Language Switcher

V2025

බේරේ වැව : ආර්ථිකයේ ප‍්‍රධාන මර්මස්ථානය ගොඩනගන තැන

නව බෝට්ටු සේවයක් ආරම්භ කිරීම ඇතුළුව  කොළඹ අගනගර ආශ‍්‍රිත මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ  බේරේ වැව ආර්ථිකයේ ප‍්‍රධාන මර්මස්ථානය ගොඩනගන තැන බවට පත් කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. 

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ  කොළඹ අගනගර ආශ‍්‍රිත මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ආධාර මත නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ඉදිකරන ලද බේරේ වැව රේඛිය උද්‍යානය (නැගෙනහිර බේරේ, නැගෙනහිර ඉවුර) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. 

බේරේ වැව රේඛිය උද්‍යානය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් අද (12) දින කොළඹ බේරේ වැව අසලදී ජනතා අයිතියට පැවරුණි.

කිලෝමීටර් 03 ක් වූ බේරේ වැව රේඛිය උද්‍යානය හා වැව ඉවුර(නැගෙනහිර බේරේ) සංවර්ධනය සඳහා කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් මිලියන 640 ක් ව්‍යාපෘතිය සඳහා වැය වී ඇත. 

ඔක්කොම කුණු බේරේට කියපු යුගය අවසන් !

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, කියමනක් තිබුණා ඔක්කොම කුණු බේරේට කියලා. කොළඹ නගරයේ තිබූ අපජලය, මලාපවහන පද්ධති සියල්ලම ආවේ බේරේට. ඒ වගේම මේ බේරේ වැව වටේට ජීවත් වූ අන්ත දුප්පත් දුගී ජනතාව අති විශාල පිරිසක් හිටියා. අද අපි ඒ බේරේ වටේ හිටපු ජනතාව කිසිම විරෝධයකින්, පැහැර ගැනීම්වලින්, බලහත්කාරයෙන් තොරව ඒ පවුල් 350 ම දෙමටගොඩ ප‍්‍රදේශයේ ඉදිවන නව නගරයේ අපි පදිංචි කර තිබෙනවා. ඊ ළඟට අපේ දෙවන පියවර හැටියට කි.මි. 2.5 දිග ඇවිදින මංතීරුව ඞී.ආර්.

විජේවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට සිට වොක්ෂෝල් වීදියට අප අරං ඇවිත් තිබෙනවා. වොක්ෂොල් විදීයේ සිට නැවත වතාවක් අපි බලාපොරොත්තු වෙනවා මහජන බැංකු මූලස්ථානය දෙසට මේ විදිහට ගොඩනගන්න. ඒ වගේම ගංගාරාමය පැත්තෙනුත් හිල්ටන් හෝටලය දෙසට මෙවැනි මංතීරුවක් දැන් ඉදිකරගෙන එනවා.  ඒ අනුව බේරේ වැව වටේ තිබෙන වරාය අධිකාරියට, සතොස ආයතනයට, ප‍්‍රවාහන අමාත්‍යාංශයට ආදී විවිධ ආයතනවලට අයිති ඉඩම් අක්කර 200 කට අධික ප‍්‍රමාණය ප‍්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථානය ලෙස දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

කොටුව දුම්රිය ස්ථානය :  කොටුවේ ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය කරනවා 

ඒ වගේම ඞී.ආර්. විජේවර්ධන මාවතට එපිටින් තිබෙනව දුම්රිය ස්ථානය අපි කොටුවේ ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය හැටියට ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. එහි පළමු පියවර ලෙස වරාය දෙසින් චාමර්ස් ගැන්රි ඉඩමේ ආරම්භ කර තිබෙනවා. මැනිං මාර්කට් එක පෑලියගොඩ ඉදිවෙමින් පවතිනවා. ඒ  සියළු කටයුතු නිම වීමෙන් අනතුරුව පැල්පත්වාසීන් විසූ දුගඳ හමන, කොළඹ නගරයේ කුණු කන්දල් ඇදගෙන යන ප‍්‍රදේශය වෙනුවට රටේ ප‍්‍රධාන ආර්ථිකය ගොඩනගන ප‍්‍රධාන මර්මස්ථානය බවට පත් වෙනවා.

බේරේ වැවේ කොටසත් අනෙක් කොටසත් වරාය නගරයට විවෘත කරනවා. ඒ වගේම අපි බැස්ටියන් මාවත ආදී ප‍්‍රදේශවල ජල ගැලීම් පාලනය කිරීම සඳහා අවශ්‍ය ජල ගේට්ටු ආදිය ඉදිකිරීමටත් කටයුතු කරනවා. මේ සියල්ලටම අපිට මූල්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ ලෝක බැංකුව මගින්. අනෙකුත් අවශ්‍යතාවයන් අපේ ආණ්ඩුව මගින් සිදු කරනවා. මේක මේ රටේ ඓතිහාසික අවස්ථාවක්. කොළඹ නගරයේ ආර්ථික මර්මස්ථානයක්.

