කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කරලා - උදය ගම්මන්පිල

කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කරලා - උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ගේ වැඩ තහනම තුළින් කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කර ඇතැයි පිිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය අද (26) කැදවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

මූලික පරීක්ෂණයක් පවත්වා නැහැ

''දිනපතා නාඩගම් රඟපාමින් රටට විහිළු සපයන මාලිමා ආණ්ඩුවේ අලුත්ම ප්‍රහසනය තමයි කතානායක කෝලම. කතානායකවරයා ඉතිහාසය අලුතින් ලියමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා ගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා. ඒ වැඩ තහනම තුළින් කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කරලා තිබෙනවා. මේ තීන්දුවේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා. මුලින්ම, නියෝජ්‍ය මහ ලේකම්වරයා ගේ විනය බලධරයා වෙන්නේ මහ ලේකම්වරයා මිස කතානායකවරයා නොවේ. ඒ නිසා කතානායකවරයාට කිසිම බලයක් නෑ නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩ තහනමකට ලක් කරන්න. දෙවනුව, වැඩ තහනම් කිරීමට පෙර නිලධාරියාට එරෙහිව තිබෙන චෝදනා පිළිබඳ මූලික පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නමුත් වැඩ තහනමට ලක් කළ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාට එහෙම මූලික පරීක්ෂණයක් කරලා නෑ.

අතිරේක ලේකම්වරයෙකුට මූලික පරීක්ෂණය කරන්න බෑ

තුන්වෙනුව, කතානායකතුමා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආපු තොරතුරු විමසුමක් ගැන විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙක් ලවා පරීක්ෂණයක් කරලා තිබෙනවා. ඒ වාර්තාව පදනම් කරගෙන තමයි වැඩ තහනමට ලක් කරන්නේ. නමුත් මූලික පරීක්ෂණයක් කරන්න පත් කරන්න ඕනි පරීක්ෂණයට ලක් වෙන නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ඒ තනතුර වගේම කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරත් දරනවා. ඒක අමාත්‍යාංශ ලේකම්ට සමාන තනතුරක්. ඒ නිසා අතිරේක ලේකම්වරයෙකුට මූලික පරීක්ෂණය කරන්න බෑ.

කතානායකවරයා ගේ කැකිල්ලේ තීන්දු

හතර වෙනි කාරණය තමයි ලෝකය ම හිනස්සන කාරණය. වැඩ තහනම් කිරීමට ඇත්ත හේතුව. ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරපු නිසා, කතානායක ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින කතානායකතුමන් ගේ සමීපතම කෙනකු සමග ගැටුමක් හදා ගත් නිසා යනාදි වශයෙන් විවිධ හේතු විවිධ දේශපාලකයින් කියනවා. ඒවා ඔක්කෝම බොරු. නියෝජ්‍ය මහ ලේකම්වරයා ගේ වැඩ තහනම් කරලා තිබෙන්නේ සේවයේ ස්ථිර කරන්න වසර තුනක් තනතුරේ සිටිය යුතු නමුත් වසරක් සම්පූර්ණ වුණු ගමන් ස්ථිර කරලා කියලා. ලෝකයේ කිසිම රටක තමන් ගේ තනතුර ස්ථිර කර ගන්න තමන්ට බෑ. ඒක කරන්න ඕනි තමන්ට වඩා ඉහළ නිලධාරියෙක්. නීත්‍යානුකූලවම කියනවා නම් පත්වීම් බලධාරියා. නියෝජ්‍ය මහ ලේකම් ගේ පත්වීම් බලධාරියා වෙන්නේ ඇමති මණ්ඩලය. එතකොට වසරක් පිරුණු ගමන් ස්ථිර කරපු එක වරදක් නම් වරදකරු වෙන්න ඕනි ස්ථිර කරපු එක්කෙනා මිස ස්ථිර කිරීමට ලක් වුණු එක්කෙනා නෙවෙයි නෙ. කැකිල්ලේ රජ්ජුරුවන් වත් මෙහෙම තීන්දු දීලා නෑ. අපේ ජනාධිපතිතුමන් චේතිය රජතුමන් පරදා ඉදිරියට යන අතරේ අපේ කතානායකතුමන් කැකිල්ලේ රජතුමාටත් සටනක් දෙන බවයි පේන්නේ.

පාපිසි කියන කේලම් වලට රැවටිලා

පස්වන කාරණය තමයි මේ තීරණය වැරදි නම් ඒකට ලබා දිය හැකි දඬුවම වසර තුනකින් ස්ථිර කරන්න ඕනි පුද්ගලයෙකුව වසරකින් ස්ථිර කිරීම වරදක් නම් ඒකට වැඩ තහනම් කරන්න බෑ. වසරකින් තනතුරේ ස්ථිර කිරීමේ ලිපිය අහෝසි කරලා වසර තුන සම්පූර්ණ වුණාට පස්සේ ස්ථිර කිරීමේ ලිපියක් දීම විතරමයි මේ සම්බන්ධයෙන් කළ හැකි එකම දේ වෙන්නේ.

