වගේ ස්වාභාවික ව්‍යවසනවලට දිගින් දිගටම මුහුණ දීමට සිදුවීම යි. මේවා විහිළුවලට ගැනීම රටෙත් ජනතාවගේත් පරිහානියට පාර කැපීමක්. මේ ජීවිත අහිමි වීම ගැන කිසිදා සතුටු වෙන්නෙ නෑ. දැඩි ලෙස කම්පා වීම දුකට පත්වන නිසා සහන වැඩපිළිවෙළක් ලෙස සමගි ජන බලවේගය රෝහල් පද්ධතියට ආධාර උපකාර කරනවා.

ජනතාව කුපිත නොකර සිටින්න

අද වන විට අප රටේ පශ්චාත් සුළි කුණාටු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ඇති වූ ව්‍යාකූලත්වය ගැන නම් කණගාටුවක් ඇති වෙනවා. රජය විපතට පත් බල ප්‍රදේශ අවදානම් ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියද්දි ජනතාව කඳවුරුවලට ගෙනවිත් නැවතත් ඒ අවදානම් බල ප්‍රදේශවලට යොමු කරනවා. මේවා විහිළු සහගත කරුණු. අධි අවදානම් බල ප්‍රදේශවලට ජනතාව යවා යම් හෙයකින් නැවත වරක් කරදරයක් සිදු වුවහොත් රජය මෙහි වගකීම බාර ගත යුතු යි. මේ ජීවිත අහිමි වීමට තවදුරටත් ඉඩ දිය නොහැකි යි. ජනතාවට සහන දෙන්න රු. බි. 500ක පරිපූරක ඇස්තමේන්තුවට සහය දුන් නිසා කඩිනමින් මේ සහන ලබා දීමත් ඒ සහන ලබා දීම නිවැරදි ආකාරයට මෙන්ම විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කළ යුතු යි. පරස්පර ප්‍රකාශ සිදු නොකර රාජ්‍ය නිලධාරීන් අමාරුවේ නොදමා සහන ලබා දීම් සිදු කරනන්න. ජනතාව කුපිත නොකර සෘජු මතයක් දරන ලෙසට රජයට කියනවා.

ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න

තමා සැම විටම යෝජනා කරන්නේ මේ විපත රටට සෞභාග්‍යයක් උදා කර ගැනීමට යොදා ගත යුතු බවයි. ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවා ලෝකයා ගේ දයාව කරුණුව රටට ලබා ගෙන, තිබුණටත් වඩා ඉහළ සංවර්ධනයක් නිර්මාණය කළ හැකි යි. මම යෝජනා කළ නිසා එය ක්‍රියාත්මක නොකර සිටීමට රජය උත්සාහ දරනවාද කියා දන්නෙ නැහැ. යම් හෙයකින් එය පවත්වන්නේ නම් පක්ෂ භේදයෙන් තොරව සහයෝගය ලබා දෙනවා.''

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න