Image

නියම යුද්ධය ආරම්භ වන්නේ 2028 වසරේ - රනිල් වික්‍රමසිංහ

නියම යුද්ධය ආරම්භ වන්නේ 2028 වසරේ - රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය වසර දෙකක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වැඩිකර ගැනීමට කිසිඳු වැඩපිළිවෙලක් නැති පසුබිම යටතේ නියම යුද්ධය ආරම්භ වන්නේ වසර 2028 අවසානයේදී යයි Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ දී පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (18) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ පැවති, හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත "යුධ දෙකකට උර දී" ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයේ දී ය.

එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ…

මමත් ඔබතුමාට ඡන්දය දුන්නා

''රංජිත් ගේ මේ පොතේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් මම විපක්ෂයේ එතුමා ආණ්ඩු පක්ෂයේ. දෙවැනි කොටසේ අපි දෙන්නම ආණ්ඩු පක්ෂයේ. විශේෂයෙන් ම රංජිත්ට මං හිතන්නේ අර තුන්කෝරලේ තියෙන ලෙඩේ තියෙනවා. ඒ තමයි එන්.එම්. පෙරේරායි මෙතුමයි දෙන්නම මුදල් අමාත්‍යාංශයේ හිටියා.

පළවෙනි කොටස ගැන මං කියන්න, කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ කාලයේ දී ඔබතුමා විශාල සේවයක් කළා. ඒක පිළිගන්නවා. ඒකයි විටින් විට ඔබතුමාට පාර්ලිමේන්තුවේ ඉඳන් ප්‍රශ්න කරලා, බැනලා කරන්න පටන් ගත්තේ. දෙවෙනි කොටසේ ඇත්ත වශයෙන් ම ඔබතුමා එක්ක තමයි ඒක ආරම්භ වුණේ. ඉස්සෙල්ලා ඔබතුමා නියෝජ්‍ය කථානායකකමෙන් අයින් වෙලා ආවහම අපි තීරණය කළා ඔබතුමාට ඡන්දය දෙන්න, නැවත නියෝජ්‍ය කථානායක කරන්න. විපක්ෂය බෙදුණා. මං කොහොමහරි ඔබතුමාට ඡන්දය දුන්නා. ඊට පස්සේ ඔබතුමා ගේ ආරාධනාව පිළිඅරගෙන ආවා මේ විවාහ මංගල්‍යයට. එතැන ඉඳන් තමා අපි දෙන්න ම ඉතිහාසය හැදුවේ. නගරසභාවේ ඔක්කොම එතැන ඉඳන්. මට ගෙදර යන්න පුළුවන් වුණේ හතට විතර. යනකොටත් පාර දිගටම හිටියා අපේ නගර සභාවේ මන්ත්‍රීවරු. මං යන එක ආරක්ෂා කරන්න. නමුත් මේ අර්බුදය ඊට ඉස්සෙල්ලා හැදුණ එකක්. අලුත් එකක් නෙමෙයි. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ආදායම් නැති වුණා. අපිට IMF සංවිධානයත් එක්ක තියෙන ගිවිසුම කැඩුණ නිසා ආපහු ගිහින් උපදෙස් ලබාගන්න බැරි වුණා. මේක විසඳගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්.

 

