Image

අජිත් තිලකසේන පුටුවෙන් වීසි වෙන ධර්මසේන පතිරාජ යළි අවදි වෙන කතාව

අජිත් තිලකසේන පුටුවෙන් වීසි වෙන ධර්මසේන පතිරාජ යළි අවදි වෙන කතාව

2026 ජූලි මස 6 වන දින මම අජිත් තිලකසේන වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නේ, “පාර දිගේ” සිනමාකෘතියේ දෙබසක් සිහිපත් කරමිනි.

"තිලකසේන මහත්තයා පුටුවේ වාඩිවෙලා ද ඉන්නේ, එහෙනම් පුටු ඇන්ද හයියෙන් අල්ලගන්න. පුටුවෙන් විසිවෙන එකක් මම කියන්නයි යන්නේ."

අජිත් තිලකසේන රචනා කළ, ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, තිලක් ගොඩමාන්න නිෂ්පාදනය කළ, "පාර දිගේ" සිනමා කෘතිය සංරක්ෂණය සඳහා සිංගප්පූරුවේ ආසියානු සිනමා සංරක්ෂණාගාරයේ ජ්‍යෙෂ්ඨ සංරක්ෂක ටී. පාඕ චව් 2026 අප්‍රේල් මස 20 වන දින ඊ-මේල් පණිවිඩයක් හරහා ප්‍රතිචාරයක් දක්වා තිබුණේ මෙසේ ය.

"පාර දිගේ සම්බන්ධයෙන් ඔබ වෙත කලින් ප්‍රතිචාර නොදැක්වීම ගැන මගේ කණගාටුව පළ කරමි. චිත්‍රපටයේ ප්‍රතිෂ්ඨාපනයක් කිරීමට මම ඉතා උනන්දු වෙමි. 2024 දී අහස් ගව්ව ප්‍රතිෂ්ඨාපනය කිරීම රීල්වල තත්ත්වය සහ අසම්පූර්ණත්වය හේතුවෙන් තරමක් දුෂ්කර වූ අතර, මෙය ඩිජිටල්කරණය කටයුතු ආරම්භ කිරීමට පෙර අවශ්‍ය ද්‍රව්‍ය ඇති බව සහතික කිරීම අවශ්‍ය බව දක්වනු කැමැත්තෙමි."

 

ලෝහමය බරට විකුණා කීයක් හරි සොයා ගන්නාසරල හුවමාරුව

"පාර දිගේ" චිත්‍රපටයේ ප්‍රතිෂ්ඨාපනය කිරීම සම්බන්ධ සිහිනය යථාර්ථයක් කිරීම සඳහා අවුරුදු පහකට ආසන්න කාලයක් පුරා වරින් වර  අජිත් තිලකසේන මා වෙත ලබා දුන් ඇමතුම් ප්‍රමාණය අසීමිත ය. නොබෝ කලකින්ම එය ආරම්භ කරන බවත්, නයින් හාර්ට්ස් අධිපති තිලක් ගොඩමාන්න මහතා ගේ පෞද්ගලික ස්ටුඩියෝවේ "පාර දිගේ" සෙලියුලොයිඩ් රීල් හයක් සංරක්ෂණය වී පවතින බව මම නිරන්තරයෙන් සිහිපත් කෙළෙමි. 2017දී ආචාර්ය ධර්මසේන පතිරාජගේ ග්‍රන්ථ තිත්වය එළිදැක්වීමේ උළෙලේ මුණ ගැසුණු දා පටන් ඔහු නැවත නැවතත් ඒ සෙලියුලොයිඩ් රීල් හොඳින් සංරක්ෂණය වී පවතින බව තහවුරු කරන ලදී.

අවසානයේ අපි තිලක් ගොඩමාන්න ගේ පුත් චාමික ගොඩමාන්න අමතා "පාර දිගේ" සෙලියුලොයිඩ් රීල් ප්‍රතිෂ්ඨාපනය සඳහා සිංගප්පූරුවේ ආසියානු සිනමා සංරක්ෂණාගාරයේ අදහස දැනුම් දී ඒවා එහි යැවීමට විමසා සිටියෙමු. එහිදී ඔහු කළ ප්‍රකාශය  අපගේ සියලු බලාපොරොත්තු සුන් කර අපව දැඩි කම්පනයකට ලක්  කෙළේය.

“මීට සති තුනකට  කලින් " පාර දිගේ” සෙලියුලොයිඩ් රීල් සියල්ල  "රිදී" සඳහා වෙළෙන්දෙකුට විකුණා දැමුවා.  මේ වන විටත් ඒ සියලු රීල් රිදීවලට දිය කර හමාරයි.”

සිනමාවට ඇලුම් කරන ඕනෑම කෙනෙකු මෙම සිදුවීම ඇසූ සැණින් දැඩි කම්පනයකට නිතැතින්ම ලක්වනු ඇත. එය  ලාංකේය සිනමා ඉතිහාසයේ තක්සේරු කළ නොහැකි ඛේදවාචකයකි. එක් අතකින් මෙය අපගේ සමාජයේ ඓතිහාසික මතකය සහ සංස්කෘතික උරුමය කෙරෙහි ඇති ආකල්පය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවකි. තවත් අතකින් මෙය සිනමා සංරක්ෂණය ඇතුළු සකලවිධ සංරක්ෂණ සංස්කෘතිය අපගේ පරම්පරාවට මෙන්ම වගකිව යුත්තන්ට හා පාලකයන්ට දුරස් වූ, ඔවුන්ගේ ඓන්ද්‍රීය සම්බන්ධතාවයක් නොමැති, එහි ලෝහමය බරට විකුණා දමා ‘කීයක් හරි ගන්නා’ සරල හුවමාරුවක් බවට වන කදිම සාක්ෂියකි.

 

රිදී අවුන්ස භාගයක අමිල උරුමය

A23534534

2026 වසරේ රිදී අවුන්සයක වත්මන් වටිනාකම ඇමෙරිකානු  ඩොලර් 60-64ක් පමණ වන අතර එක් සිනමා රීල් එකකින් ලබා ගත හැකි රිදී වටිනාකම ඇමෙරිකානු ඩොලර් 30-35ක් පමණි. සාමාන්‍යයෙන් අඩි 1000ක පමණ දිගකින් යුත් 35mm කළු සුදු සිනමා රීල් එකකින් රිදී අවුන්ස භාගයක් හෙවත් ග්‍රෑම් 15-20ක් පමණ ලබා ගත හැකි ය. ඒ අනුව, ශ්‍රී ලංකා රුපියල්වලින් සැලකූ විට මෙය උපරිම රුපියල් 9,000 සිට 12,000කි. මෙවැනි සුළු මුදලක් වෙනුවෙන් මිලකළ නොහැකි සංස්කෘතික හා ඓතිහාසික වටිනාකමක්  විනාශ කිරීම අර්ථ දැක්විය හැක්කේ කිනම් නාමයකින් ද?

සිනමා රීල්වලින් සත්‍යයෙන්ම රිදී ලබාගත හැකි ද? සෙලෝලෙයිඩ පටයක ප්‍රතිබිම්බ සටහන්වන විද්‍යාත්මක තාක්ෂණය වන්නේ රිදී හේලයිඩවලිනි. ඒවා නැවත රිදීවලට දියකිරීම ගැන කෙටි අදහසක් ප්‍රකාශ කළ හොත්  මෙවැනි ය. රිදී ලබා ගැනීම සඳහා සිනමා රීල් කුඩා කැබලිවලට කපා, නයිට්‍රික් අම්ලය හෝ බ්ලීච් ද්‍රාවණ භාවිතයෙන් ඉමල්ෂන් (emulsion) තට්ටුවෙන් රිදී ද්‍රාවණය කර ගනී. ඉන්පසු සින්ක් කුඩු හෝ යකඩ ලෝහ තන්තු භාවිතයෙන් රිදී ඉවත් කර, දාහකරණයෙන් (cementation) පිරිසිදු කරයි. මෙය වෘත්තීය ව්‍යාපාරයක් නොවන අතර,  රහසිගතව රසායනික  දැනුම ඇති පුද්ගලයින්   නීත්‍යනුකූල නොවන  ලෙස කරන බව වාර්තා වේ. 