බේරේ  වැව් පතුලේ  තැන්පත්  අපිරිසිදු පස්තට්ටුව ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් !

මේ වැව් පතුලේ තැන්පත්ව තිබෙන ඉතාමත් අපිරිසිදු පස්තට්ටුව ඉවත් කිරීම සඳහා වූ ව්‍යාපෘතියත් අපි මේ වසරේදී කි‍්‍රයාත්මක කරනවා. ඒ වගේම කොළඹ නගරයේ මලාපවහන, ජලාපවහන පද්ධතිත් එකට මිශ‍්‍ර වී තිබෙන්නේ. එය වෙනස් කිරීමේ කටයුත්තත් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. පිටින් විතරක් නෙමෙයි කොළඹ නගරය ඇතුළතිනුත් ලස්සන කරලා මේ ජල තීරය රටේ ආර්ථිකයේ ප‍්‍රධාන මර්මස්ථානය ගොඩනගන ජලතීරය බවට ඉදිරි වසර 10 දී පත්වෙයි.  පළමු පියවර හැටියට ඉදිරි කාලයේදී නාවික හමුදාවේ සහයෝගය ඇතිව දුම්රිය ස්ථානයේ සිට මහරෝහලට සෙනඟ ගෙනයන බෝට්ටු සේවයක් ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා යයි පැවසීය.

මෙහිදී  අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, 

අපි ඉතාමත්ම සතුටු වෙනවා චම්පික රණවක අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය හා වරාය අමාත්‍යාංශය ඒකාබද්ධ වූ ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගර සංවර්ධනය සිදු කිරීම ගැන. මේ සියළු ආයතන එක්ව සිදු කර තිබෙන මෙම ව්‍යාපෘතිය කොළඹ නගරයේ මෙන්ම කොළඹ නගරයට පිටින් එන ජනතාවගේ විනෝදාස්වාදය සඳහා මෙන්ම ව්‍යායාම සිදු කිරීමට මෙවැනි පරිසයක් නිර්මාණය කිරීම ඇගයීය යුතුයි. මෙම ව්‍යාපෘතියේ තිබෙන ඉතාමත්ම වැදගත්කම තමයි මෙහි තිබූ පැල්පත්වල විසූ ඉතාම දුගී දුප්පත් දහස් ගණනක් ජනතාවට නව නිවාස ලබාදී එම ප‍්‍රදේශ දර්ශනීය අලංකාර පරිසරයක් බවට පත් කර තිබීම.

මෙම ව්‍යාපෘතිය කොළඹ නගරය අලංකාරය වගේම සංචාරයට, දර්ශනයට වගේම අධ්‍යාපනික වශයෙන් පාරිසරික වශයෙන් වැදගත් ව්‍යාපෘතියක්. පසුගිය කාලයේ නම් විවෘත කිරීමේ උත්සවයටත් මිලියන 200 ක් 250 ක් වත් වියදම් කරනවා  නමුත් මේ උත්සවවලට සත පහක්වත් වියදම් කර නැහැ. ඉස්සර නම් මේවාට වියදම් කරපු හැටි සෑම කෙනෙක්ම දන්නවා. 

මේ ව්‍යාපෘතියේ තිබෙන වැදගත්කම වගේම රජය මුදල් අරපරෙස්සමින් කළමනාකරණය කිරීමේදී අනවශ්‍ය මුදල් වැය කිරීමෙන් තොරව අත්‍යාවශ්‍ය දේට පමණක් මුදල් වියදම් කිරීමෙන් තමයි කටයුතු සිදු කරන්නේ. මේ ප‍්‍රදේශවල තිබූ ඉතාමත් අපිරිසිදු තත්වය මෙන්ම පාරිසරික වශයෙන් තිබූ ඉතාමත්ම අහිතකර තත්වය අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ වගේම මේ ව්‍යාපෘතියේ පළවෙනි අදියර වගේම චම්පික ඇමතිතුමාගේ අමාත්‍යාංශය මගින් බේරේ වැවේ ජලය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී කටයුතු කරන බවත් සඳහන් උනා. මෙම කර්තව්‍යයන් සාර්ථක කර ගැනීමට කටයුතු කළ සියළුම නිලධාරීන්ට රාජ්‍ය ආයතනවලට මෙන්ම ලෝක බැංකුවට විශේෂයෙන්ම මා මෙහිදී ස්තූතිවන්ත වෙනවා"

35123875 10156196032616327 6805740422019678208 n