Image

එල්ලුම් ගහ පිළිතුර නොවේ; ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි?

එල්ලුම් ගහ පිළිතුර නොවේ; ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි?

නැවත වරක්, එල්ලුම්කරුවා ගේ අවතාරය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති කතිකාව බවට පත්ව තිබේ. 2026 අගෝස්තු 10වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ දී, රට තුළ නැඹුරු වෙමින් පවතින මත්ද්‍රව්‍ය අර්බුදයට දැක්විය හැකි ප්‍රතිචාරයක් ලෙස, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මරණ දණ්ඩනය පැනවීම මතු කර ඇත. අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශකවරයා ඉන්පසුව පැහැදිලි කර ඇත. එවැනි කිසියම් තීරණයක් ගැනීමට පෙර, ඉතිහාසය ගැන, සාක්ෂි ගැන, සහ ජාතිය ආරක්ෂා කරන බවට කියා සිටින සාරධර්ම ගැන මොහොතක් නැවතී සිතා බැලීම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වගකීමක් වේ.

මෙම ලිපියේ ඉදිරිපත් කෙරෙන ස්ථාවරය පැහැදිලි ය. සෑම අවස්ථාවක දී ම මරණ දණ්ඩනයට විරුද්ධ විය යුතු අතර, අපරාධය කුමක් වුවත්, චූදිතයා කවුරුන් වුවත්, එය නොපැනවිය යුතුය.

 

කිසි දිනෙක සාර්ථක නොවූ, යලි යලිත් මතුවන පෙළඹවීමක්

1976 සිට ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කර නැත. අර්ධ ශත වර්ෂයක් පුරා සැබෑ ලෙසින් පැවති අත්හිටුවීමක් යනු ආරක්ෂා කළ යුතු මානුෂීය වාර්තාවක් මිස ඉවත දැමිය යුත්තක් නොවේ. එහෙත් එම දශක පහ පුරාම, අනුප්‍රාප්තික නායකයින්, අපරාධ පිළිබඳව පවතින මහජන කනස්සල්ලට ප්‍රතිචාර ලෙස, වරින් වර එල්ලා මැරීම් නැවත ආරම්භ කිරීමට තර්ජනය කර ඇත. 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය එසේ කළා ය. 2018 සහ 2019 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන් ඔබ්බට ගොස්, පිලිපීනයේ මිනීමරු “මත්ද්‍රව්‍ය යුද්ධය” ප්‍රසිද්ධියේ අගය කරමින්, මත්ද්‍රව්‍ය වැරදිකරුවන් සඳහා මරණ දඬුවම් වරෙන්තුවලට අත්සන් තැබී ය. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ අත නැවැත්වූ අතර ඡන්දදායකයෝ ඔහුව බලයෙන් පහ කළහ.

ඕනෑ ම බැරෑරුම් ප්‍රතිපත්ති සම්පාදකයකුගේ අවධානයට යොමු විය යුත්තේ මෙය යි. මේ මුළු කාලය පුරා ම මරණ දණ්ඩනය ශ්‍රී ලංකාවේ නීති පොත්වල පැවතුණි. මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය වැරදි සඳහා අධිකරණය දිගටම මරණ දඬුවම් පනවා ඇති අතර, සිරකරුවන් දහසකට වැඩි පිරිසක් මරණ දඬුවම නියම වූවන් ලෙස සිරගතව සිටිති. මරණ දණ්ඩනයේ පැවැත්ම නිසා ම පමණක් අපරාධ වළක්වන්නේ නම්, ශ්‍රී ලංකාව බොහෝ කලකට පෙර මිනීමැරුම් හා මත්ද්‍රව්‍යවලින් තොර විය යුතුව තිබුණි. එසේ වී නැත. මළපුඩුව එය මත්තේ එල්ලී පැවති දශකවල දී ම මත්ද්‍රව්‍ය ජාවාරම වඩාත් සංවිධානාත්මක, වඩාත් අන්තර්-ජාතික සහ වඩාත් ලාභදායී බවට පත් වී ඇත. ප්‍රචණ්ඩ අපරාධවලට හෝ මත්ද්‍රව්‍ය උවදුරට විසඳුමක් ලෙස මෙම දඬුවම අසාර්ථක වී ඇති බව පැහැදිලිව පෙනේ. ප්‍රවාහකයන් ඉවත් කර දැමිය හැකි අය ලෙස සලකන සහ අතිවිශාල ලාභ ආන්තික අත් කර ගැනීම සදහා අන්ත අවදානම් සහගත තත්ත්ව සැලකිල්ලට ගෙන කටයුතු කරන සින්ඩිකේට් ඇතුළත් කර ගන්නා නීති විරෝධී වෙළඳාමක ආර්ථිකය වෙනස් නොවනවා ඇත.