 

ගීනස් වාර්තා සහ ඊනියා සංරක්ෂණ

Ad452546565

‘ශ්‍රී ලංකාව තම සිනමා උරුමයෙන් 90%ක් අහිමි කරගෙන ඇති බව 2018 මාර්තු මසදී තහවුරු විය. ඉන්දියාවේ Film Heritage Foundation හා FIAF ආයතනවල විශේෂඥයින් තිදෙනෙකු වන ශිවේන්ද්‍ර සිං ඩුන්ගර්පූර්, ඩේවිඩ් වෝල්ෂ් සහ මික් නිව්නැම් ශ්‍රී ලංකාවට පැමිණ ජාතික චිත්‍රපට සංස්ථාවේ ගබඩාව, ජාතික ලේඛනාගාරය, රජයේ චිත්‍රපට ගබඩාව සහ සරසවි ස්ටුඩියෝවේ චිත්‍රපට ගබඩාව ඇතුළු සියලුම ගබඩා පරීක්ෂා කළහ. ඔවුන්ගේ තක්සේරුව වූයේ උෂ්ණ දේශගුණය හා තෙතමනය නිසා ඉතිරි සිනමා කෘතිද  විනාශ වෙමින් පවතින බවත්, මෙය “මුදවා ගැනීමේ මෙහෙයුමක්” ලෙස කඩිනම් විය යුතු බවත් ය.  ශ්‍රී ලාංකිකයින් මෙම ගැටලුව බරපතළ ලෙස නොගන්නා තාක්  සිනමා සංරක්ෂණය ගැන කතා කිරීම කිසිදු අර්ථයක් නැති බවත් ඔවුහු අවධාරණය කළහ. 2025 අප්‍රේල් මස  Film Heritage Foundation (FHF) ආයතනය හා FISCH (France-India-Sri Lanka Cine Heritage) විසින් ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව කොළඹ ජාතික ලේඛනාගාරයේ දී පැවැත්වූ වැඩමුළුවේ ද මේ සෝචනීය තත්ත්වය නැවතත් අවධාරණය කරන ලදී. ’

වසර 80කට හිමිකම් කියන ලාංකේය සිනමාව විධිමත් සංරක්ෂණාගාරයක් නොමැති රටක් ලෙස ගිනස් වාර්තාවක් තබා ඇත. ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය ජීවිතයේ අවසන් කාලයේ ප්‍රකාශ කළේ තමන් නිපදවූ චිත්‍රපට 22න් බහුතරයක් සංරක්ෂණය වී නැති බවයි. “කඩවුණු පොරොන්දුව” වැනි ආරම්භක නිර්මාණවල සිට සෙලෝලොයිඩි රීල් නිෂ්පාදනය කළ  නූතන  අධ්‍යක්ෂවරුන්ගේ සිනමා කෘතිවල රීල් බහුතරයක් ද මේ වන විට විනාශ වෙමින් පවතී.

සංරක්ෂණ සංස්කෘතියක් අහිමිවීමේ ගැටලුව ලාංකේය පරිසරය තුළ බොහෝ ක්ෂේත්‍රවලට සමපාත ගැටලුවකි. අවුරුදු සියයකට අධික කාලයක් සක්‍රීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළ පවා විධිමත් ශ්‍රව්‍ය සංරක්ෂණාගාරයක් මේ වනතුරු නොමැත. ආරම්භක යුගයේ ගුවන්විදුලියේ ප්‍රචාරය වූ වැඩසටහන්, නාට්‍ය, විශේෂාංග, සංගීත සහ වැදගත් ඓතිහාසික සිදුවීම් පිළිබඳ වාර්තා වැඩසටහන් බහුතරයක් අහිමිව ඇත. ජාතික රූපවාහිනි ඇතුළු රූපවාහිනි නාලිකා යූමැටික් කැසට් පද්ධතියෙන් ආරම්භ වූ අවධියේ පටිගත කළ බොහෝ වැඩසටහන් විනාශ වී ඇති අතර, තවත් බහුතරයක් පෞද්ගලික අයිතියට පත්ව ඇති බවට තොරතුරු ඇත.

ලෝක සිනමාවේ ආරම්භයේ සිට ම රටවල් බොහොමයක් තම සිනමා කෘති රාජ්‍ය හෝ පෞද්ගලික ආධාරයෙන් විධිමත්ව සංරක්ෂණය කළ ද, වසර අසූවකට ආසන්න  ලාංකේය සිනමා ඉතිහාසය තුළ, බහුතර සිනමා කෘති  අනාරක්ෂිතව විනාශව ගිය උදාහරණ බොහොමයකි.

 

පතිරාජ ගේ යෝජනාව

pathiraja 2 860x484.jpg

ධර්මසේන පතිරාජ

මෙම අර්බුදයට ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට ධර්මසේන පතිරාජ,  2005 දී බලයට පත්වූ රාජ්‍යතන්ත්‍රය වෙත රටවල් ගණනාවක සිනමා සංරක්ෂණාගාර සමීක්ෂණය කරමින් ව්‍යාපෘතියක් ඉදිරිපත් කෙළේය. එම යෝජනාවට විරුද්ධව එවකට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති  අසෝක සේරසිංහ “ලංකාවට සිනමා සංරක්ෂණාගාරයක් කිසිසේත් ම අවශ්‍ය නැතැයි ද, ඒ වන විට සිනමා කෘති  බහුතරයක් විනාශව ඇති බැවින් එම වියදම අපතේ යෑමක්” බවට බීබීසී සංදේශයට අදහස් ප්‍රකාශ කෙළේය. මේ තර්කය  හුදු දේශපාලන පත්වීම් ලද සමහරුන් වූ නිකමුන්ගේ සංරක්ෂණය පිළිබඳ දැනුමේ පරාසය විදහාපායි.  සංරක්ෂණාගාරයක අති මූලික(දෘඪතර)අරමුණ වන්නේ  ඉතිරිව ඇති ද්‍රව්‍ය හෝ සංරක්ෂණය කිරීමයි. එමෙන්ම රටක සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීමේ වගකීම රාජ්‍යයක් අර්ථ ගන්වන්නේ  මූල්‍යමය ලාභ පාඩුව මත මිනුම් දඩුවක් ලෙස නම් ඒ ගැන කවර කතාද?

වර්තමානයේ ලංකාවේ සිදුවන ඇතැම් “සංරක්ෂණ” කටයුතු විද්‍යාත්මක ව තක්සේරු කළ නොහැකි ය.  තිරයකට ප්‍රක්ෂේපණය කර, කැමරාවකින් වීඩියෝගත කිරීම ඩිජිටල්  සංරක්ෂණයක් නොවේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තිබූ, රැල්ෆ් කීන් (Ralph Keene)බැසිල් රයිට් (Basil Wright)ජියුලියෝ පෙට්‍රෝනි (Giulio Petroni)ෆෙඩරිකෝ සෙරා (Federico Serra)පෝල් සිල්ස් (Paul Zils)මයික් විල්සන් (Mike Wilson) වැනි අධ්‍යක්ෂවරුන්ගේ මුල්කාලීන වාර්තා සිනමා කෘති  පවා මෙලෙස කැමරා මගින් පිටපත් කර  ඊනියා සංරක්ෂණ නාමය අලවා ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බොහෝ රීල් ද රිදීවලට විකිණීමට ලක්ව ඇතැයි ද ප්‍රවාද ඇත. යථාර්ථවාදී සිනමා ප්‍රතිස්ඨාපනය යනු රසායනික සංයුතිය, සෙලියුලොයිඩ් පදනමේ තත්ත්වය, වර්ණ විඛණ්ඩනය සහ ශබ්ද තරංග විශ්ලේෂණය ඇතුළත් විද්‍යාත්මක ක්‍රියාවලියකි. එය තිරයකට ප්‍රක්ෂේපණය කිරීමෙන් හෝ සාමාන්‍ය ඩිජිටල්කරණයෙන් ලබා ගත නොහැකි තත්ත්වයකි. ජාතික චිත්‍රපට සංස්ථාවේ ගබඩාවල කූණු මාළු ගොඩ ගසන්නාක් මෙන් පැරණි සිනමා කෘති  ගොඩගසා තිබෙන ආකාරයෙන් ලංකාවේ සිනමා සංරක්ෂණාගාර සම්බන්ධ දෘෂ්ටිවාදය සහ ප්‍රතිපත්තිය හඳුනාගත හැකි ය.

 

ලෝක ප්‍රමිති සහ ඉන්දීය ආදර්ශය 

ලෝකයේ ප්‍රමුඛ සිනමා සංරක්ෂණාගාරවල ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කිරීමෙන් සංරක්ෂණය වූ කලී තාක්ෂණික ක්‍රියාවලියක් නොව, විද්‍යාත්මක, ඓතිහාසික සහ සංස්කෘතික ක්‍රමවේදයකට යටත්ව සිදුකරන සංකීර්ණ ක්‍රියාවලි පද්ධතියක් බව හඳුනාගත හැකි ය. සෙලියුලොයිඩ් රීල් සංරක්ෂණය සඳහා උෂ්ණත්වය සෙල්සියස් 2-4 දක්වා සහ ආර්ද්‍රතාව 30-40% දක්වා පාලනය කළ යුතු අතර, වර්ණ සිනමා කෘති  සඳහා මෙම තත්ත්ව තවදුරටත් දැඩි වේ. රසායනික විඛණ්ඩනයන් මුල් අවධියේ හඳුනාගැනීම, රූප විකෘතිතාවන්, වර්ණ විඛණ්ඩනයන් සහ ශබ්ද දෝෂ නිවැරදි කිරීම, මුල් රීල්වලට හානි නොවන සේ ආරක්ෂිත පිටපත් නිර්මාණය කිරීම සහ “ශීත ගබඩා” තුළ තැන්පත් කිරීම මෙම ආයතනවල ප්‍රමිතිගත ක්‍රියාවලි ගණයට අයත් වගකීම් ය. අප රටේ ජාතික ලේඛනාගාරයේ 2014 සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් නාමයෙන් සිනමා සංරක්ෂණාගාරයක් ලෙස නම් කර ඇති ගබඩාවේ මෙම ප්‍රමිතිගත තත්ත්වයන් දැකගත නොහැකි ය.

