බාල ගල් අඟුර් පිළිබඳව තමා ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ප්‍රශ්න කරන විට ඒවාට උත්තර දීමට නොහැකි වූ බවත්, රටට ශක්තිය දෙනවා කියූ, ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියු රජය කටයුතු කර ඇත්තේ මේ ආකාරයෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
හු මෙලෙස ප්‍රකාශ කළේ අද (14) හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙරලිහෙල ග්‍රාමයේ ගොවි ගැටලු සාකච්ඡාව සමග එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
සමගි ජන බලවේගයේ එකම අරමුණ
''මේ වන විට ගල් අඟුරු නැව් පහක් පමණ ගොඩබා තිබෙනවා. මේ සියල්ල බාල ගල් අඟුරු. නොරොච්චෝලේ බලාගාරයෙන් මෙගාවොට් 300 බැගින් තුනක් එනම් මෙගාවොට් 900ක් නිපදවුවත් මේ බාල ගල් අඟුරු නිසා උපරිම ධාරිතාවට යාමට නොහැකි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන සජිවී දත්ත පවා ඇති නිසා මේ ගැන මම ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ප්‍රශ්න කරන විට ඒවාට උත්තර දීමට නොහැකි වුණා. රටට ශක්තිය දෙනවා කියූ ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියු රජය කටයුතු කර ඇත්තේ මේ ආකාරයෙන්. සමගි ජන බලවේගය බොරුව අසත්‍ය මූලික කර ගෙන දේශපාලනය සහ සංවර්ධනය සිදු කරන්නෙ නෑ. සමගි ජන බලවේගයේ එකම අරමුණ වන්නේ ජනතාවට හොඳ ජන ජීවිතයක් උදා කරවීම. අද ජනතාව ලබන ආදායමෙන් හොඳ ජීවිතයක් ගත කරන්න බැහැ. බඩු මිල අහස උසට නැගලා. ඒ නිසා මාසික ආදායම් අඩු වෙලා ජීවත් වීමට පවා නොහැකි වී තිබෙනවා. මේ යන විදිහට ගියොත් ජනතාවවත් රටවත් ඉතුරු වෙන එකක් නෑ. බොරුවෙන්, මුසාවෙන්, රැවටිල්ලෙන් නම් රාජ්‍ය පාලනයක් ගෙන යා නොහැකි යි.
අද ගොවියාට ස්ථාවර මිලක් ලැබෙන්නේ නෑ
ගොයම් කැපෙන කාලය ළං වන විට ගොවියා ගේ අපේක්ෂාව වන්නේ වී කිලෝවට පොරොන්දු වූ මිල ලැබෙනු ඇතැයි කියලා. අද පෙනෙන්නට ඇත්තේ වී කිලෝවට රු. 120ක් ලැබෙයි ද කියා විශාල බියක් ගොවියාට තිබෙන බවයි. මේ රජයට වි මිල දි ගැනීමේ සූදානමක් නැහැ. වී මිලදී ගන්න අවශ්‍ය ගබඩා ටිකවත් මේ රජය සූදානම් කර නැහැ. මේ තත්ත්වය තුළ නිෂ්පාදන පිරිවැයවත් ආවරණය කළ හැකි දෝ කියන බිය ගොවියා තුළ පැන නැගී තිබෙනවා.
දැන් ගොවියා අතුරු කන්න පවා අතහැරලා
වත්මන් රජයේ මැති ඇමතිවරු මැතිවරණ සමයේ ගොයම් කමින් වීවලට සහතික මිල ලබා දෙන බව පැවසුවා. තවත් අවස්ථාවක අනෙකුත් සියලු ම භෝගවලට ස්ථාවර ස්ථිර සහතික මිලක් ලබා දෙන බව පැවසුවා ඒවා කිසිවක් සිද්ධ වුණේ නැහැ. අතුරු කන්නවල මුං ආදිය වගා කළත්, ස්ථිවර මිලක් නොලැබුණු නිසා ගොවියා දැන් අතුරු කන්න පවා අතහැර තිබෙනවා.
ස්ථාවර මිල දෙනවා කියූ අය අද රජපුටුවල
එදා වීවලට සහතික මිල දෙනවා කියපු, අස්වැන්නට ස්ථාවර මිලක් දෙනවා කියපු වත්මන් රජයේ පුද්ගලයින් අද පාර්ලිමේන්තුවේ සැප පුටුවලට වෙලා ගොවියා අමතර කරලා. අලි මිනිස් ගැටුම නැති කරන්න හම්බන්තොටට විතර රු. මි. 500ක් වෙන් කළත් අදටත් එයට ස්ථිර විසඳුමක් නැහැ. මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ මිනිස් සම්පතත්, වගාවත් වන සම්පතත් රැක ගෙන, ගොවිතැන තිරසර කර, ගොවිතැන දියුණු කර, තිරසර සංචාරක කර්මාන්තයත් ශක්තිමත් කර, මිනිසා මෙන්ම වන සතුන්ගේ ද ජීවිත රැකෙන වැඩපිළිවෙළක් කරා යෑම යි. නමට විතරක් රු. මි. 500ක් වෙන් කරා කියල ගොවි ජනතාව රවටටලා.