මරණ දඬුවමට ලක්ව නියම වී සැබවින්ම සිරගතව සිටින්නේ කවුරුන්දැයි යන්න ද අමතක නොකළ යුතු ය. ඒ මුදල් යොදවන්නන්, මුදල් විශුද්ධිකරුවන් හෝ දේශපාලනිකව ආරක්ෂාව ලබන ප්‍රධාන පුද්ගලයින් නොව, දිළිදු ප්‍රවාහකයා ය; මත්ද්‍රව්‍ය ඇබ්බැහිකරුවා ය; සුළු පුද්ගලයා ය. දක්ෂ නීතිමය ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා තරම් සම්පත් නොමැති ව, නඩුවලට පෙර දිගු කාලීන රඳවා ගැනීම්වලින්, සම්පත් හිඟ අධිකරණ වෛද්‍ය සේවාවන්ගෙන් සහ ඇතැම් විට බලහත්කාරයෙන් ලබාගත් පාපොච්චාරණවලින් බර වී තිබෙන යුක්ති පසිඳලීමේ පද්ධතියක් තුළ වරදකරුවන් කරන ලද්දෝ ය. එවැනි පද්ධතියක් තුළ, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිර්දෝෂී පුද්ගලයින් මරණයට පත් කිරීමේ ආපසු හැරවිය නොහැකි අවදානම උසුලයි.

කිසිදු රාජ්‍යයකට, වැරදි ලෙස සිදු කළ එල්ලා මැරීමක් ආපසු හැරවිය නොහැකි ය.

 

ජාත්‍යන්තර අත්දැකීම් සැබවින් උගන්වන දේ

මරණ දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස බලකරන්නෝ විදේශ රටවල් දෙසට ඇඟිල්ල දිගු කරන නමුත් ජාත්‍යන්තර වාර්තාව දක්වන්නේ වෙනත් දිශාවකි. දුතෙර්තෙ යටතේ අතිමහත් බහුතරය දුප්පත් නාගරික ප්‍රජාවගෙන් සමන්විත දහස් ගණනක් ඝාතනය කළ, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විමර්ශනයක් ආරම්භ කළ; සහ සරලව ම අනුවර්තනය වූ මත්ද්‍රව්‍ය වෙළඳපොළක් දිගට ම පැවතුණ පිලිපීනය මෙම යුගයේ දරුණුතම දණ්ඩනීය අත්හදා බැලීම සිදු කළේ ය. අනුග්‍රහය දක්වන අනෙක් උදාහරණය වන සිංගප්පූරුව, ශ්‍රී ලංකාවේ තත්ත්වයන්ට කිසිසේත් සමාන නොවන තත්ත්ව සහිත කුඩා, ධනවත්, දැඩි පොලිස් අධීක්ෂණයට ලක් වූ නාගරික රාජ්‍යයක් වූවත් එරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ උත්සාහ නතර වී නැත. විශාල මුහුදු දේශසීමා සහ ආතතියට ලක් වූ ආයතන සහිත දිවයිනකට එම ආකෘතිය බද්ධ කළ නොහැකි ය.

ඊට හාත්පසින් වෙනස් ලෙස, පෘතුගාලය ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින්: එනම්, ඇබ්බැහි වීම මහජන සෞඛ්‍ය සහ අදාළ කාරණයක් ලෙස සැලකීම, පෞද්ගලික පාවිච්චි කිරීම අපරාධ ගනයෙන් ඉවත් කිරීම, සහ ජාවාරම් ජාලයන් හා මූල්‍ය ප්‍රවාහ‍යන් කෙරෙහි අවධානය යොමු කිරීමට සිය පොලිසිය නිදහස් කිරීම මගින් 2001 දී විනාශකාරී හෙරොයින් අර්බුදයකට මුහුණ දුන්නේ ය. මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදු වූ මරණ විශාල ලෙස පහත වැටුන අතර තරුණ පරිභෝජනය අඩු වූයේ ය. ශ්‍රී ලංකාව විසින් ද සහාය දී තිබෙන, සර්ව ව්‍යාපී ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය නැවත නැවතත් ඡන්දය ප්‍රකාශ කර තිබෙන යෝජනාවලින් පැහැදිලි කර ඇත්තේ, ජාත්‍යන්තර නීතිය මරණ දණ්ඩනය පැනවීම සලකා බලන්නට තරම් ඉඩ සලසන “බරපතලම අපරාධ” ගණයට මත්ද්‍රව්‍ය වැරදි නොවැටෙන බව යි. ICCPR යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් කඩ කිරීමක් සහ, GSP+ වෙළඳ සහන අහිමි කිරීමට මඟ පාදන්නක් වන මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම, එම පිළිවෙත අහෝසි කර ඇති ජාතීන් සියයකට අධික සංඛ්‍යාවක් සමන්විත කරන ප්‍රජාවෙන් ශ්‍රී ලංකාව හුදෙකලා කර ලනු ඇත.

