සංස්කෘතික ජීවිතයක අයිතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගන සහෘද ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් එක්තරා යූටියුබ් සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් සන්දර්භයෙන් ඉවතට ගෙන දක්වමින් ජනතා විමුක්ති පෙරමුණට පහර දෙමින් ඇත. එය ඔසවා ගෙන යන්නේ ආණ්ඩුවට එරෙහිව කැට කැබලිතිවලින් හෝ පහර දෙමින් ආණ්ඩුවේ ජනප්‍රිය භාවය බිඳ නැවත බලය ඩැහැගන්නට තැත් කරන පරාජිත විපක්ෂයේ පිරිස් ය.
පරාජිත විපක්ෂයේ අනුගාමිකයන්ට අභියෝගයක්
ජනාධිපතිවරයා ගේ වචනවලින් කිව හොත් මේ ප්‍රකාශය දෙස බැලිය යුත්තේ විවෘත මනසකින් මිස පරාජිත විපක්ෂයේ ඔලොක්කු සහගත උපුටා දැක්වීම් අනුව නොවේ. ඔවුන් මේ බාල ගනයේ ප්‍රචාරය සිදු කරන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩුව තුළින් අපේක්ෂා කළ එහෙත් පසුගිය කාලය තුළ ඉටු නොවීම සම්බන්ධ ආචාර්ය අමරකීර්ති දැක්වූ කරුනු කිහිපයකින් එක් වාක්‍යයක් පමණක් පදනම් කරගෙනය.
"ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතිය පිළිබඳ ක්‍රියාධරයන්ගෙ කලා සංස්කෘතික දැක්ම ඉතා පටුයි." යනුවෙන් වන ප්‍රකාශය පමණක් ගෙන හැර පාමින් පරාජිත විපක්ෂයේ පිරිස මේ ඩෙඟා නටන්නේ එම ප්‍රකාශයට වඩා සමාජයීය වශයෙන් වැදගත් කරුණු රැසක් ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් අවධාරණය කළ පසුබිමක ය. හැකි නම්, ඔහුගේ ඒ සම්පූර්ණ ප්‍රකාශය මේ ආකාරයට ඔසවා පළ කරන ලෙස අපි පරාජිත විපක්ෂයේ අනුගාමිකයන්ට අභියෝග කළ යුතු ය.
කලා සංස්කෘතික ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමුඛතාව ජවිපෙ/ ජාජබ වෙතින් ගිලිහුණේ ඇයි…?
ඔහුගේ මේ අදහස් වැදගත් වන්නේ, ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන්නට ගම් නියම්ගම්වල ඇවිදිමින්, සමාජ මාධ්‍ය තුළ පමණක් නොව, මහජන වේදිකාවල කතා කළ, විවිධ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියේ මේ ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් බලයට පත් කරන්නට වැඩ කළ, ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ මිනිසකු වූ නිසා පමණක් නොව, ඔහු සිය ජීවිත කාලය පුරාම යෙදුණු ආයාසකර කලා සාහිත්‍ය කටයුතු, සිදු කළ සම්ප්‍රදානයන් නිසා ය.
ජනාධිපති අනුර දිසානායක සමග එක පෙළට සිටිමින් ජාතික ජනබලවේගය ආණ්ඩුව බිහි කරන්නට දායක වූ තමන් ඇතුළු කලා සංස්කෘතික බුද්ධිමතුන්ගේ අපේක්ෂා භංගත්වය ගැන ආචාර්ය අමරකීර්ති කතා කරන්නේ එක්තරා විශේෂ සඳහනක් ද කරමිනි. එනම්, පසුගිය ආණ්ඩුව, (2022-2024, රනිල්-රාජපක්ෂ කෙටි පාලනය) විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම ප්‍රතිශෝධනය කරමින් ආර්ථික කටයුතු පමණක් නොව, සමාජයීය සංස්කෘතික කටයුතු වෙනුවෙන් එකතු කිරීම් සහිතව එම වැඩසටහන යළි සකස් කරන්නට ජාතික ජනබලවේගය ආණ්ඩුවට තිබුණු අවස්ථාව පැහැර හරින ලද බවයි. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරින් විශාල පිරිසකට රාජ්‍ය පාලනයේ බර දරන්නට සිදුවීම නිසා කලා සංස්කෘතික ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමුඛතාව ඔවුන් වෙතින් නොලැබීමත් ආර්ථික නිර්ණයවාදය (ඇතැමුන්ට අනුව ආර්ථික නියතිවාදය) හේතුවෙන් එම විෂය දෙවන තැනට ඇද වැටීමත් ගැන අමරකීර්ති සාධාරණ ලෙස පැහැදිලි කරයි.
ජනතා විමුක්ති පෙරමුණ අවධානය යොමු කළ යුත්තේ කුමකට ද…?
