Image

ගීතයෙන් දහම් පණිවිඩය සමාජගත කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ

ගීතයෙන් දහම් පණිවිඩය සමාජගත කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ

බෞද්ධ සමාජයටත්, සිංහල සුගම ගීත සාහිත්‍යයටත්, ජාතික සංස්කෘතික ජීවිතයටත් අමරණීය මෙහෙවරක් ඉටු කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණෝ 2026 අගෝස්තු 18 වැනි දින අපවත් වූහ. උන්වහන්සේ ගේ අපවත්වීම බෞද්ධ සමාජයට පමණක් නොව සිංහල ගීතය, සාහිත්‍යය, සංගීතය සහ මාධ්‍ය ක්ෂේත්‍රයට ද පිරවිය නොහැකි හිස්තැනක් නිර්මාණය කළ සුවිශේෂී අහිමිවීමකි.

එක් දශකයකට සීමා නොවූ ජනප්‍රියත්වය

රඹුකන සිද්ධාර්ථ හිමියන් ගේ ජීවිතය විශේෂ වන්නේ උන්වහන්සේ භික්ෂුවක් ලෙස දහම දේශනා කිරීමෙන් ඔබ්බට ගොස්, සාහිත්‍යය සහ සංගීතය යනාදි ජනප්‍රිය කලා මාධ්‍ය භාවිත කරමින් බෞද්ධ දර්ශනය ඇති දහම් කරුණු  ජනතාවගේ සිත් තුළට සමීප කළ නිසා ය. ගීතය හුදෙක් විනෝදාස්වාදයක් නොව, මිනිස් සිත සන්සුන් කිරීමටත්, යහපත් ජීවන වටිනාකම් ඇති කිරීමටත්, සමාජයට යහපත් පණිවිඩයක් ලබාදීමටත් හැකි ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් බව උන්වහන්සේ තම නිර්මාණ ඔස්සේ ප්‍රායෝගිකව පෙන්වා දුන්හ. 

778817088 122109322041424802 570601643186690541 n

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත රචනා කලා දිවියේ විශේෂ ජනප්‍රියත්වයක් අත්කර ගත්තේ 1980 දශකයේ අගභාගයේ සිට 1990 දශකය දක්වාය. “ලා දලු බෝ පත්”, “කඳුළු පැන් කෙණ්ඩියක්”, “මේ ඉර හඳ”, “සඳ වතුරක් සේ”, “සෙනෙහස පුදා” යනාදි ගීත මෙන්ම “සඳකඩ පහණ” චිත්‍රපටයට රචනා කළ “පෙර සංසාරේ” ගීතය ද එම යුගයේ උන්වහන්සේ ගේ ගීත රචකත්වයට විශේෂ ජනප්‍රියත්වයක් සහ කලාත්මක ඇගයීමක් ලබා දුන්නේය. විශේෂයෙන් 1989 සරසවි සම්මාන උළෙලේ “පෙර සංසාරේ” හොඳම සිනමා ගීතය ලෙස සම්මානයට පාත්‍ර වීම එහි සුවිශේෂී සන්ධිස්ථානයකි. 2000 දශකයට පැමිණෙන විටද උන්වහන්සේ ගේ නිර්මාණාත්මක සහ සාහිත්‍ය මෙහෙවර අඛණ්ඩව පැවති අතර, 2006 වසරේ “සසර දනව්ව” කෘතිය වෙනුවෙන් හොඳම ගීත එකතුව සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කර ගැනීම එයට කදිම සාක්ෂියකි. ඒ අනුව උන්වහන්සේගේ ගීත නිර්මාණ ජනප්‍රියත්වය එක් දශකයකට සීමා නොවී 1980 දශකයේ අගභාගයේ සිට 2000 දශකය දක්වා පරම්පරා ගණනාවක රසිකයන් අතර පැවති බව පැහැදිලි වේ.