ආසියානු රටක් ලෙස ඉන්දියාවේ සිනමා සංරක්ෂණය ප්‍රධාන වශයෙන් ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය (NFAI) සහ ජාතික චිත්‍රපට උරුම මෙහෙයුම (NFHM) යන ආයතන දෙක මගින් සිදු කෙරේ. 1964 දී පිහිටුවන ලද NFAI පුනේ නගරයේ පිහිටා ඇති අතර, එහි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වායු සමනය කළ සංරක්ෂණාගාර 19ක් පවතී. එසේම FIAF ඇතුළු ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ වී පුහුණු වැඩමුළු පවත්වා, දකුණු ආසියානු රටවල සිසුන්ට ද දැනුම ලබා දෙයි.

භෞතික සංරක්ෂණයට අමතරව ඉන්දියාව ඩිජිටල් සංරක්ෂණ ක්‍රමවේදයන් ද භාවිතා කරයි. NFHM යටතේ ප්‍රසිද්ධ සිනමා කෘති  2K සහ 4K තත්ත්වයට ප්‍රතිසංස්කරණය කිරීම, ඩිජිටල්කරණය, නව චිත්‍රපටවල අන්තර්-නෙගටිව් සටහන් කිරීම සහ වෙබ් පදනම් කළ ප්‍රවේශ පහසුකම් සැපයීම සිදු වේ.

ඉන්දියානු රජය සිනමා කෘති  සංරක්ෂණය සඳහා ප්‍රධාන වශයෙන් ජාතික චිත්‍රපට උරුම මෙහෙයුම (NFHM) යටතේ මුදල් වෙන් කරයි. මෙම යෝජනා ක්‍රමය 2014 දී ආරම්භ වූ අතර, මුල් වසර හතකට රුපියල් කෝටි 597ක අයවැයක් නියම කරන ලදී. එයින් සිනමා ප්‍රතිසංස්කරණයට පමණක් රුපියල් කෝටි 363ක් වෙන් විය. එසේම සම්පූර්ණ සිනමා ක්ෂේත්‍රය ආවරණය කරන DCDFC යෝජනා ක්‍රමය යටතේ ද රුපියල් කෝටි 180ක මුදලක් ලබා දුන්නේය. මෙය ලෝකයේ විශාලතම සිනමා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවලින් එකකි.

මෙම අනුග්‍රහය යටතේ NFAI විසින් සිනමා  සෙලියුලොයිඩ් රීල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක තත්ත්ව ඇගයීම සහ විනාශය වැළැක්වීමේ සංරක්ෂණ ක්‍රමවේද සිදු කර ඇත. එසේම ප්‍රසිද්ධ සිනමා කෘති  1145කට වැඩි ප්‍රමාණයක් 2K තත්ත්වයට ප්‍රතිසංස්කරණය කර, සිනමා කෘති 1469කට වැඩි ප්‍රමාණයක් ප්‍රමිතිගත ආකාරයකට  ඩිජිටල්කරණය කර ඇත. 2020 දී DFF, CFSI, Films Division සහ NFAI යන ආයතන NFDC සමඟ ඒකාබද්ධ කිරීමෙන් සම්පත් කළමනාකරණය ශක්තිමත් කර ඇත.

 

ආසියානු සිනමා සංරක්ෂණ බලාපොරොත්තුව 

bambaruawithi4k 

ධර්මසේන පතිරාජ 2017 වසරේදී තමන් සතුව තිබූ “බඹරු ඇවිත්”, “පොන්මනී” සහ “සොල්දාදු උන්නැනේ” සිනමා කෘතිවල සෙලියුලොයිඩ්  රීල් ආසියානු සිනමා සංරක්ෂණාගාරයට තැන්පත් කෙළේ ලංකාවේ සියලු සංරක්ෂණ ව්‍යාපෘති අසාර්ථක වීම හේතුවෙනි. ඔහුගේ වියෝවෙන් පසු 2019දී එම සංරක්ෂණාගාරය විසින් “බඹරු ඇවිත්” සහ 2024 දී “අහස් ගව්ව” ආදී සිනමා කෘතිද  ඩිජිටල් 4K තාක්ෂණයෙන් ප්‍රතිස්ඨාපනය කළේ ය. විනාශ වී යෑමට නියත වූ කෘති ජාත්‍යන්තර සහයෝගිතාව මත සුරක්ෂිත කර ගත හැකි බවට එය කදිම උදාහරණයකි.

දුර්වල ගබඩා තත්ත්ව යටතේ කාලාන්තරයක් වැරදි ලෙස අසුරන ලද “බඹරු ඇවිත්” සිනමා කෘතියේ සෙලියොලොයිඩ් රීල් විවිධ රසායනික සින්ඩ්‍රෝමවලට සහ බැක්ටීරියා මෝල්ඩ් ආසාදනවලට ලක්ව, තද කළු ග්‍රීස්වල ගිලී බුබුළු පෙණ දැමූ අතිශයින්ම විනාශකාරී තත්ත්වයකට පත්ව තිබුණි. එම සෙලියොලොයිඩ් රීල්වලින් දූවිලි සහ සීරීම් ඉවත් කිරීම සඳහා සෑම රූප රාමුවක්ම ශ්‍රමයීයව අතින් සැකසීමට සිදු වූ අතර, රූප ස්ථාවර කිරීම සහ වර්ණ නිවැරැදි කිරීම ද සිදු කළේ ය. අධික ශබ්ද සුමට කිරීම, ස්වර සමතුලිත කිරීම, ඉරිතැළීම් සහ ගැටිති ඉවත් කිරීම යන ශ්‍රව්‍ය-දෘශ්‍ය ප්‍රතිෂ්ඨාපන කටයුතු සිදු කිරීමට පැය 4750 කට ආසන්න කාලයක් වැය වී ඇති අතර, මුළු ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් 250,000 ක පමණ මුදලක් ඇස්තමේන්තු වූ බව සිංගප්පූරු ආසියානු විසිනමා සංරක්ෂණ ආකාරය දක්වයි. ජාත්‍යන්තර වෘත්තීය සිනමා ප්‍රතිෂ්ඨාපන සේවා වෙළෙඳපොළ විශ්ලේෂණයන්ට අනුව, උසස් 4K ප්‍රතිෂ්ඨාපනයකට මිනිත්තුවකට ඇමරිකානු ඩොලර් 2,000-50,000ක් හෝ ඊට වැඩි වියදමක්  විය හැකි ය.

 

ගබඩාකරුවන් ගේ වාණිජවාදය

සංරක්ෂණය වූ කලී තනි-තනි පුද්ගලික උත්සාහ නොව ඒ සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවලින් යුතු පුළුල් ජාතික ව්‍යාපෘතියක අවශ්‍යතාව පවතී. ජාත්‍යන්තර තලයේ සිනමා සංරක්ෂණය සඳහා වසරකට දස දහස් ගණනින් ඩොලර් වියදම් කරන අතර අපගේ රටේ සිනමා සංරක්ෂණය පිළිබඳ අවබෝධය තවමත් ප්‍රාථමික මට්ටමක පවතින බව සැලකිල්ලට ගත යුතු ය. ඒ සඳහා කදිම උදාහරණයක් වන්නේ “පාර දිගේ රිදීවලට දියවීම” ශීර්ෂය යටතේ මා දැක් වූ මුහුණු පොත් සටහනකට පිළිතුරක් දී ඇති හේමප්‍රිය කණ්ඩම්බි නැමැත්තාගේ ප්‍රතිචාරවලිනි.  “බඹරු ඇවිත් හදන්න පැය 4750 ගියාලු. දින කීයක් ද? දින 200 පමණ. ඔබගේ සටහන අනුව ලංකාවේ සිනමා කෘති 100ක් ඩිජිටල් කරන්න අවුරුදු 100 ක් පමණ යනු ඇති.” බවයි.