කතානායකතුමා ගේ තීන්දුවේ තිබෙන කඩතොළු පහ දැක්කාම සිහිපත් වුණේ පැරණි කියමනක්.

එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වුණු කාරියා

පහක් කඩතොළු හදා දුන්නයි මැති සබේ මුල් ආචාරියා

නියෝජ්‍ය මහ ලේකම්වරයා දේශපාලන පත්වීමක් කියලා කතානායකවරයාට කවුදෝ කේලමක් කියලාලු. ඒක නිසාලු වැඩ තහනම් කරන්න කතානායකතුමන් පෙලඹුණේ. ඒක නිසා නියෝජ්‍ය මහ ලේකම් පත් වුණු විධිය කතානායකතුමාට කියන්න ඕනි. නියෝජ්‍ය මහ ලේකම්වරයා පත් කළ පාර්ලිමේන්තුවේ මමත් හිටියා. පාර්ලිමේන්තුවේ සියලු ම පක්ෂ නායකයින් නියෝජනය කරන පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් පත් කරපු කමිටුවක් තමයි සම්මුඛ පරීක්ෂණ තියලා චමින්ද කුලරත්න මහතාව ඒ තනතුරට තෝරා ගත්තේ. කතානායක, අගමැති, සභානායක, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ පාර්ලිමේන්තු මහ ලේකම් කියන පක්ෂ විපක්ෂ දෙපාර්ශවය ම ඉන්නා කමිටුවකින් තමයි සම්මුඛ පරීක්ෂණය පැවැත්තුවේ. ඒ නිසා පාපිසි කියන කේලම්වලට රැවටිලා කතානායක තනතුර බාල්දු කරන්න එපා කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. කතානායකවරයා ගේ මේ විහිළු සහගත නීති විරෝධි තීන්දුව අභියාචනාධිකරණයේ අභියෝගයට ලක් කළොත් ක්ෂණිකව මේ වැරැද්ද නිවැරදි කරන්න අධිකරණය කටයුතු කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා තව දුරටත් රට ඉදිරියේ විහිළුවක් නොවී වහාම වැඩ තහනම් කිරීමේ ලිපිය ඉවත් කර ගන්න කියා අපි කතානායකතුමාට යෝජනා කරනවා.

මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කිරීම ආණ්ඩුවේ නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමක්

ආණ්ඩුව ලොකු හපන්කමක් විධියට මන්ත්‍රි විශ්‍රාම වැටුප් අහෝසි කරන්න පනතක් ගෙනැවිත් තිබෙනවා. ලංකාවේ මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න තීරණය කළේ ඇයි? අනිත් රටවල් මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවනවා ද? වැනි කිසිම කාරණයක් සොයා බලන්නේ නැතිව මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීම රටේ දැවැන්ත දූෂණයකට පාර කැපීමක්.

1947 සිට 1970 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරයෙක් 1970 පාර්ලිමේන්තු මැතිවරණය පැරදුණා. ඊට පස්සේ පරණ පාර්ලිමේන්තුවේ පඩි පෙළේ ඉඳලා පාර්ලිමේන්තු එන මන්ත්‍රිවරුන් ගෙන් රුපියල් පහක් ණයට ඉල්ලනවා. මේ දර්ශනය දකින මන්ත්‍රිවරුන් තමන් ගේ අනාගතය පිළිබඳ ඇතිවන අනාරක්ෂිත භාවය නිසා දූෂණයට පෙළඹේවි කියන බයට තමයි සිරිමාවෝ අගමැතිතුමිය 1977 දී මන්ත්‍රි විශ්‍රාම වැටුප හඳුන්වා දුන්නේ. ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ පියා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා තමන්ට ජීවත් වෙන්න විධියක් නැති නිසා මාසික දීමනාවක් ලබා දෙන්න කියලා ඩඩ්ලි සේනානායක අගමැතිතුමාට ලිපියක් යැව්වා කියලා ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා.

තවත් විමලා කන්නන්ගරලා නන්දන ගුණතිලකලා එපා

ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරියක වුණු විමලා කන්නන්ගර මැතිනියට අවසන් කාලයේ ගෙවල් කුලී ගෙවා ගන්න බැරි වුණා. එතුමිය තමන් ගේ ඉඩමක් උදාගමක් හදන්න ආණ්ඩුවට පරිත්‍යාග කරලා තිබුණා. ඒ උදාගමේ ප්‍රජා ශාලාවේ තමයි ඇය ජීවත් වුණේ. එතුමියට ජීවත් වෙන්න පුළුවන් වුණේ මන්ත්‍රි විශ්‍රාම වැටුප තිබුණු නිසා. මේ සම්බන්ධයෙන් මෑතකාලීන උදාහරණය තමයි නන්දන ගුණතිලක මැතිතුමා. එතුමා ජීවත් වුණේ විශ්‍රාම වැටුපෙන්. ඒ නිසා තමයි විශ්‍රාම වැටුප අහෝසි කළොත් මරාගෙන මැරෙනවා කිව්වේ. දූෂිතයන් අතළොස්සක් අතර තවත් විමලා කන්නන්ගරලා නන්දන ගුණතිලකලා සිය ගණනක් මේ රටේ ජීවත් වෙනවා. ඒ අයටයි මේ ආණ්ඩුව අත තියන්නේ.

