අයවැයට එරෙහිව හෙට(30) පැවැත්වීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් රජයේ විධායක නිලධාරීන්ගේ එකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20 ඉවත් වී ඇති බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ විධායක නිලධාරීන්ගේ එකාබද්ධ කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
නොවැම්බර් 30 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ එකාබද්ධ කමිටුව තීරණය කර නොතිබූ අතර, එවැන්නක් ප්‍රකාශ කර නොමැති පසුබිමක එම ක්‍රියාමාර්ගවලින් ඉවත් වීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව එම කමිටුව පෙන්වා දෙයි.
රජයේ විධායක සේවාවන් 20ක් නියෝජනය කරන මෙම සංවිධානය සහ අනෙකුත් වෘත්තීය සංගම් අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමේ අරමුණින් කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හිතාමතා මෙම අසත්‍ය ප්‍රචාරය සිදුකර ඇති බවට නිරීක්ෂණය වන බව ද එම නිවේදනයේ දැක්වේ.
රජයේ විධායක සේවාවන්හි නිලධාරීන්ට සිදුවී ඇති වැටුප් හා දීමනා විෂමතා සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පසුගිය නොවැම්බර් 20 වැනිදා සාර්ථක එක්දින සංකේත වැඩවර්ජනයක් (අසනීප නිවාඩු වාර්තා කිරීමක්) සිදු කළ බව එම කමිටුව සඳහන් කරයි. පවතින ගැටලු පිළිබඳව අමාත්‍යවරුන් වන ආනන්ද විජේපාල සහ අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී සති දෙකක් ඇතුළත ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් ලබා දීමට අමාත්‍යවරුන් එකඟ වූ බවත් එම කමිටුව පවසයි. ඒ අනුව, එම සාකච්ඡාවෙන් පසුව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව විධායක කමිටුව රැස්වී තීරණය කිරීමට නියමිතය.
නොවැම්බර් 30 වැනිදා රජයේ විධායක නොවන සේවාවන් රැසකට අයත් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට නියමිත අතර, ඕනෑම වෘත්තීය සංවිධානයකට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ ඇති අයිතිය ගෞරවයෙන් පිළිගන්නා බවත්, ඊට බාධා කිරීමේ කිසිදු අරමුණක් තමන්ට නොමැති බවත් එකාබද්ධ කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.
ජේ.මුණසිංහ
අදාළ නිවේදනය පහළින්>>


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