අපි IMF කියන මාර්ගයේ අපි ගියේ නැහැ

ඒත් තද තීරණ ගන්න ඕනේ. ඉතින් වෙන කවුරුත් නැති තැන මාව අරගෙන දැම්මා. මට ඇවිල්ලා ඇතැම් අය කිව්වා "මේක ගන්න එපා, තමුන්නාන්සේ පල්ලෙහාට යයි" කියලා. මං කිව්වා "මොකක්ද ඕක ඉතින් පැදුරෙන් බිමට වැටෙන්න දෙයක් නැහැනේ, කොහොමත් හිටියේ එතැනනේ." එතැනින් පටන්ගෙන තමයි මේ ගමන ආවේ. මේ ප්‍රශ්නය විශේෂ එකක් නෙමෙයි. මේ ප්‍රශ්නයේ තිබුණේ ප්‍රධාන වශයෙන් ම අපේ ආදායම මදි. ඊට ඉස්සෙල්ලා ආදායම අඩු කරගත්තා. කොහේ හරි බදු අඩු කරලා, එතැනින් අර්බුදය ආවා. ඒ ප්‍රධාන අර්බුදය. ඊට පස්සේ තියෙන්නේ කොහොමද ණය ගෙවන්නේ කියන එක. ඒ දෙවෙනි ප්‍රශ්නය. ඔය දෙක තමයි විසඳන්න තිබුණේ. ඒ ප්‍රශ්න ඉස්සරත් තිබුණේ නැද්ද, අපි IMF එකට ගිහින් තියෙනවා. ඒත් IMF කියන මාර්ගයේ අපි ගියේ නැහැ. අපේ මාර්ගයේ යන්න IMF එකේ උදව් අරගත්තා. ඒක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේ ඉඳන් සිදුවෙලා තිබෙනවා. ඊළඟට තිබුණේ අපේ ණය ගෙවන එක කල් දාගන්න එක. එතැනදී තමයි IMF ආධාර ඇත්ත වශයෙන්ම අපිට උවමනා වුණේ. IMF එක එක්ක ගියා නිසා අපිට ඩොලර් බිලියන 2.3ක් විතර ලැබුණා මේ කාලය තුළ දී. ඒ වගේම අපේ ණය ගෙවන එක කල් දාගන්න ආධාර උපකාර ලැබුණා. ඉතින් තනියම මේ ගමන යනවාද, නැත්නම් මේ බත් මුලයි කුඩයයි අරගෙන යනවාද කියලා තීරණය කරන්න තිබුණා. එතැන තිබුණේ බත් මුලයි කුඩයයි අරගෙන ඒ ගමන යන්න. ඒක අමාරු ගමනක්.

 

අපි, රටේ ආර්ථිකය කඩා වැටෙන එක නවත්තගත්තා

ඉස්සෙල්ලම තිබුණේ, මං අමාත්‍යාංශය භාර අරගෙන, දැන් මොකක්ද කරන්නේ? ජනාධිපතිකම විතරක් නෙමෙයි තවත් අමාත්‍යාංශ තියෙනවා. ඉතින් මේ අමාත්‍යාංශය ගෙනියන්න හොඳ විශ්වාසදායක, පළපුරුදු අය උවමනා වුණා. ඒ අමාත්‍යාංශවලට මං එක එක ඇමතිවරු පත් කළා. මේ අමාත්‍යාංශයට අපිට දෙන්නෙක් ආවා, ඒ තමයි රංජිත් සියඹලාපිටිය ඇමතිතුමායි, ෂෙහාන් සේමසිංහ ඇමතිතුමායි.

දැන් රංජිත් සියඹලාපිටිය මැතිතුමාට අමාරුම දේ මං භාරදුන්නා. ඒ තමයි මේ වැඩකටයුත්ත කරන්න නම් අපිට ආදායම් වැඩි කරගන්න වෙනවා. ආදායම් වැඩි කරනකොට බැණුම් අහන්න තියෙනවා. ඒ වැඩි කරපු ආදායම් එකතු කරන්න තියෙනවා. එතැනින් තමයි ගොඩ එන්නේ. නැත්නම් ගොඩ එන්න බැහැ.

ඒ නිසා විශේෂයෙන් ම එතුමාට තමයි ඒ අමාරු වැඩකටයුත්ත භාරදීලා, ඒ එක්ක ම විශේෂයෙන් ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත්, ඒ වගේම රේගුවත්, සුරාබදු එකත්, මේ ඔක්කොම භාරදුන්නා. දැන් කොහොමද මේ වැඩකටයුතු එකතු කරගෙන යන්නේ කියලා මම බැලුවා. පාර්ලිමේන්තුවට මුහුණ දෙන්න වුණෙත් එතුමාට. ඇයි බඩු මිල වැඩි වෙලා, නැත්නම් බදු වැඩි වෙලා, ඉතින් රටට ගිහින් කියන්න තියෙන්නෙත් මෙතුමාට. පාර්ලිමේන්තුවේ බැණුම් අහන්න තියෙන්නෙත් මෙතුමාට. කොහොමහරි එතුමා එක්ක තව කණ්ඩායමක් හිටියා. මෙතන ඉන්නවා මේ ඇමතිවරු එහෙම, අපි එක්ක වැඩ කරපු අය. ඒ අයත් එක්ක එකතු වෙලා කොහොමහරි මේ ගමන ගියා. ඉස්සෙල්ලම තිබුණේ මේ රටේ ආර්ථිකය කඩා වැටෙන එක නවත්තගන්න. අපිට ඒක පුළුවන් වුණා. රුපියලේ ස්ථාවර භාවයක් අපි ඇති කළා.