ලාංකීය සිනමා ඉතිහාසයේ බහුතර සිනමා කෘතිවල සෙලියොලොයිඩ්  රීල් සහ නෙගටිව් පවතින්නේ පෞද්ගලික සංරක්ෂණකරුවන් යැයි තමන්ම හඳුන්වා ගන්නා මෙවන් ඊනියා ගබඩාකරුවන් අත ය. සිනමාවේදීන්ගෙන් නොමිලයේ හෝ ඉතා සුළු මුදලකට ලබාගත් මෙම කෘති යූ ටියුබ් සහ රූපවාහිනී මාධ්‍ය හරහා ප්‍රචාර කරමින් අසීමිත ලාභයක් වාර්ෂික ව ඔවුහු අත්පත් කර ගනිති. ඔවුන්ට ලෝකයේ දියත් වන මහා සංරක්ෂණ ව්‍යාපෘතිවල ස්වභාවය, සිනමාව සංරක්ෂණය සඳහා මෙවැනි සංරක්ෂණාගාර දක්වන සංවේදීත්වය, යොදවන ප්‍රාග්ධනය, සංරක්ෂණය සඳහා ගතවන කාලය සහ ඔවුන් විසින් භාවිත නූතන තාක්ෂණය සිහිනෙන් හෝ පරිකල්පනය කරගැනීමට උවමනාවක් හා අවශ්‍යතාවක් නොමැතිවීම අහඹුවක් නොව අනිවාර්යයකි.

 

කැමරා මගින්ඩිජිටල්කිරීමේ ප්‍රෝඩාව 

සිනමා සෙලියොලොයිඩ්  රීල් පෞද්ගලික ව එකතු කර ඇති ඊනියා ව්‍යාපාරිකයින් කරනුයේ ඒවා වීඩියෝ කැමරා මගින් හෝ වෙනත් පටිගත කිරීමේ ක්‍රමවේද මගින් වීඩියෝ පිටපත් ලබාගෙන සෙලියොලොයිඩ රීල් විනාශ කර දැමීම හෝ රිදීවලට දියකර දැමීම බව සුලභ රහසකි. එලෙස විනාශ කර දැමූ විට ඔවුන් සතු වීඩියෝ පිටපත  පමණක්  අයිතිය ප්‍රකාශ කර ගනිමින් රූපවාහිනී හෝ අන්තර්ජාල හෝ සමාජ ජාලවල ප්‍රචාරණය කර මුදල් උපයාගත හැකි කූට ව්‍යාපාරයකි. ජාත්‍යන්තරව මුල් කෘතියෙන් තවත් පිටපතකට පරිවර්තනය කරන්නේ පවතින හොඳම විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පසුව ය. නොඑසේ නම් එසේ කරන්නේ එය තවදුරටත් විනාශයෙන්  මුදවා කෞතුක වටිනාකමක් සහිත දෙයක් ලෙස ආනාගතයට ඉතිරි කීරීම  සඳහා ය. එහෙත් ලංකාවේ ප්‍රාථමික ලෙස කැමරා මගින් “ඩිජිටල්” කිරීම යනු කිසිදු ආකාරයක නිර්මාණ කෘති සංරක්ෂණ ක්‍රියාවට අයත් දෙයක්  නොව, එයට විනාශය ළඟා කරන හා  “ඩිජිටල්කරණය” යන නූතන විද්‍යාත්මක තාක්ෂණික ක්‍රියා අපහරණය කිරීමකි. නොඑසේ නම්  “ඩිජිටල්කරණය” කිරීම යන්නට කරන මාරාන්තික විහිළුවකි.  ලංකාවේ සිනමා සංරක්ෂණය සම්බන්ධයෙන් මෙලෝ හසරක් නොදන්නා මේ ඊනියා කූට  ව්‍යාපාරිකයන්ගේ එකම අරමුණ මුදල් ඉපයීම පමණි. එවැනි බඩගෝස්තරවාදී වෙළෙන්දන්ට මෙවන් විද්‍යාත්මක “සංරක්ෂණ ක්‍රියාවක” අර්ථය කිම?

ශ්‍රී ලංකාව වර්තමානයේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක, විද්‍යාත්මකව විධිමත් ජාතික සිනමා සංරක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මිලියන ගණනක ආයෝජනය, තාක්ෂණික යන්ත්‍රෝපකරණ, ශිල්පීය පුහුණුව සහ නිරන්තරයෙන් ක්‍රියාත්මක විය යුතු වායු-විධාන පද්ධති යන සියල්ල ක්ෂණිකව ගොඩනැගීම ප්‍රායෝගිකව අපහසු බව ප්‍රතිමුඛ සත්තාවකි. එවැනි තත්ත්වයක සිටින රාජ්‍ය යාන්ත්‍රණයකින් මෙවැනි විද්‍යාත්මක සංරක්ෂණ වැඩ පිළිවෙළක් අපේක්ෂා කිරීම අනුවණ ක්‍රියාවක් වග වඩා ඇත්තකි. නමුත් මෙවැනි විධිමත් සිනමා සංරක්ෂණයක අවශ්‍යතාව වහා ක්‍රියාවට නැංවිය යුතු බව  ඊටත් වඩා ඇත්තකි.  

 

සංරක්ෂණය දෙපයින් හිටවීම

 film preservation v1

දැන් මම මෙතැන් සිට අවධාරණය කිරීමට අදහස් කරන්නේ, එවැනි අධික මිලක් සහිත විධිමත් විද්‍යාත්මක  සිනමා සංරක්ෂණ ක්‍රමවේද සමග සමපාතව අප වැනි ආරථික අර්බුදයක් පවතින රටක වුව ක්‍රියාත්මක කළ හැකි යථාර්ථවාදී උපන්‍යාසයකි.

මෙහිදී අපට ආදර්ශයට ගත හැක්කේ 1982 වසරේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජාතික රූපවාහිනී සේවය ආරම්භ කිරීම සඳහා අනුගමනය කළ රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමය වැනි නිදසුනකි. එනම්, රාජ්‍ය තාන්ත්‍රික සම්මුති හරහා ජාත්‍යන්තර සහයෝගිතාව  ලබාගැනීම මත අපගේ සිනමා කෘති සංරක්ෂණය කර ගත හැකි පරිකල්පිත යෝජනාවකි.

මේ සඳහා පළමුව ප්‍රමුඛත්වය මත සංරක්ෂණය කළ යුතු සිනමා කෘති 100ක්  හඳුනා ගතයුතු ය. එම චිත්‍රපට 100 තෝරා ගැනීමේ දී ප්‍රමුඛතා ලයිස්තුවේ මුල් තැනට විනාශ අවදානම යටතේ රසායනිකව දැඩි ලෙස විඛණ්ඩනය වෙමින් පවතින, වයිනගර් වැනි සින්ඩ්‍රෝම් ඇති සිනමා කෘති 20ක්;

ජාතික උරුමය (ඓතිහාසික) යටතේ ශ්‍රී ලංකාවේ සිනමාව ආරම්භක යුගයේ (1947-1960) නිර්මාණ සහ මුල්ම යුගයේ චිත්‍රපට 20ක්;

ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසිරි බණ්ඩාරනායක, තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර, මහගමසේකර, ධර්මසේන පතිරාජ, එච්. ඩී ප්‍රේමරත්න,  ආදී  කලාත්මක සිනමා පරම්පරාවට අයත් විනාශ වෙමින් පවතින කෘති මෙන්ම එහි ඊළඟ සිනමා දිගුව වන හඳගමලාගේ පරම්පරාවට අයත් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ විනාශමුඛයට යමින් පවතින සිනමා කෘති  ඊළඟ ප්‍රමුඛතා  කෘති 20 ට ඇතුළත් කළ හැකි ය. 

සමාජ-මානව වංශය ද‍ායකත්වය යටතේ ග්‍රාමීය ජීවිතය, අනන්‍යතාවය, ආර්ථිකය, 1971 සහ 1987-89 කාලපරිච්ඡේදය හා ලංකාවේ සමාජ ප්‍රබෝධය සහ දේශපාලනික ඉතිහාසය නිරූපණය කරන චිත්‍රපට 20ක්;

සහ සංස්කෘතික විවිධත්වය යටතේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ යන ජන කණ්ඩායම් නියෝජනය කරන, උප භාෂා සහ ප්‍රාදේශීය සංස්කෘතීන් පිළිබඳ දායකත්වය ඇති කෘති 20ක්, ලෙස යන වර්ගීකරණ ක්‍රමවේදයක් අනුගමනය කළ හැකි ය. මෙම වර්ගීකරණය FIAF & "National Film Heritage”  UNESCO "Memory of the World” මිනුම් වලටද අනුකූල වේ.

දෙවනුව සිනමා සංරක්ෂණය සඳහා සහයෝගී සබඳතා ඇතිකර ගැනීමට ජාත්‍යන්තර වශයෙන් නූතන තාක්ෂණයෙන් සපිරි සංරක්ෂණාගාර  තෝරා ගත යුතු ය.