පළමුව, මෙම සමස්ත අදහස හා එහි හේතුපල සබඳතා කිසිවක් නොමැතිව එක් තනි වාක්‍යයක් පමණක් ගෙන හැර පාමින් විපක්ෂයේ පරාජිතයන්, ප්‍රහාර එල්ල කරන්නේ ඇයි?
ඔවුන් යම් විදියකින් මේ සමස්ත ප්‍රකාශය තුළ ඇති ප්‍රධාන තර්කයක් ගෙන ඒමෙන් තමන්ද අමරකීර්තිගේ විවේචනයට හසුවන බැවිනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන ගෙන ආවේ පරාජිත පාලක කණ්ඩායම්ය . ඔවුන්ට මෙරට කාල සංස්කෘතික ජීවිතය හෝ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු ප්‍රමුඛතාවක්, අවධානයක් නොවුණි. ඒ වෙනුවට ආණ්ඩු බලය පවතින තත්ත්වය තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බඳු අධිරාජ්‍යවාදී ආයතන සමග ආර්ථිකයට අණ්ඩ දමා බලය පවත්වා ගෙන යෑම ඔවුන්ගේ අරමුණ විය. ජනතාව 'දැන් ඇති' කියා ඔවුන් පන්නා දමා නව ආණ්ඩුවක් පත් කළ අතර අමරකීර්තිලා ඊට සහාය වූහ. නමුත් ඔවුන් දැන් විවේචනය කරන්නේ තමන් බලයට ආ පසුව කලා සංස්කෘතික ජීවිතය වෙනුවෙන් ඉටු කරන බවට දුන් යෝජනා කිසිවක් නොතකා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පරාජිත පාලකයන් අත්සන් කළ මුල් යෝජනාවලිය ම, එම බදු ක්‍රමයම, එම කප්පාදුවම ගෙන යාම සම්බන්ධයෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු අවධානය යොමු කළ යුත්තේ සතුරන් විසින් තමන්ට අවමන් කරන්නට ගෙන යන අවලාදය ගැන නොව, ඇත්ත වශයෙන්ම තම මිතුරන් ඇද වැටී ඇති අපේකෂා භංගත්වය සහ ඊට පසුබිම්වන හේතු ගැනය. මන්ද යත්, දිනා ගත් ජයග්‍රහණය සමාජ ජයග්‍රහණයක් බවට පත් නොකරන තාක් බලය අහිමි වීමේ අනතුර ආණ්ඩුව විසින් කර තබා ගෙන යන නිසාය. ඒ නිසා, මෙවැනි ප්‍රකාශයන් ගැන අමරකීර්ති සමඟ අමනාප වීමෙන් පලක් නැත.
අමරකීර්ති යෝජනා කරන්නේ කුමක් ද…?

දෙවනුව, මේ කියන කලා සංස්කෘතික දුප්පත්කම හුදු ජනතා විමුක්ති පෙරමුණට පමණක් අදාළ ගැටලුවක් නොව, එය සමාජයක් වශයෙන් මුහුණ දෙන ගැටලුවකි.
අමරකීර්තිගේ ප්‍රකාශය සතුරු ප්‍රකාශයක් ලෙස භාර නොගෙන මිතුරු විවේචනයක් ලෙස ගන්නට තරම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රඥාවන්ත යැයි අප සිතන්නේ නැත. වත්මන් ආණ්ඩුව පරාජය කරමින් බලය ඩැහැ ගන්නට බලා සිටින බලය අහිමි වීමෙන් වියරු වැටුණු පැරණි පාලක කණ්ඩායම්වල උගුලට හසු නොවී තම දෙවසරකට ආසන්න පාලනය දෙස විවෘත මනසින් බලන්නට ආණ්ඩුව සමත් විය යුතුය. එනම්, අමරකීර්තිලා සිදුකරන්නට යෝජනා කරන්නේ නවලිබරල් වෙළෙඳපොළ තුළ විකිණෙන මිනිසා, සංස්කෘතික මිනිසකු බවට පත් කිරීමකි. එය සරල නැත, නමුත් දුෂ්කර එකක්ද නොවේ. ඔහු කියන ආකාරයට දැන් ආණ්ඩු බලය, අයවැය ප්‍රතිපාදන භාවිත කරමින් එය කළ යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සීමාවන් තුළ සිරගත නොවී එය කරන්නට නොහැකි නම්, අමරකීර්තිලා මෙන්ම සාමාන්‍ය ජනතාවද කෙටි කාලයකින් අපේකෂා භංගත්වයට පත් වනු ඇත.
එවැනි තත්වයකදී ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජනබලවේගයේ සාමාජිකයන්ට, අප වෙත හෝ අමරකීර්තිලාට ද්වේශය පළ කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. පරාජිත කණ්ඩායම්වලට හිස ඔසවන්නට මග පෑදීමේ චෝදනාව එල්ල කරගන්නට වන්නේ, කළ යුතු දෑ දහසක් තිබියදී කිසිවක් නොකර පැරණි මාවතේම යන තමන්ටමය.

සටහන -Chandana Sirimalwatte
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