අපිට පොහොර දුන්නෙ සමන්තා පවර්

ඇත්ත වශයෙන් ම සිංහල අවුරුදු වෙනකොට යම්කිසි ස්ථාවර භාවයක් ආවා. එකක් කියන්න ඕනේ, එතකොට අපිට බත් පැකට් එක තිබුණේ නැහැ. මොකද IMF එකේ බත් පැකට් එක ආවේ අප්‍රේල් මාසයේ දී. අපි ඒ කාලේ ගියේ මෝදි අගමැතිතුමාට පින්සිද්ධ වෙන්න, එතැනින් දුන්නා අපිට ඉන්දියාවෙන් බඩු ගන්න කියලා ඩොලර් බිලියන හතරක්. ඒක නොතිබුණා නම් අපි අමාරුවේ. ඒකෙන් තමයි බඩු භාණ්ඩ ගත්තේ. බංග්ලාදේශයෙන් ෂෙයික් හසීනා අගමැතිතුමිය අපිට ඩොලර් මිලියන 100ක් දුන්නා. ඒකත් ලොකු එකක් ඒ කාලේ. අපි ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා, ජපානයේ ආධාර එක්ක අපිට දීලා තිබුණ මුදල් එක එක ව්‍යාපෘතිවලින්, අපි ඒ අයට කිව්වා වැදගත් වූ ව්‍යාපෘති කුමක්ද, වැදගත් නොවන ඒවා කුමක්ද කියලා වැදගත් නොවන ඒවා හඳුන්වලා දුන්නාම, ඒ මුදල් ටික අපිට දුන්නා වෙනත් වැඩකටයුතුවලට යොදවන්න. එතැනින් ඩොලර් මිලියන 600ක් හම්බවුණා.

ඊළඟ කන්නයට විශේෂයෙන් ම පොහොර ලබාගන්න, හැමදාම ඇවිල්ලා අමරවීර ඇමතිතුමා අඬනවා පොහොර නැත්නම් මොකුත් කරන්න බැරි වෙනවා කියලා. එතනදී ගිහින් මං දැනගෙන හිටියා ඇමරිකාවේ USAID එකේ ප්‍රධානියා සමන්තා පවර් මැතිනිය, මංගල සමරවීර මැතිතුමා එක්කත් එතුමිය මිත්‍ර වෙලා හිටියා. මං කිව්වා එතුමියට "මං හිරවෙලා තියෙන්නේ, මට පොහොර ටිකක් දෙන්න" කියලා. ඉතින් ඩොලර් මිලියන 50ක පොහොර දුන්නා. ඒකෙන් තමයි ඒ කන්නය අපි බේරගත්තේ.

 