ලෝකයේ ප්‍රමුඛතම සිනමා සංරක්ෂණාගාර අතරින් රීල් හෝ නෙගටිව්  නූතන ඩිජිටල් තාක්ෂණය යටතේ  ස්කෑන් කර 4k ඩිජිටල් සිනමා පැකේජ (Digital Cinema Package – DCP) බවට පත් කිරීමේ හැකියාව ඇති සංරක්ෂකාගාර 12ක ලැයිස්තුවක් පහත දැක්වේ.

ඉතාලියේ බොලොංඤෝ නගරයේ පිහිටි සිනෙටෙකා ඩි බොලොංඤෝ (Cineteca di Bologna) හෙවත් එල්'ඉමාජින් රිට්‍රෝවාටා (L'Immagine Ritrovata); ඇමරිකාවේ නිව් යෝර්ක්හි ජෝර්ජ් ඊස්ට්මන් කෞතුකාගාරය (George Eastman Museum); ප්‍රංශයේ පැරිසියේ සිනෙමතෙක් ෆ්‍රැන්සේස් (Cinémathèque Française); ජර්මනියේ බර්ලින්හි ඩොයිච් කිනෙමතෙක් – මියුසියම් ෆර් ෆිල්ම් උන්ඩ් ෆර්න්සෙහන් (Deutsche Kinemathek – Museum für Film und Fernsehen); ජපානයේ ටෝකියෝහි නැෂනල් ෆිල්ම් ආර්කයිව් (National Film Archive of Japan); සිංගප්පූරුවේ ආසියානු සිනමා ආර්කයිව් (Asian Film Archive); නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි අයි ෆිල්ම් මියුසියම් Eye Filmmuseum; බ්‍රිතාන්‍යයේ BFI ජාතික සංරක්ෂණාගාරය (BFI National Archive); ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ පිහිටි UCLA චිත්‍රපට හා රූපවාහිනී සරක්ෂණාගාරය (UCLA Film & Television Archive) සහ ඇකඩමි චිත්‍රපට සංරක්ෂණාගාරය (Academy Film Archive); චීනයේ බීජිංහි චීන චිත්‍රපට ආර්කයිව් (China Film Archive); හොංකොං නගරයේ පිහිටි හොංකොං චිත්‍රපට සංරක්ෂණාගාරය (Hong Kong Film Archive) ආදිය ඊට ඇතුළත්  කළ හැකි ය. 

මෙම සියලුම සංරක්ෂණාගාර ජාත්‍යන්තර සිනමා උරුමය රැකදෙන FIAF (International Federation of Film Archives) ජාලයේ සාමාජික ආයතන ලෙස කටයුතු කරයි.

 

උපාය මාර්ගික පියවර හය

මෙම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේ දී පියවර හයක් අනුගමනය කළ යුතු ය.

  • පළමුව, ශාස්ත්‍රඥයින්, සිනමාකරුවන්, ඉතිහාසඥයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් සමන්විත ජාතික සිනමා උරුම අනුමැති කමිටුවක් විසින් ඉහත වර්ගීකරණයට අනුව විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සංරක්ෂණය කළ යුතු සිනමා කෘති 100  නම් කර තෝරාගත යුතු ය.
  • දෙවනුව විනාශ වෙමින් පවතින ලාංකේය සිනමා කෘති 100 සංරක්ෂණය කිරීම සඳහා ඉහත සංරක්ෂණාගාර පිහිටි රාජ්‍යයන් වෙත රාජ්‍යාන්ත්‍රික සබඳතා මගින් ඉල්ලුම් කළ යුතු ය.
  • තෙවනුව, තෝරාගත් සිනමා කෘතිවල සෙලියුලොයිඩ් රීල්වල වර්තමාන භෞතික තත්ත්වය ජාත්‍යන්තර විශේෂඥයින්ගෙන් ඇගයීමට ලක්කළ යුතු ය.
  • සිව්වනුව, සෑම ඉලක්කගත රටකට ම සහ ආයතනයට ම වෙනම යෝජනා ඉදිරිපත් කළ යුතු ය. ශ්‍රී ලංකාව සිනමා රීල් ලබාදීම සහ ඔවුන් ප්‍රතිස්ථාපනය කිරීම, ඩිජිටල් පිටපත් නැවත ලබාදීමේ බැඳීමක්, ශ්‍රී ලාංකීය ශිල්පීන්ටද පුහුණුව ලබාදීමේ නිර්දේශයක් සහ උරුමය පිළිබඳ ඒකාධිකාරී අයිතිය ශ්‍රී ලංකාවටම හිමිවන බවට නීතිමය සහතිකයක් යන අංග මෙහි අන්තර්ගත විය යුතු ය.
  • පස් වෙනුව, ප්‍රතිස්ථාපනය කළ ඩිජිටල් පිටපත් ශ්‍රී ලංකාවට නැවත ලබාගැනීමේ ක්‍රමවේදය සකස් කළ යුතුය. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ විධිමත් 4K/8K ප්‍රදර්ශන පහසුකම් බහුලව නොමැති වුව ද, අනාගතයේ දී ඒවා ගොඩනැගීමේදී ඉහළ ප්‍රමිතිගත ඩිජිටල් මූලාශ්‍ර සඳහා පරිවර්තනය කර තිබීම අත්‍යවශ්‍ය වේ.
  • හයවෙනුව, ජාත්‍යන්තර සංරක්ෂණාගාරවලට තැන්පත් කළ කෘතිවලට ශ්‍රී ලාංකේය පර්යේෂකයින්ට, සිනමාකරුවන්ට සහ සිසුන්ට ප්‍රවේශ වීමේ අයිතිය “විද්‍යාත්මක සහ අධ්‍යාපනික ප්‍රවේශ අනුමතිය” ලෙස ගිවිසුම්ගත කළ යුතුය.

 

රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම

රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් (Diplomatic Mission/Operation) සැලසුම් කිරීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශය (Ministry of Foreign Affairs – MFA) මට්ටමින් “නෝට් වර්බල්” (Note Verbal) නිකුත් කිරීම සහ තානාපති කටයුතු (Ambassadorial/Embassy Operations) වලින් සෘජු සම්බන්ධතා (Direct Contacts) ගොඩනැගීම යන දෙකම වැදගත් ක්‍රමවේද දෙකකි. තානාපති කටයුතුවලින් සෘජු සම්බන්ධතා ගොඩනැගීම, රාජ්‍යන් අතර සංස්කෘතික ගිවිසුම් සකස් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික භාණ්ඩ ලෙස රීල් ප්‍රවාහනය කිරීම යන ප්‍රොටෝකෝලය අනුගමනය කළ යුතු ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉලක්කගත රටවල විදේශ කටයුතු අමාත්‍යාංශවලට නිල රාජ්‍ය තාන්ත්‍රික සන්දේශයක් යැවීමෙන් ශ්‍රී ලංකාවේ සිනමා උරුමය පිළිබඳ ඓතිහාසික සාරාංශය, සංරක්ෂණයට ලක්විය යුතු අවදානමේ මට්ටම, ජාත්‍යන්තර සහයෝගිතාව ඉල්ලා සිටීම සහ “සංස්කෘතික තැන්පතුවක්” ලෙස රීල් තැන්පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ යුතු ය. එක් එක් රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් සංස්කෘතික තානාපති කටයුතු සක්‍රීය කිරීම, සංරක්ෂණාගාරවල ප්‍රධානීන් සමඟ සෘජු හමුවීම් පවත්වා ගිවිසුම් අත්සන් කිරීම සිදුකළ යුතුය. තනි ආයතනික ගිවිසුම්වලට වඩා රාජ්‍ය මට්ටමින් සංස්කෘතික අනුමැතියක් තිබීම වැදගත් අතර, JICA/USAID/අයිඩීබී ආධාර සහ UNESCO ශිල්පීය සහයෝගිතාව යටතේ “Emergency Preservation Fund” සඳහා අයදුම් කිරීම ද සිදුකළ හැකි ය. රීල් ප්‍රවාහනය කිරීමේ දී “Diplomatic Bag” හෝ “Cultural Diplomatic Pouch” ලෙස සැලකීමෙන් රේගු පරීක්ෂාවලින් ආරක්ෂාවීම, විශේෂ රසායනිකව ස්ථිර ඇසුරුම්කරණය සහ උෂ්ණත්ව පාලන කන්ටේනර් භාවිතය සහ රාජ්‍ය තාන්ත්‍රික රක්ෂණය යටතේ රක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ.