 

අධ්‍යාපනයට සාහිත්‍ය ලෝකයට

1950 මැයි 22 වැනි දින උපන් බව සඳහන් වන උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය තුළින් බෞද්ධ දැනුම හා භාෂා සාහිත්‍යය පිළිබඳ ශක්තිමත් පසුබිමක් ගොඩනගා ගත්හ. පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ ගෞරව උපාධියක් ලබාගත් උන්වහන්සේ ජනමාධ්‍ය අධ්‍යයනය ද හැදෑරූහ.

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ සහ නවයුගය යනාදි ප්‍රකාශන සමග සම්බන්ධ වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදීන් සහ සාහිත්‍යකරුවන් ඇසුරු කිරීමෙන් ලද අත්දැකීම් උන්වහන්සේගේ නිර්මාණශීලීත්වය තවදුරටත් වර්ධනය කිරීමට හේතු විය. එම නිසා උන්වහන්සේ තුළ භික්ෂුවක ගේ දහම් දැනුමත්, සාහිත්‍යකරුවකු ගේ භාෂා රසයත්, මාධ්‍යකරුවකු ගේ සන්නිවේදන අවබෝධයත් එකට එක්විය.

 

ගීතය තුළින් බුදුදහම

රඹුකන සිද්ධාර්ථ හිමියන් ගේ නිර්මාණවල විශේෂත්වය වූයේ බුදුදහම දේශනාත්මක ස්වරූපයකින් පමණක් ඉදිරිපත් නොකිරීම යි. බුදුදහමේ කරුණාව, මෛත්‍රිය, අනිත්‍යතාව, සෙනෙහස, පරිත්‍යාගය සහ මනුෂ්‍යත්වය යනාදි වටිනාකම් මිනිස් ජීවිතයේ සංවේදී අත්දැකීම් සමග සම්බන්ධ කර ගීත බවට පත් කිරීමට උන්වහන්සේ සමත් වූහ.

“ලා දලු බෝ පත්” යන නිර්මාණ තුළින් සිදුහත්–යශෝධරා සම්බන්ධතාව යනාදි බෞද්ධ සාහිත්‍යයේ සංවේදී අවස්ථා සාමාන්‍ය ජනතාව ගේ හදවතට සමීප කළහ. එවැනි ගීත තුළ බෞද්ධ කතා පමණක් නොව, මනුෂ්‍ය සෙනෙහස, කැපවීම සහ අවබෝධය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් ද අන්තර්ගත වේ.

“කඳුළු පැන් කෙණ්ඩියක්”, “මේ ඉර හඳ”, “සඳ වතුරක් සේ”, “සෙනෙහස පුදා” සහ “ඔබත් මාත් අතරේ” යනාදි නිර්මාණ ඔස්සේ ද උන්වහන්සේ ගේ ගී පද රචනයේ සරල බව, සංවේදී බව සහ කාව්‍යමය ගුණය මැනවින් ප්‍රකාශ විය.

 

සිනමා ගීතයෙන් ලැබූ ජාතික ඇගයීම

“සඳකඩ පහණ” චිත්‍රපටය වෙනුවෙන් රචනා කළ “පෙර සංසාරේ” ගීතය උන්වහන්සේ ගේ නිර්මාණ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ටී. එම්. ජයරත්න සහ මාලිනී බුලත්සිංහල ගායනා කළ එම ගීතයට ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතය නිර්මාණය කළේය. එය 1989 සරසවි සම්මාන උළෙලේ හොඳ ම සිනමා ගීතය ලෙස සම්මානයට පාත්‍ර වීම පැවිදි නිර්මාණකරුවකු ගේ කලා හැකියාවට ලැබුණු විශිෂ්ට ඇගයීමකි.

උන්වහන්සේ ගේ නිර්මාණශීලීත්වය ගීත රචනයට පමණක් සීමා නොවීය. 2006 වසරේ “සසර දනව්ව” කෘතිය වෙනුවෙන් හොඳම ගීත එකතුව සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කර ගැනීම උන්වහන්සේගේ සාහිත්‍ය මෙහෙවරට ලැබුණු වැදගත් රාජ්‍ය ඇගයීමකි. ජාතික සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමෙන් ද උන්වහන්සේ සිංහල සාහිත්‍යයේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් දායක වූහ.