2026 ඉඳන් 2028 වන විට ඩොලර් බිලියන 15කට යා යුතුයි

ඔන්න ඔහොම තමයි ගියේ සිංහල අවුරුද්ද වෙනකන්. ඊට පස්සේ ඉතින් මේ මුදල් එන එකෙන් ටිකෙන් ටික ආර්ථිකය ස්ථාවර වුණා. ඇත්ත වශයෙන්ම ජූලි වෙනකොට අපි දන්නවා ආර්ථිකයේ දැන් කඩාවැටීම ඉවරයි, දැන් තියෙන්නේ ආර්ථිකය දියුණු කිරීම කියලා. ඒ වර්ධනය වීම, ඒ වගේම අපි ඉදිරියට ගෙනගියා. ඒ ගමන තමයි මෙතන තියෙන්නේ. ඒ ගමනින් තමයි විශේෂයෙන්ම අපි අපේ රට බංකොලොත්භාවයෙන් ඉවත් කළේ. ඒකට සම්බන්ධ වුණ සියලුදෙනාට ම මම ස්තූතිවන්ත වෙන්න ඕනේ. මේ ගමන මෙතැනින් අවසාන වෙලා නැහැ. මෙතන ස්ථාවර භාවයක් ඇති කරලා ණය ගෙවන එකේ කල් ඉල්ලුවේ, අපිට නැවත ණය ගෙවන්න තියෙනවා. අපි දැන් පළවෙනි රවුම අවසන් කරලා ඉවරයි. දැන් දෙවෙනි වටය ආරම්භ කරන්න තියෙනවා. විශේෂයෙන්ම අපිට පුළුවන් වුණා රටවල් එක්කත් කතා කරලා මේ ණය ගෙවන එක 2028 වෙනකන් කල් දාගන්න. 2028න් පස්සේ අපිට ණය ගෙවන්න තියෙනවා. අන්න එතැනදී තමයි දැන් අපිට මුහුණ දෙන්න තියෙන්නේ. මේකයි අපේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය. සමහරු හිතුවා මේ අපේ ආර්ථිකය කඩාවැටීම නැවැත්වූ නිසා, වර්ධනය තිබුණ නිසා ප්‍රශ්නය ඉවරයි කියලා. දැන් අපේ ණය ආපහු ගෙවන්න කල් ඉල්ලුවා. අපිට 2028 වෙනකන් කල් දුන්නා අපේ මුදල් හොයාගෙන ආපහු ණය ගෙවන්න කියලා. 2028 වෙනකොට, අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විතර තියෙයි කියලා. දැනට තියෙන්නේ හයයි. දැන් අපිට තියෙනවා 2026 ඉඳන් 2028 වෙනකොට ඩොලර් බිලියන 15කට යන්න. ඒ කියන්නේ ඩොලර් බිලියන හතක් හොයන්න තියෙනවා. මහ බැංකුව කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන අටක් තියෙයි කියලා. ඉතින් ඩොලර් බිලියන අටක් තියෙනවා නම් තව හතක් හොයන්න තියෙනවා. කොහෙන්ද ඒක එන්නේ?

අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය. අපි කොහොමද ඩොලර් බිලියන හත හොයාගන්නේ? කොහොමද ගෙවන්නේ? අපිට ඩොලර් බිලියන 3.2ක් ගෙවන්න තියෙනවා. ඒ නිසා තව කොන්දේසියක් පැනවෙලා තියෙනවා. ඒක ගෙවන තෙක්ම අපි බැඳුම්කර දානවා කියලා තව ඩොලර් බිලියන තුනකට. ඇයි අපි ලඟ ඩොලර් බිලියන එකහමාරයි, එකහමාරේ බැඳුම්කර දෙකක් දානවා.

 

අලුත් ආර්ථිකයක් නැතුව මේ මුදල් හොයන්න බැහැ

කොහොමද මේක කරන්නේ? මේක කළේ නැත්නම් මොකක්ද වෙන්නේ? අපි අමාරුවේ වැටිලා තියෙන්නේ ගෙවන්න. අපිට විදේශ රටවල්වලින් 2043 වෙනකන් කල් දුන්නා ඒවා ගෙවන්න. ඒත් අපි මේක ආරම්භ කරන්න තියෙනවා. 2027 මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසන් වෙනවා. අපි කොහොමද ඉදිරියට යන්නේ? IMF එකට එකතු වෙලා යනවාද? නැතුව යනවාද? ආණ්ඩුවේ වැඩසටහන කුමක්ද?  අපි ආණ්ඩුවේ ඉන්නකොට, අනාගත ආර්ථික වර්ධනය ඇති කරන්න නීති කිහිපයක් ඉදිරිපත් කළා. මහ බැංකු පනත, රාජ්‍ය මුදල් පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, ඒ වගේම ආර්ථික පරිවර්තන පනත. ඔය හතරෙන් ආවේ. තුනකින් ස්ථාවර භාවයයි, අනෙකෙන් රට දියුණු කරන්නයි. අලුත් ආර්ථිකයක් නැතුව මේ මුදල් හොයන්න බැරි වෙනවා. ආණ්ඩුව මාරු වුණාහාම අලුත් ආණ්ඩුව තීරණය කළා ආර්ථික පරිවර්තනය කරන්නේ නැහැ කියලා. ඒත් ඒ වෙනුවට වෙනත් යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ. IMF සංවිධානයෙත් ඒවා ගැන කතා කරන්නේ නැහැ. අන්න එතැනයි ප්‍රශ්නය තියෙන්නේ. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය අපි කොහොමද ආපහු ණය ගෙවන්නේ? ව්‍යවස්ථා සංශෝධනය කරලා මන්ත්‍රී කාලය දික් කරනවා ද, අඩු කරනවා ද, වැඩි කරනවා ද කියන එක නෙමෙයි. අපේ අවධානය මෙතැනට යොමු වෙන්න ඕනේ. තාම පාර්ලිමේන්තුව ඇතුළෙවත්, පාර්ලිමේන්තුවෙන් පිටවත් මේ ගැන කතා කරන්නේ නැහැ. ප්‍රශ්නය ආවාම මොකක්ද කරන්න යන්නේ? අපිට ගෙවන්න බැරි නම් ආපහු අපි බංකොලොත් වෙනවා.