සුපිරි ප්‍රතිෂ්ඨාපනය

සෙලියුලොයිඩ් රීල් ජාත්‍යන්තර ආයතනවලට ලැබීමෙන් පසුව ක්‍රියාත්මක වන තාක්ෂණික ක්‍රමවේදය පිළිගැනීම සහ තත්ත්ව වාර්තාව, භෞතික ප්‍රතිස්ථාපනය, 4K ස්කෑනිං, DCP නිර්මාණය සහ ඩිජිටල් රිපැට්‍රියේෂන් යන අදියර තවත් පහකින් සමන්විත වේ. ආයතනය විසින් රීල් පිළිගෙන තාපමානය ස්ථිර කර ගැනීම, pH මට්ටම, නයිට්‍රේට හෝ ඇසිටේට් හඳුනාගැනීම සහ “වයිනගර් සින්ඩ්‍රෝම්” පරීක්ෂාව සිදුකර තත්ත්ව වාර්තාවක් සකස් කර ශ්‍රී ලංකාවට යැවීම පළමු අදියරයි. රසායනිකව විඛණ්ඩනය වූ රීල් සඳහා රසායනික ස්ථායීකරණය, තිරයේ ඇති ඉරිතැළීම්, බුබුළෑම්, වර්ණ විඛණ්ඩනය නිවැරදි කිරීම සහ ශබ්ද ප්‍රතිස්ථාපනය දෙවන අදියරයි. 6K හෝ 8Kවලින් ස්කෑන් කර 4K ඩිජිටල් පිටපතක් නිර්මාණය කිරීම, වර්ණ ශුද්ධීකරණය සහ 24-bit/96kHz මට්ටමින් ශබ්ද ඩිජිටල්කරණය තෙවන අදියරයි. JPEG2000 කේතනය, XYZ වර්ණ අවකාශය, 5.1 හෝ 7.1 surround ශබ්දය, උපසිරැසි සහ KDM ආරක්ෂිත ප්‍රදර්ශන බලපත්‍ර පද්ධතිය ඇතුළත් DCP නිර්මාණය සතරවන අදියරයි. අවසානයේ DCP සහ අනුප්‍රතිරූ ශ්‍රී ලංකාවට රැගෙන ඒම, LTO-9 Tape හෝ Cloud Storage ද්විත්ව තැන්පත් කිරීම සහ “Dark Archive” පද්ධතියක් යටතේ ප්‍රවේශය සීමා කර තබා අනාගත පර්යේෂණ සඳහා පමණක් භාවිතා කිරීම පස්වන අදියර යි.

 

නීතියෙන් සුරැකීම

නීතිමය ආවරණය සහ හිමිකම් සුරක්ෂිත කිරීම Escrow Agreement (විශ්වාස තැන්පතු ගිවිසුම) යටතේ Bailment නීතිමය ක්‍රියාවලියකි. මුල් රීල්වල Legal Ownership සහ Beneficial Title ශ්‍රී ලංකාවට ම රැඳෙන අතර, ජාත්‍යන්තර ආයතනයට Repository Custodian (සංරක්ෂණාගාර භාරකයා) ලෙස පමණක් Fiduciary Duty යටතේ දේපළ තබා ගැනීමට හැකි ය. ඩිජිටල් පිටපත්වල Intellectual Property Rights හා Copyright ශ්‍රී ලංකාව සතු වන අතර, ආයතනයට Non-Exclusive, Non-Transferable Research License යන Limited Access පමණක් ලබා දෙයි. මෙහි දී Ownership හිමිකරුට, Custody භාරකයාට, සහ Use පර්යේෂණාත්මක ප්‍රවේශයට පමණක් සීමා වේ.

මෙම සිනමා කෘති සියය (100) UNESCO ලෝක මතකයේ ලේඛනයට ඇතුළත් කිරීමෙන් ජාත්‍යන්තර නීතිමය ආවරණයක් ලබාගැනීම සහ යුද්ධ, ව්‍යසන හෝ දේශපාලනික වෙනස්කම්වල දී පවා ආරක්ෂාවීම ද සිදුකළ හැකි ය. 4K DCPවලට වෙළඳපොළ වටිනාකමක් ඇති බැවින්, වාණිජ භාවිතයට බාධාවක් නොවන පරිදි නීතිමය රාමුවක් සැකසීම සහ ජාත්‍යන්තර සිනමා  උළෙලවල ප්‍රදර්ශනය කිරීමේදී ශ්‍රී ලංකාවේ අවසරය අවශ්‍ය වීම ද සලකා බැලිය යුතු ය.

 

ක්‍රියාත්මක කිරීමේ පියවර 

මෙය ක්‍රියාත්මක කිරීමේ දී ද තවත් පියවර කිහිපයක් යටතේ විග්‍රහ කළ හැකි ය. රාජ්‍යයක් විසින් ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගිතාවක් සඳහා අනුගමනය කරන ප්‍රමිතිගත පිළිවෙත රාජ්‍ය මට්ටමේ ප්‍රතිපත්ති තීරණය, විදේශ කටයුතු යාන්ත්‍රණය, තානාපති මෙහෙයුම, ආයතනික මට්ටම, ප්‍රජා මට්ටම සහ නිරීක්ෂණ සහ ඇගයීම යන මට්ටම් හයකින් සමන්විත වේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය, ජනාධිපති ප්‍රකාශනය සහ පාර්ලිමේන්තුවට දැනුම්දීම රාජ්‍ය මට්ටමින් සිදුකළ යුතු ය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශය යටතේ විශේෂ ඒකකයක්, තානාපති කාර්යාලවලට විශේෂ උපදෙස් සහ රටවල් අතර නෝට් වර්බල් හුවමාරුව සිදුකළ යුතු ය. තානාපතිවරයා හෝ තානාපතිනිය විසින් ආයතන ප්‍රධානීන් හමුවීම, “Track II Diplomacy” හරහා සිනමා විද්‍යාඥයින් සහ අධ්‍යාපනිකයින් යොදාගෙන සාකච්ඡා සහ සංස්කෘතික සංග්‍රහ අත්සන් යුතුය. ජාතික චිත්‍රපට සංස්ථාව සහ ජාත්‍යන්තර ආයතනය අතර තාක්ෂණික ගිවිසුම්, වාර්ෂික ප්‍රගති වාර්තා හුවමාරුව සහ පර්යේෂකයින් ගේ හුවමාරුව ආයතනික මට්ටමින් සිදුකළ යුතුය. “සිනමා ඩිප්ලොමසිය” ලෙස මාධ්‍යවල ප්‍රචාරය, ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල ශ්‍රී ලාංකේය සිනමා උරුම ප්‍රදර්ශනය සහ විදේශයේ පිහිටි ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ සහභාගීත්වය ප්‍රජා මට්ටමින් සිදුකළ යුතුය. අවසානයේ වාර්ෂිකව ජනාධිපති කාර්යාලයට වාර්තා කිරීම, FIAF සම්මේලනයේ දී ශ්‍රී ලාංකීය නියෝජනය සහ අනාගත චිත්‍රපට සංරක්ෂණය සඳහා ස්ථිර යාන්ත්‍රණයක් ගොඩනැගීම නිරීක්ෂණ සහ ඇගයීමේ ක්‍රියාවලියක් ලෙස සිදු කළ යුතු ය.

මෙහි ප්‍රතිලාභ හා ජයග්‍රහණය ද්විපාර්ශ්විකය. මෙම උපායමාර්ගයේ ප්‍රතිලාභ අතර මූල්‍යමය බර අඩුවීම, තාක්ෂණික පරිසරයට ප්‍රවේශය, ජාත්‍යන්තර පිළිගැනීම සහ අනාගත ප්‍රාග්ධනය ඇතුළත් වේ. රටකට මිලියන ගණනක වියදමක් දැරීමට අවශ්‍ය නොවන අතර, ලෝකයේ නවතම තාක්ෂණයෙන් ප්‍රතිස්ථාපනය කළ හැකිය. ශ්‍රී ලාංකේය සිනමාව ලෝක සිනමා උරුමයේ කොටසක් ලෙස පිළිගැනීම සහ ආර්ථිකය සුව වූ පසුව වුව ද ඩිජිටල් පිටපත් දැනටමත් සුරක්ෂිතව ඇති වාසිය ද ලැබේ.

අවදානම් අවම කිරීම සඳහා මුල් සෙලියුලොයිඩ් රීල් විදේශයේ පවතින බැවින් හදිසි පරීක්ෂණයකට ලක්කිරීම අපහසු නමුත්, ඩිජිටල් පිටපත් සහ විස්තරාත්මක මෙටා-දත්ත ශ්‍රී ලංකාවේ තබාගැනීමෙන් මෙය අවම කළ හැකිය. UNESCO හරහා හෝ FIAF රාමුව යටතේ නීතිමය ගිවිසුම් සකස් කිරීමෙන් රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ආණ්ඩු මාරුවත් සමඟ නතරවීමේ අවදානමකින් තොරව පක්ෂග්‍රාහී නොවන ජාතික ප්‍රතිපත්තියක කටයුතු කළ හැකි ය.