 

ජාතික මෙහෙවර සහ මාධ්‍ය භාවිතය

775904748 1584416669716331 4747305743266538208 n

රඹුකන සිද්ධාර්ථ හිමියන් ගේ නිර්මාණ ජාතික ජීවිතයේ විවිධ ක්ෂේත්‍ර වෙත ද විහිදී තිබිණි. ශ්‍රී ලංකා යුද හමුදා ගීයේ පද රචනයට ද උන්වහන්සේ දායක වූහ. එමගින් ආගමික සහ බෞද්ධ ගීත ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් ජාතික හැඟීම, රට පිළිබඳ වගකීම සහ අනන්‍යතාව ප්‍රකාශ කරන නිර්මාණයකට ද තම දායකත්වය ලබා දුන්හ.

රූපවාහිනිය සහ ගුවන්විදුලිය යනාදි ජනමාධ්‍ය ද උන්වහන්සේ දහම් සහ සංස්කෘතික පණිවිඩ සමාජගත කිරීම සඳහා සාර්ථකව භාවිත කළහ. “යතිවර පූජා” යනාදි වැඩසටහන් සමඟ සම්බන්ධ වීමෙන් නූතන මාධ්‍ය අවකාශය තුළ බෞද්ධ සංස්කෘතික අන්තර්ගතයට ද ඉඩක් ලබා දීමට දායක වූහ.

 

ජාතක කතා නූතන පරපුරට

බුදුදහමේ සදාතනික පණිවිඩ නූතන පරපුරට සමීප කිරීම සඳහා ජාතක කතා ශ්‍රව්‍ය පොත් ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වීම ද උන්වහන්සේගේ මාධ්‍ය මෙහෙවරේ තවත් වැදගත් අංශයකි. සාම්ප්‍රදායික දහම් සාහිත්‍යය නව තාක්ෂණික මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත ගෙන යෑම මගින්, විශේෂයෙන් නව පරපුරට බෞද්ධ කතා සහ සදාචාරාත්මක පණිවිඩ සමීප කිරීමට එය උපකාරී විය.

 

අමරණීය වන නිර්මාණ උරුමය

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ගේ ජීවිතය එක් භික්ෂුවක ගේ ජීවන චරිතයකට පමණක් සීමා කළ නොහැකි ය. එය බුදුදහම, භාෂාව, සාහිත්‍යය, සංගීතය, සංහතික මාධ්‍ය සහ ජාතික සංස්කෘතිය එකිනෙක සම්බන්ධ කරමින් ගොඩනැඟූ පුළුල් සමාජ මෙහෙවරකි.

උන්වහන්සේ අපවත් වුව ද උන්වහන්සේ ගේ හඬ ගීත තුළින් ද, අදහස් සාහිත්‍යය තුළින් ද, දහම් පණිවිඩය ජනතාව ගේ සිත් තුළින් ද තවදුරටත් ජීවමාන වනු ඇත. ගීතයෙන් මිනිස් සිතට ළං වූත්, ගීතය තුළින් දහම් පණිවිඩය සමාජගත කළත් මේ යතිවරයාගේ නිර්මාණ උරුමය අනාගත පරපුරට ද වටිනා ආලෝකයකි.

ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයටත්, සිංහල සුගම ගීතයටත්, සාහිත්‍යයටත් මෙන් ම ජාතික සංස්කෘතික ජීවිතයටත් කළ අමිල මෙහෙවර වෙනුවෙන් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණෝ වෙත අපගේ ගෞරවය පුද කරමු.

 

WhatsApp Image 2026 08 19 at 2.52.16 PM

 

 

 

බුදුගල ජිනවංස හිමි – දර්ශනපති

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න