Image

මෙරට ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාවට වසර 70ක් සපිරෙයි

මෙරට ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාවට වසර 70ක් සපිරෙයි

ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (Neurosurgeons Association of Sri Lanka)  NEUROSURG 2026, 05 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය (5th Annual Academic Sessions) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20වන දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

WhatsApp Image 2026 08 21 at 1.48.02 PM

ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඉතිහාසයට වසර 70ක් සපිරීම සනිටුහන් වන මෙම වසරේ දී පැවැත්වෙන මෙම සැසිය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය.

WhatsApp Image 2026 08 21 at 1.47.59 PM 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස NEUROSURG 2026, 05 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ දී අදහස් දක්වමින් පසුගිය දශක හතක කාලය තුළ ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය අතිශය දුෂ්කරතා මධ්‍යයේ වුව ද ජාත්‍යන්තර මට්ටමේ ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ට සේවාවක් දක්වා වර්ධනය වී ඇති බව පැවැසීය. රෝගී සත්කාරය, අධ්‍යාපනය, පර්යේෂණ සහ නවෝත්පාදන වෙනුවෙන් මෙරට ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් දක්වන කැපවීම ද මෙහි දී ඇගයිමට ලක් කළේ ය.

WhatsApp Image 2026 08 21 at 1.48.01 PM

නූතන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ තනි පුද්ගලයකුට හෝ එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වී සාර්ථකත්වයක් ලබාගත නොහැකි බවත්, ඉහළ ම ප්‍රතිඵල ලබාගත හැක්කේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත සෞඛ්‍ය  කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවයෙන් බව ද අමාත්‍යවරයා මෙහි දී පැවැසී ය.

අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කැපවී  කටයුතු කරන බවත්, විශේෂඥ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, පශ්චාත් උපාධි වෛද්‍ය අධ්‍යාපනය නංවාලීම, රෝහල් යටිතල පහසුකම් සහ නවීන තාක්ෂණය පුළුල් කිරීම රජයේ ප්‍රමුඛතාවක් බව ද පැවැසී ය. එමෙන්ම, දක්ෂ තරුණ වෛද්‍යවරුන් මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් සහ සුදුසු සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

WhatsApp Image 2026 08 21 at 1.48.01 PM 1

"A Collaborative Approach to Neurosurgical Excellence in Sri Lanka" (ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය උදෙසා සහයෝගී ප්‍රවේශයක්) යන තේමාව යටතේ දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙවර වාර්ෂික අධ්‍යයන සැසිවාරය පැවැති අතර ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම, නවීන වෛද්‍ය තාක්ෂණය හා විශේෂඥ අත්දැකීම් හුවමාරු කර ගැනීම, රට තුළ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සේවය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම මෙන්ම  ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හා ඉදිරි අභියෝග  පිළිබඳව මෙහි දී  අවධානය යොමු කළේ ය.

WhatsApp Image 2026 08 21 at 1.48.00 PM 2

ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිරුක්ෂාන් ජයවීර ගේ සභාපතිත්වයෙන්  පැවැති සැසිවාරයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ආසිරි ශල්‍ය රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය  සුනිල් පෙරේරා යන අය සහභාගි වෙමින් මෙහි දී ස්නායු ශල්‍ය වෛද්‍ය සේවාව පිළිබඳ විශේෂ දේශන ද පැවැත්වී ය.

මෙවැනි වාර්ෂික අධ්‍යයන සැසිවාර තුළින් මෙරට ස්නායු ශල්‍ය වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීමටත්, නවීන වෛද්‍ය දැනුම හා තාක්ෂණය පිළිබඳ අවබෝධය පුළුල් කිරීමටත් මෙන්ම රෝගීන් සඳහා වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් ලබාදීමටත් වැදගත් දායකත්වයක් සැපයෙනු ඇත.

WhatsApp Image 2026 08 21 at 1.48.00 PM 1

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සමන් පුෂ්පකුමාර සහ එම සංගමයේ හිටපු සභාපතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න