 

පරිත්‍යාගශීලී සංරක්ෂණය

මා විසින්  ඉදිරිපත් කරන ලද මෙම උපායමාර්ගික වශයෙන් ඉදිරිපත් කරන්නා වූ යෝජනාව නව්‍ය යෝජනාවක් නොව, දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන සාර්ථක ආකෘතියකි. ජාත්‍යන්තර සිනමා සංරක්ෂණ ක්ෂේත්‍රයේ මෙම “පරිත්‍යාගශීලී සංරක්ෂණ” ආකෘතිය සාමාන්‍ය සහ පිළිගත් ප්‍රවණතාවකි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ජර්මනිය, ඉතාලිය සහ ජපානයේ සිනමා කෘති  එංගලන්තයේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයට සහ ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලයට ලැබුණු අවස්ථාවේ දී, එම රටවල් විසින් ඒවායේ මුල් සෙලියුලොයිඩ් රීල් ආපසු යැවීමට පෙර, සිය ප්‍රාග්ධනයෙන්ම ඒවායේ මාස්ටර් පිටපත් සහ රෙෆරන්ස් ප්‍රින්ට් නිර්මාණය කරගත්තේය. 1978 වසරේ බ්‍රයිටන් FIAF සම්මේලනයේ දී, එංගලන්තයේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය FIAF සාමාජික සංරක්ෂණාගාරවලට යෝජනා කළේ, ඔවුන් සතු 1900-1906 කාලපරිච්ඡේදයේ සිනමා කෘති තම ආයතනයට යැවීමටත්, තම ප්‍රාග්ධනයෙන් ම ඒවා සංරක්ෂණය කර, දායක ආයතනවලට 35mm ප්‍රින්ට් ලබාදීමටත් එකඟතාව පළ කිරීමටයි. තව ද, ඕස්ට්‍රියාවේ Filmarchiv Austria ආයතනය බෝල්කන් රටවල සිනමා උරුමය සොයාගැනීමට සහ ප්‍රතිස්ථාපනය කිරීමට දැඩි ලෙස උපකාරී වී ඇති අතර, 1911 දී නිපදවූ සර්බියානු සිනමා කෘතියක් ඕස්ට්‍රියාවේ සොයාගෙන, පසුව ප්‍රතිස්ථාපනය කරන ලද්දේ එරට මුදලිනි. මේ අනුව රටවල් අන්‍යෝන්‍යයෙන් එකිනෙකාගේ සිනමා උරුමය සංරක්ෂණය කිරීමේ වගකීම බාරගැනීමේ ඓතිහාසික ප්‍රවණතාවක් පවතින බව පැහැදිලි වේ.

රටවල් පරිත්‍යාගශීලීව දායකත්වය ලබාදෙන අතර, ඔවුන්ට ලැබෙන්නේ “පිටපතක් පමණක්” නොව, බහුමුඛ ප්‍රතිලාභ සමූහයකි. කටාර් රාජ්‍යයේ Doha Film Foundation ආයතනය මගින් මෑත වසරවල දී ජාත්‍යන්තර සිනමා කෘති රැසක් ප්‍රතිස්ථාපනය කර ඇති අතර, කටාර් රාජ්‍යයට සිනමා උරුමයක් නොතිබුණ ද, ඔවුන් තුර්කිය, ඇල්ජීරියාව ඇතුළු රටවල සංරක්ෂණ කටයුතුවලට අනුග්‍රහය ලබාදී ඇත.

මාර්ටින් ස්කෝසෙසේගේ “World Cinema Project” යටතේ Cineteca di Bologna / L'Immagine Ritrovata පරීක්ෂණාගාරයේ දී ශ්‍රී ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “නිධානය” (Nidhanaya, 1973) 2013 දී ප්‍රතිස්ථාපනය නිම වූ අතර එම වසරේම Venice සිනමා  උළෙලේ දී තිරගත විය. රිත්වික් ඝටක්ගේ “ටිටාස් එක්ති නදිර් නාම්” (A River Called Titas, 1973) 2010 මැයි මාසයේ දී නිම කළේ ය; උස්මාර් ඉස්මායිල්ගේ ඉන්දුනීසියානු සිනමා කෘතිය වන “ඇෆ්ටර් ද කර්ෆිව්” (Lewat Djam Malam, 1954) 2012 දී ප්‍රතිස්ථාපනය කරන ලද අතර, සෙනෙගල් නිර්මාණයක්  වන ජිබ්‍රිල් ඩියොප් මැම්බෙටිගේ “ටූකි බූකි” (Touki Bouki, 1973) 2008 දී ලෝක සිනමා ව්‍යාපෘතියේ පළමු එකතුව යටතේ නිම විය. ඉරානයේ බහ්රාම් බෙයිසායිගේ “ඩවුන්පෝර්” (Ragbar, 1972) 2011 දීත්, ලිනෝ බ්‍රොක්කාගේ පිලිපීන සිනමා කෘතියක්  වන “මැනිලා ඉන් ද ක්ලෝස් ඔෆ් ලයිට්” (Maynila, sa mga Kuko ng Liwanag, 1975) 2013 දීත් ප්‍රතිස්ථාපනය නිම කළේ ය. මෙයින් පැහැදිලි වන්නේ, රටවල් තමන්ට සම්බන්ධයක් නැති සිනමා උරුමය සඳහා පරිත්‍යාගශීලීව මුදල් දායකත්වය ලබා දෙන බවයි.

දායක රටවලට ලැබෙන ප්‍රතිලාභ අතරට සාම්ප්‍රදායික බලය (Soft Power), භාවිතා කළ හැකි ය. සාම්ප්‍රදායික බලය යනු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝසප් එස්. නයි (Joseph S. Nye) විසින් 1990 දශකයේ මුල් භාගයේ හඳුන්වා දුන් සංකල්පයකි. ඔහුගේ අර්ථ දැක්වීම අනුව, සාම්ප්‍රදායික බලය යනු: "වෙනත් රටවල් තමන් කැමති ප්‍රතිඵල ලබා ගැනීමට, බලහත්කාරය හෝ මුදල් ගෙවීම් භාවිතා නොකරමින්, ආකර්ෂණය හා ප්‍රේරණය තුළින් බලපෑම් කිරීමේ හැකියාවයි." එමෙන්ම ආයතනික ප්‍රතිරූපය සහ විශ්වසනීයත්වය, පර්යේෂණාත්මක ප්‍රවේශය සහ දත්ත, FIAF සහ UNESCO රාමුව තුළ ප්‍රතිපත්තිමය වාසි සහ අනාගත වාණිජ හා සංස්කෘතික වෙළඳපොළ ඇතුළත් වේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල පර්යේෂණයකට අනුව, UNESCO ලෝක උරුම අඩවි ප්‍රතිස්ථාපනය සඳහා විදේශ ආධාර ලබාදීමෙන් දායක රටවල ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ “තෙවන පාර්ශ්වයක” සහයෝගීතාව වැඩිදියුණු වේ. එබැවින් “පිටපතක් පමණක්” ලැබීම යනු තනිකර පරිත්‍යාගයක් නොව, ද්විපාර්ශ්වික ජයග්‍රහණයක් (Win-Win) බවට පත්වේ. ද්විපාර්ශ්වික ජයග්‍රහණයක් යනු "එකිනෙකාට උපකාර කරමින් ඉදිරියට යෑම" යන මූලධර්මය මත පදනම් වූ උපායමාර්ගික තීරණ ගැනීමේ ක්‍රමවේදයකි. මෙය දිගුකාලීන සාර්ථකත්වයට මග පාදන අතර, පාර්ශ්වයන් අතර විශ්වාසය හා සහයෝගීත්වය ගොඩනැගීමට උපකාරී වේ.

