උත්සව සමය ආරම්භ වීමත් සමග මහජනතාවගේ මහජන සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සංස්කාරක අනුර තිලකසිරි පැවසුවේ මේ සඳහා නිලධාරීන් 2,000ක් පමණ සහභාගී වී ඇතැයිද එම නිලධාරීන් ප්‍රාදේශීය සහ නගර සභා මට්ටමින් කටයුතු කරනු ඇති බවත්ය.
ඒ අනුව ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීම්, නඩු පැවරීම් කටයුතු, නිවේදන ලබා දීම මෙන්ම වෙළෙඳුන් දැනුවත් කිරීම් කටයුතුද සිදුකරන බවද ඒ සඳහන් කළේය.
උත්සව සමයට අදාළව සකස් කළ ආහාර රස කැවිළි, කේක්, බිස්කට් වර්ග වැනි දෑ සම්බන්ධව විශේෂ අවධානය යොමු වනු ඇති බවත් පැවසූ ඔහු මෙම ආහාරවල ලේබල් සම්බන්ධව මහජනතාවට යම් කිසි ගැටලුවක් පවතින්නේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද දැනුම් දුන්නේය.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය බලතල භාවිත කරන බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ එහිදී යම් කිසි වෙළෙන්දෙකුට අදාළව ආහාර පනත යටතේ යම් කිසි ගැටලුවක් පවතී නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීම, සිර දඬුවම් ලබා දීම වැනි කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවය.
මේ හේතුවෙන් වෙළෙඳුන් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.