 

තුන්වෙනි යුද්ධය ගැන ලිවිය යුතුයි

මේක ගැන තමයි මමයි සියඹලාපිටිය ඇමතිතුමයි දැනුත් ඇතුළට එන ගමන් කතා කර කර හිටියේ. කොහෙන්ද මේ මුදල් හොයන්නේ? 2028දී බිලියන 15ක් හොයන්න ඕනේ. බිලියන තුනක් අපි ණය හැටියට බැඳුම්කරයට ගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ බිලියන හය හමාරයි. මහ බැංකුව කියනවා බිලියන අටකට කරන්න පුළුවන් කියලා. ඊට වඩා මුදල් එන්න නම් අපේ විදේශ විනිමය, විදේශ ආදායම් වැඩි වෙන්න ඕනේ. නැත්නම් අපිට විශාල රුපියල් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ වගේම විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළෙඳපොළේ තියෙනවා මිලදී ගන්න. දැන් මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ. දැන් තුන්වෙනි යුද්ධය ගැන තමයි ලියන්න ඕනේ. ඒකට ඔබතුමාත් නැහැ, අපිත් නැහැ. ඒත් මං බැලුවේ යුද්ධ දෙක ගැන කියවන්න පුළුවන්. තුන්වෙනි යුද්ධය ගැනත් වචන ස්වල්පයක් කතා කරලා මගේ කතාව අවසන් කරන්නේ. ඒත් මම ආඩම්බර වෙනවා මං එක්ක වැඩ කරපු ඒ සම්පූර්ණ කණ්ඩායම; අගමැතිතුමාගේ ඉඳන් ඇමතිවරු, මන්ත්‍රීවරු සියලුදෙනාට ම, ඒ වගේම අපි එක්ක වැඩ කටයුතු කරන්න හොඳ නිලධාරී කණ්ඩායමක් හිටියා. ලේකම්තුමාත්, මහ බැංකුවේ අධිපතිතුමාත්, අපේ ආර්ථික උපදේශකතුමාත් ඇතුළු විශාල පිරිසක්, ඒ අය කිසිම බයක් නැතුව වැඩ කටයුතු කළා. කවුරුත් හිරේ දානවා කියලා මං කිව්වෙත් නැහැ. ඉතින් එතුමන්ලා ගේ තියෙන ඒ සහයෝගයත් එක්ක අපි ඉදිරි ගමනක් ගියා. දැන් අනාගතයේ තියෙන්නේ, ඉතින් මතක තියාගන්න, මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා. ඒ යුද්ධයෙන් දිනන්න බැරි වුණොත් අපි හරි කරදරයක වැටෙනවා කියන එක කියන්න කැමතියි.

 මං හිතන්නේ ගෙනැල්ලා තියෙන්නේ සුභ ආරංචියක් නෙමෙයි. කොහොමත් හැමවෙලේ ම මගෙන් නරක ආරංචි. ඒ නිසා මං හිතුවා අපේ එකත් සඳහන් කරලා මගේ වචන ස්වල්පය අවසන් කරන්න.''

 

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න