ඉන්දියාව මන්ත්‍රි විශ්‍රාම වැටුප හඳුන්වා දුන්නේ 1954 වසරෙ

මාලිමා ආණ්ඩුව අද විශ්‍රාමික මන්ත්‍රිවරුන්ට කියන්නේ අපි විශ්‍රාම වැටුප අහෝසි කරනවා. උඹලා බලය තිබෙන කොට පගාව ගහලා කොමිස් ගහලා ඒවා ක්‍රිප්ටෝ කරන්සිවල ස්ථාවර තැන්පතුවල කොළඹ නගරයේ ගොඩනැගිලිවල තේ වතු පොල්වතු වල ආයෝජනය නොකිරීම උඹලාගේ මෝඩකමක් කියලානෙ. මාලිමා ආණ්ඩුව ජනතාවට පෙන්වන්නේ මන්ත්‍රි විශ්‍රාම වැටුප කියන්නේ ලෝකයේ වෙන රටවල නැති ලංකාවේ විතරක් තිබෙන අමුතු වරප්‍රසාදයක් විධියටයි. ලංකාව 1977 දී හඳුන්වා දුන්නත් ඉන්දියාව මන්ත්‍රි විශ්‍රාම වැටුප හඳුන්වා දුන්නේ 1954 තරම් ඈතක. එක්සත් රාජධානියේ මන්ත්‍රිවරුන්ට විතරක් නොවේ, ඇමතිවරුන්ට සහ අගමැතිටත් විශ්‍රාම වැටුපක් හිමි වෙනවා. ලෝකයේ සෑම රටකම පාහේ මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවනවා. රජයට සේවය කරන සෑම අයෙකුටම හිමි අයිතියක් ඒක. මන්ත්‍රීවරුන්ට ඉහල විශ්‍රාම වැටුපක් ගෙවිය යුතුයි නැතිනම් ඔවුන් දූෂණයට තල්ලු වෙනවා කියලා සුප්‍රකට කියමන කිව්වේ දූෂණ විරෝධී සටනක් දියත් කරපු සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා.

මන්ත්‍රී විශ්‍රාම වැටුපේ නොදන්න කතාව

වසර පහක් මන්ත්‍රි ධුරයේ හිටිය පමණින් මන්ත්‍රිවරුන්ට පූර්ණ විශ්‍රාම වැටුප හිමි වෙනවා කියන එක පට්ටපල් බොරුවක්. මන්ත්‍රිවරයෙක් වසර 5ත් 10ත් අතර කාලයක් ධුරය දැරුවොත් විශ්‍රාම වැටුප ලෙස හිමි වෙන්නේ වැටුපෙන් තුනෙන් එකයි. වසර 10ත් 20ත් අතර කාලයක් ධුරය දැරුවොත් වැටුපෙන් තුනෙන් දෙකක් විශ්‍රාම වැටුප ලෙස හිමි වෙනවා. රජයේ නිලධාරින්ට වගේම සම්පූර්ණ විශ්‍රාම වැටුප ලබන්න මන්ත්‍රිවරයා වසර 20ක් රාජ්‍ය සේවයේ ඉන්න ඕනි. මන්ත්‍රිවරයාට වසර පහෙන් විශ්‍රාම වැටුප ගෙවීම ආරම්භ වෙන්නේ වසර පහකට වරක් මැතිවරණයකට මුහුණ දීලා රැකියාව අහිමි වීමේ අවදානමක් තිබෙන නිසා. මන්ත්‍රිවරුන්ට විතරක් නොවේ, රජයේ සේවයට පිටින් බඳවා ගන්නා නිලධාරින්ටත් වසර පහක් සම්පූර්ණ කළා ම වැටුපෙන් 1/3ක විශ්‍රාම වැටුපක් ලැබෙනවා.

අපෙන් අවවාදයක්

මේ කිසිවක් ගැන අධ්‍යනය නොකර මන්ත්‍රි විශ්‍රාම වැටුප අහිමි කරන්න කටයුතු කළා ම සිද්ධ වෙන්නේ දේශපාලනයේ අතළොස්සක් වෙනුවට සෑම කෙනාම දූෂණයට පෙලඹෙන එකයි. ඒ නිසා මෝඩ චූන් කරලා ජනතා ප්‍රසාදය දිනා ගන්න හදනවා වෙනුවට වැඩ කරලා ජනතා ප්‍රසාදය දිනා ගන්න කියලා වැඩ බැරි අනුරයි ගෝලයෝ රොත්තටයි අපි අවවාදයක් කරනවා.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න