සිනමාව සංරක්ෂණය සඳහා ලංකාව මෙවැනි සංස්කෘතික ව්‍යාපෘතිවල සහාය ලබා ඇති ප්‍රථම අවස්ථාව මෙය නොවේ.  මාර්ටින් ස්කෝසෙසේ ගේ “World Cinema Project” යටතේ Cineteca di Bologna / L'Immagine Ritrovata පරීක්ෂණාගාරයේ දී ශ්‍රී ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “නිධානය” (Nidhanaya, 1973) 2013 දී ප්‍රතිස්ථාපනය. 2019 දී ධර්මසේන පතිරාජගේ “බඹරු ඇවිත්” සිනමා කෘතිය  සහ 2024 දී “අහස් ගව්ව” ආසියානු සිනමා සංරක්ෂණාගාරය විසින්  ප්‍රතිස්ථාපනය කරනු ලැබීම මෙන්ම සුමිත්‍රා පීරිස්ගේ “ගැහැනු ළමයි” (1978) Film Heritage Foundation විසින් 4K DCP ලෙස 2025 දී ප්‍රතිස්ථාපනය කර දීම යනාදිය මෙම ආකෘතියේ වෙනත් මාදිලියක ලාංකේය ඓතිහාසික පූර්වාදර්ශ වේ. එය ජාත්‍යන්තර සිනමා සංරක්ෂණ ප්‍රජාව තුළ දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන පිළිගත් මාර්ගෝපදේශයකි. එමෙන්ම යුරෝපය, ආසියා-පැසිෆික් සහ ලතින් ඇමරිකාව පුරා රාජ්‍යය සිනමා කෘති  සංරක්ෂණය ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස නීතිගත කරමින්, නව ප්‍රතිෂ්ඨාපන හා  ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා සැලකිය යුතු මහජන අරමුදල් නිකුත් කරමින් සක්‍රීය වේ. කෘතිම බුද්ධි (AI) තාක්ෂණය ඒකාබද්ධ කිරීමෙන් ප්‍රතිෂ්ඨාපන ක්‍රියාවලියේ වේගය සහ පිරිවැය කාර්යක්ෂමතාව ඉතා දැඩි ලෙක වැඩිදියුණු වී ඇත. 2025 දී ගෝලීය සිනමා කෘති  ප්‍රතිෂ්ඨාපන සේවා වෙළඳපොළ ඇමරිකානු ඩොලර් මිලියන 894කින් වටිනාකම් වූ අතර, 2034 වන විට එය මිලියන 1,923ක් දක්වා 8.8% වාර්ෂික වර්ධන අනුපාතයකට ළඟා වනු ඇතැයි අනුමාන කෙරේ.

 

ලාංකීය පරමාදර්ශ

159623659 733620463975377 6058288772472809826 n

මීට අමතරව ලාංකීය පරිසරය තුළ ධර්මසිරි බණ්ඩාරනායකගේ “හංස විලක්” (1980) 2021 දී ඉන්දියාවේ Prasad Film Lab, Chennai හිදී digital restoration කර DCP ලෙස තිරගත කළඅතර, එම අධ්‍යක්ෂක ගේ ම “තුන්වෙනි යාමය” (1983) ද 2018 දී DCP ප්‍රතිස්ඨාපනය කර ඇත. ඩී.බී. නිහාල්සිංහගේ “වැලිකතර” සිනමා කෘතිය  DCP ලෙස 2017 දී ප්‍රතිස්ඨාපනය කර ඇති තවත් සිනමා කෘතියකි. ​ 

ධර්මසේන පතිරාජ ගේ සිනමා කෘති ඩිජිටල් තාක්ෂණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රමවත් ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස සැලසුම් කර තිබුණේ “පොන්මනී” සහ “සොල්දාදු උන්නැහේ” යන සිනමා කෘති දෙකයි. ඒ අනුව සිංගප්පූරු  ආසියානු සිනමා සංරක්ෂණාගාරය (Asian Film Archive)  එම කෘති නූතන ඩිජිටල් තාක්ෂණිකව ප්‍රතිසංස්කරණය කිරීමට සූදානම් වූ නමුත්, එකී සෙලෝලොයිඩ් රීල් බහුතරයක රූප රාමු සම්පූර්ණයෙන්ම විනාශවී, දියවී ගිය තත්ත්වයක් පවතින බව හඳුනාගෙන ඇත. මේ සඳහා මිලින්ද පතිරාජ සහ එල්මෝ හැලිඩේ මාස ගණනක් පුරා ශ්‍රී ලංකාවේ සරසවි චිත්‍රාගාර ඇතුළු විවිධ විකල්ප ස්ථානවල “පොන්මනී” සහ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටවල සෙලෝලොයිඩ් රීල් හෝ නෙගටිව් පට පවතී ද යන්න සොයා බැලූ නමුත්, එම උත්සාහ අසාර්ථක විය.

එහෙත්, මෙම ව්‍යාපෘතියේ අනෙකුත් බලාපොරොත්තුව වූයේ “අහස් ගව්ව” සිනමා කෘතියයි. එහි  පිටපත් දෙකක් සරසවි චිත්‍රාගාරයේ සහ නිෂ්පාදක මිත්‍රරත්න හේරත් සතුව පැවති හෙයින්, මිත්‍රරත්න හේරත් සහ චිත්‍රපට සංස්ථාවේ දීප්ත බණ්ඩාර ගේ සහයෝගයෙන්  ආසියානු සිනමා සංරක්ෂණාගාරය වෙත යොමු කිරීමට හැකි විය. ඒවා කොතරම් අබලි තත්ත්වයක පැවතියේ ද යත් මිත්‍රරත්න හේරත්ගේ පිටපත අවුරුදු පනහක් පුරා ඔහු ගබඩා කර සිටියේ  සිය ඇඳ යට ය. සරසවි චිත්‍රාගාරයේ ද පැවති රීල් ඉතා අබලි තත්ත්වයක වූ හෙයින්  සිනෙරික් ලැබ්‍රටරීස් (Cineric Laboratories)  රසායනාගාරයේ දී එම කෘතිය නූතන ඩිජිටල් ප්‍රතෂ්ඨාපනය කිරීමේ දී කෘතිය තැනින් තැන මිනිත්තු 2 තත්පර 56 ප්‍රමාණයක් විඩියෝ දත්ත භාවිතා  කර ඇත.  දිගු කාලයක් ගත්  ගුණාත්මක ප්‍රතිෂ්ඨාපනයෙන් පසුව ප්‍රංශයේ නැන්ටෙස් සහ ලොයර් ඇට්ලන්ටික් නගරවලදී 2025 නොවැම්බර් 21 සිට 29 දක්වා පැවැත්වුණු 47 වන ත්‍රී කොන්ටිනන්ට් සිනමා උළෙලේ (Three Continents Film Festival) ප්‍රදර්ශනය විය. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 150,000ක් පමණ වියදම් කළ බව තක්සේරු කර ඇත. දකුණු ආසියානු අප්‍රසිද්ධ සිනමා සංස්කෘතියකින් ප්‍රතිසංස්කරණය කළ දුර්ලභ කෘතියක සුවිශේෂී අවස්ථාවක් ලෙස එය හඳුන්වනු ලැබී ය. මෙම නව ඩිජිටල් පිටපතේ ශ්‍රී ලාංකික මහජන ප්‍රදර්ශනය නොබෝදා එනම්, 2026 අගෝස්තු 9 වන දින කොළඹ තරංගනී ශාලාවේ දී පැවැත්වුණි.

ධර්මසේන පතිරාජ ගේ සිනමා කෘති ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ඊළඟ අරමුණ වූයේ “පාර දිගේ” සිනමා කෘතියයි.  එය මේ ලිපියේ ආරම්භය සඳහන් කළ පරිදි මේ වන විට අසාර්ථක වී හුදු රිදී බවට පත් කර ඇත.

 

ස්ථානෝචිත නිර්දේශය

ශ්‍රී ලංකාව වැනි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින රටකට, භෞතිකව නූතන ප්‍රමිති ගත සිනමා සංරක්ෂණාගාරයක් ඉදිකිරීමේ අපහසුතාව තුළදීත්, අපගේ සිනමා උරුමය රැකගැනීමට මෙම පරිකල්පිත “සිනමා ඩිප්ලොමසිය” උපායමාර්ගය ක්‍රියාත්මක කළ හැකි ය. මෙයින් අර්ථ දක්වන්නේ අපගේ ස්වාධීනත්වය අත්හැරීමක් නොවේ. ප්‍රතිලෝමව, අපගේ සිනමාව ලෝක උරුමයේ කොටසක් ලෙස පිළිගැනීමට ඉඩ සලසා, එය ආරක්ෂා කර ගැනීමේ වගකීම ලෝකය සමග බෙදා හැරීමකි. ජාත්‍යන්තර සිනමා සංරක්ෂණ ප්‍රජාව තුළ මෙම උපක්‍රමය සාර්ථකව පරීක්ෂාවට ලක්ව ඇත. රටවල් පරිත්‍යාගශීලීව දායකත්වය ලබාදෙන අතර, ඔවුන්ට ලැබෙන්නේ පිටපතක් පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රතිරූපය, පර්යේෂණාත්මක දත්ත සහ සංස්කෘතික බලපෑම යි.

මගේ යෝජනාව වන්නේ, මෙම පරිකල්පිත ආකෘතිය  රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ලෙස ශ්‍රී ලංකාවේ  ජනාධිපතිවරයාගේ  මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළයුතු කඩිනම් අත්‍යවශ්‍ය සේවාවක් බවයි. එසේ නොකළහොත්, අපගේ ඓතිහාසික සිනමා උරුමය ඇස් ඉදිරියේ විනාශවීම කිසිසේත් ම වැළැක්විය නොහැකි ය.

 

 

 

 

 

 

මාලක දේවප්‍රිය

(සිනමාවේදී)

මූලාශ්‍ර - divaina.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න