මත්ද්‍රව්‍ය උවදුර ට එරෙහි සිත් ඇද ගන්නාසුලු නොවන ඵලදායී ප්‍රතිචාර, එනම්, ප්‍රවාහකයන්ගේ සිරුරු මතින් නොව කල්ලි නායකයන් ගේ වත්පොහොසත්කම්වලට එරෙහිව යොමු වූ මූල්‍ය බුද්ධි මෙහෙයුම් සහ ආක්‍රමණකාරී ලෙස වත්කම් රාජසන්තක කිරීම්; කලාපීය සහකරුවන්ගේ සහයෝගය ලබන නවීකරණය කල මුහුදු මැඩලීම්; නඩු ගොඩ ගැසීම නිරාකරණය කරන්නට කැපවූ අධිකරණ පද්ධතියක්; සහ මත්ද්‍රව්‍ය භාවිත කරන අය බන්ධනාගාරවලින් හා සිල්ලර වෙළඳ පොළෙන් ඉවත් කරන ප්‍රජා පාදක වෛද්‍ය ප්‍රවේශය මත පදනම් වූ පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් යන මේවා තහවුරුව ඇති ප්‍රතිචාර වෙයි. ජාතියේ ශක්තිය සහ සම්පත් යොමු විය යුත්තේ එතැනට යි.

 

ප්‍රතිපත්තිමය, සහ මතකය පිළිබද කාරණයක්

දණ්ඩනීය රාජ්‍ය ඝාතනය යුක්තියේ නොව පීඩනයේ මෙවලමක් ලෙස දකිමින් 1970 දශකයේ සිට ම ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රතිපත්තිමය වශයෙන් මරණ දණ්ඩනයට එරෙහි වූයේ ය. පසුකාලීන ආණ්ඩු මරණ දඬුවම නැවත ආරම්භ කිරීමට තැත් කළ හැම අවස්ථාවකම, එවැනි පියවර වලට ජනතා විමුක්ති පෙරමුණ අඛණ්ඩවම විරුද්ධ වූයේ, දූෂණයට හා මත්ද්‍රව්‍ය ගැටලුවේ සමාජමය මූලවලට මුහුණ දීමට රාජ්‍යය අසමත් වීමෙන් අවධානය වෙනතකට යොමු කරන ජනප්‍රියවාදී නාටකයක් ලෙස සලකමිනි. එම දේශපාලන සම්ප්‍රදායයෙන් ම බිහි වූ ආණ්ඩුවක්, වසර පණහකට පසු එල්ලුම් ගහ නැවත ගෙන එන ආණ්ඩුව බවට පත් වුවහොත් එය ඇත්තටම අමිහිරි උත්ප්‍රාසයක් වනු ඇත.

හදිසි නීතිය තුළින්, කැරලි මර්ධනය තුළින්, ඝාතන කල්ලි තුළින් ශ්‍රී ලංකා රාජ්‍යය අසීමිත අන්දමින් ඝාතනය කළ යුග අත්දුටු, එම යුගවල දී සිය සගයින් සහ සෙසු රටවැසියන් අහිමි වූ අය ගෙන් එන මෙම අනතුරු ඇඟවීම විශේෂ වැදගත්කමක් අත් කර ගනියි. රාජ්‍යය ජීවිත අහිමි කර ලීමේ අයිතිය තමන් සතු කර ගත් විට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබදව ශ්‍රී ලාංකික සමාජය ඉතා හොදින් දනියි. අධිකරණමය ස්වරූපයෙන් නැවත ස්ථාපිත කිරීමෙන් පවිත්‍ර බවට පත් නොවන එම අයිතිය සාමාන්‍ය බවට පත් කරනවා ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11වන වගන්තිය කුරිරු, අමානුෂික සහ අවමන් සහගත දඬුවම් තහනම් කරයි. එසේම, රටේ සියලු ආගමික සම්ප්‍රදා ජීවිතයේ පාරිශුද්ධත්වය සහ යළි හැඩ ගැසෙන්නට මිනිසා සතු හැකියාව තහවුරු කරයි.

මත්ද්‍රව්‍ය අර්බුදය සැබෑ ය; මහජන කෝපය වටහා ගත හැකි ය. එහෙත් ප්‍රතිපත්ති සම්පාදකයින් තෝරා පත් කර ගෙන ඇත්තේ සාක්ෂි මත පදනම්ව මග පෙන්වීමට මිස, අන් අයගේ ජීවිත උපයෝගී කර ගනිමින් සිය දැඩි බව රඟ දක්වන්නට නොවේ. මරණ දණ්ඩනය නිවාරකයක් ලෙස අසාර්ථක වී ඇත; යුක්තිය ඉටු කිරීමක් ලෙස අසාර්ථක ය; ප්‍රතිපත්තිමය වශයෙන් ද එය ශ්‍රී ලංකාව අසාර්ථක කරනවා ඇත. ආණ්ඩුව, කිසිදු රාජ්‍යයක් සිය ජනතාව ගේ නාමයෙන් ඝාතනය කිරීමේ නොයෙදිය යුතු බව නිගමනය කර ඇති ජාතීන්ගේ ප්‍රජාවට එක් වෙමින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර, මරණ දඩුවම අත්හිටුවීම විධිමත් කර, ඒ වෙනුවට එය අහෝසි කිරීම දෙසට ගමන් කළ යුතු ය.

 

121698837 10158993203277915 6987172846400036303 n

 

 

 

සටහන - ලයනල් බෝපගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න