අපේ රටට අවශ්‍ය වන්නේ සුහුරු ගොවි සංකල්ප
ගොවියා අපේක්ෂා කළ ආකාරයේ අස්වැන්නක් නොලැබීමට හේතුව රටට ගෙන්වන්නේ බාල පොහොර නිසා. මේ සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් නැහැ. බීජවල ගුණාත්මකභාවය, මිල, යෙදවුම් මිල, නිෂ්පාදන මිල ආදී සෑම තැනක දී ම ගොවියාට ලැබෙන්නේ කුඩම්මා ගේ සැලකිල්ල. ගොවියාට ලැබෙන්නෙ බාල භාණ්ඩ. මේ බාල යෙදවුම් නිසා ගොවියා ගේ අස්වැන්න පවා අඩුවන නිසා මේ අවස්ථාවේ අප රටට අවශ්‍ය වන්නේ සුහුරු ගොවි සංකල්ප. මම සිංගප්පූරුවේ සිදු කළ සංචාරය අතරතුර වාහන නිෂ්පාදන ආයතනයක් නිරීක්ෂණයට ගිය පසු එහි වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ රොබෝ තාක්ෂණය මත බවට දැන ගැනීමට හැකි වුණා. මේ කර්මාන්තශාලාව ඇතුළත සුහුරු ගොවිතැන් පවා සිදුවනවා. මේ සියලු වගා කටයුතු කරන්නේ රොබෝ තාක්ණයෙන්. ඒ ආකාරයෙන් නිපදවන එළවළු සේවකයින්ගේ ආහාර පිණිස යොදා ගන්නවා.
ආණ්ඩුව දන්නේ සමාජ මාධ්‍ය හරහා මඩ ගහන්න විතරයි
අප රටටත් සුහුරු කෘෂිකර්මය සිදු කළ හැකි වුවත් රජය ඊට අවශ්‍ය සහයෝගය දෙන්නෙ නෑ. නුදුරේ දී ම බිහිවන සමගි ජන බලවේග රජය තුළ සුහුරු කෘෂිකර්මාන්තයට අවශ්‍ය සහයෝගය ගොවියාට ලබා දි ගොවියාගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට අවශ්‍ය සුහුරු තාක්ෂණය උපකරණ හා දැනුම ලබා දෙනවා. කෘෂි නිෂ්පාදන අපනයනය කරන තැනට අප රට ගෙන එනවා. නෙදර්ලන්තය මෙන් කෘෂි අපනයන සිදු කරන තැනට අප රට ගෙන ආ යුතු යි. මේවා විහිළු කතා නෙවෙයි. ලෝකයේ දැනටමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන සංකල්ප.
අද වන විට ජාතික ආරක්ෂාව ගැන ටියුෂනුත් නෑ; ආරක්ෂාවත් නෑ
අපේ රටේ පාලකයන්ට අවශ්‍ය රට පරණ තත්ත්වයේ ම තියා ගැනීමට. වත්මන් රජය විපක්ෂයේ සිටින විට උද්ඝෝෂණ කර වාරි පද්ධති පුනරුත්ථාපනය කළ යුතු බවට පැවසුවත් දැන් ඒ කිසිවක් සිදු වෙන්නෙ නැහැ. දැන්වත් විධිමත් වාරි ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු යි. මේ රජය විපක්ෂයේ සිටින විට බොරු කියා බලය ගෙන දැන් රැවටිල්ල ක්‍රියාත්මක කරනවා. ජාතික ආරක්ෂක ප්‍රශ්න සති කිහිපයකින් විසදා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු වත්මන් රජයේ මැති ඇමතිවරු සිටියත් ඊයේ මහ පාරේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ අමු අමුවේ ඝාතනය කරන තැනට රට පත්වෙලා. අද වන විට පාතාල කල්ලි අතර මිනීමරු යුද්ධයක් ක්‍රියාත්මක වෙනවා. මේ කෘර කුරිරු ඝාතන සංස්කෘතියක් අප සමාජය වෙළාගෙන තිබෙනවා. අද වන විට පාතාල කල්ලි බියක් සැකයක් නැතිව මහ පාරේ ඝාතන කරන විට ජීවත් වීමේ නිදහස පවා අහිමි වි වෙලා. අද රටේ ඇත්තේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බොරු කීමේ නිදහස යි. මේ රජය සිදු කරන්නේ බොරුවයි ඇන්දවිල්ලයි විතරයි.''

