මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවට ම පස්වන සෑම මිනිසෙකුට ම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 වසරේදී සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර සහ අනාරක්ෂිත තත්ත්වයක් යටතේ ජිවත් වූ පූනාගල, කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට අද (28) එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක…
සෑම ජන කණ්ඩායමක ගේ ම මූලික අවශ්‍යතා ඉටු කර දීම රජයේ වගකීමක්

''අද මෙම ප්‍රදේශයේ ජනතාවට සුවිශේෂී දිනයක්. වසර 200කට වඩා වැඩි කාලයක් අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමට දායක වී සිටින මෙම මලෛයගම් ජනතාව අපේම ජනතාවක්. ඔවුන් ආවේ කොහෙන්ද, ආවේ කවදා ද කියන එක වැදගත් නැහැ. එය ඉතිහාසය යි. හැබැයි අද අපේ රටේ උපදින, රටේ ආර්ථිකයට දායක වන, මේ මහපොළවේ පස් බවට පත්වන මේ ජන කණ්ඩායම අපේ රටේ ම ජනතාවක්. සියවස් දෙකකට අධික කාලයක් ජීවත් වුවත් ඔවුන් මේ මාතෘ භූමියේ තමන්ගේ ම බිම් කොටසක උරුමයක් නොමැති ජන ප්‍රජාවක්. තමන්ගේ ම නිවසක් අහිමි වූ ජනතාවක්. සියලු ජනතාවට ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් මූලික කරුණු 05ක් අවශ්‍ය වෙනවා. නිවසක්, ආදායම් මාර්ගයක්, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ මානසික සුවය එම කරුණු 05 වෙනවා. හැබැයි මේ මලෛයගම් ජනතාව දෙස බැලුවොත් මේ කරුණුවලින් කුමන කරුණු ද ඉටු වී තිබෙන්නේ…? ඒ නිසා මේ සෑම ජන කණ්ඩායමකගේම මූලික අවශ්‍යතා ඉටු කර දීම අප රජයේ අභියෝගය සහ අප වෙත පැවරී තිබෙන වගකීම වෙනවා. ඒ වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එළැඹෙන අයවැය ලේඛනයේදීත් නිවාස ඉදිකිරීම වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවට හොඳ අදායම් මාර්ගයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි බොහෝ පියවර ගෙන තිබෙනවා. දැනටමත් අපි මෛලයගම් ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි වීමක් ලබා දීමට සමත් වී තිබෙනවා. එය ප්‍රමාණවත් බව මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත් මූලික පියවර තබා තිබෙනවා.
වත්තේ වැඩ කළාට සමාගම් ඉඩම් ලබා දීමට සූදානම් නැහැ
දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අපි විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගතකළ ජීවිතය ඔවුන්ගේ දරුවන්ට උරුම කර දීම යුක්ති සහගත වන්නේ නැහැ. වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේම මිය යනවා. එම ජීවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එහි දී ප්‍රධාන වන්නේ අධ්‍යාපනය යි. ඒ නිසා මෙම දරුවන් ගේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර වැඩ කිරීමට අපි සූදානම්. නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා දිය යුතු යි. එය ආණ්ඩුවක් ලෙස අපේ වගකීමක්. අද අඩු බර දරු උපත් වැඩියෙන් ම සිදු වන්නේ, අවුරුදු 05ට අඩු මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින්නේ සහ ආයු කාලය අඩු ප්‍රජාවක් සිටින්නේ මෙම ජනතාව අතරයි. ඒ නිසා සියවස් දෙකකට වැඩි කාලයක් කොන් කරන ලද, දෑස් හැර නොබලන ලද පාලන විසින් මේ ජනතාව මේ තත්ත්වයට පත් කර තිබෙනවා. අපි ඔබට අපේම සහෝදර ජනතාවක් ලෙස මේ රටේ පුර්ණ අයිතිය සහ ජිවිතය ලබා දීමට කටයුතු කරන බවට මම සහතික වෙනවා. අද මෙම ජනතාව ගේ විශාල ප්‍රශ්නයක් බවට ඉඩම් ප්‍රශ්නය මතුව තිබෙනවා. වත්තේ වැඩ කළාට සමාගම් ඉඩම් ලබා දීමට සූදානම් නැහැ. එහෙත් මෙම සමාගම් සමග තිබෙන ගිවිසුම් 2042 වන විට අවසන් වීමට නියමිතව තිබෙනවා. දැනටමත් අමාත්‍යාංශය එම ගිවිසුම් පිළිබඳ පසු විපරම් කිරීම සඳහා කමිටුවක් පත් කර විමර්ශන කටයුතු සිදු කරමින් තිබෙනවා. අපි ඉතා ඉක්මණින් එම ගිවිසුම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ජනතාව ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වු වගන්ති සමගයි එම ගිවිසුම් අත්සන් කිරීමට අපි කටයුතු කරනු ලබන්නේ.
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා
විශේෂයෙන් මේ මධ්‍යම කඳුකරය අපේ රටේ හදවතයි. මේ මධ්‍යම කඳුකරයෙන් රූරා ගලන ගංගා සහ ඔයවල් 103ක් තිබෙනවා. අපේ කෘෂිකර්මාන්තය, පාරිසරික තත්ත්වය සහ ආර්ථිකයේ විශාල පංගුවක් නියෝජනය වන්නේ මේ මධ්‍යම කඳුකරයෙන්. ආසන්න වශයෙන් අපේ භූමියෙන් 13%ක් මේ මධ්‍යම කඳුකරයට අයත් වෙනවා. වාර්ෂික වර්ෂාපතනයෙන් 72%ක් පමණ මේ මධ්‍යම කඳුකරයට ඇඳ හැළෙනවා. අපේ රටේ වැදගත්ම තැන මේ මධ්‍යම කඳුකරය යි. නමුත් දීර්ඝකාලීන අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමින් සිටිනවා. පසුගිය දිට්වාවල දී ප්‍රධාන නායයෑම් 1200කට වැඩිය සිදු වූ බවට වාර්තා වී තිබෙනවා. අපි දශක කිහිපයකට පෙර නාය නොයන රටක් ගැන ඇහුවා. තව දශක කිහිපයකින් පසුව නාය යෑම් එකක්, දෙකක් ගැන අසන්නට ලැබුණා. අපි දැන් නාය යෑම් දහස් ගණනක් ගැන අහනවා. එසේනම් මේ මධ්‍යම කඳුකරය අපේ දෑස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනවා. අපේ රටේ ආරක්ෂාව සහ රටේ අනාගතයේ වැදගත් කොටසක් වන මෙම මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම අපේ වගකීම වෙනවා. අපි දැනටමත් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව විශේෂ පනතක් සකස් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් අපි පිහිටුවනවා. පැවති තත්ත්වයට පත් වීමට අපිට දශක ගණනාවක් ගත වේවි. හැබැයි විනාශයන් සඳහා තබන පියවර අපි නතර කළ යුතුයි. මේ සඳහා වගකීම් දරණ සියලු ආයතන සහ දෙපාර්තමේන්තුවල බලය අපි ඒකාබද්ධ කරනවා. මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට අපි කටයුතු කරනවා. මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර අධිකාරිය පිහිටුවීමට කටයුතු කරනවා. මධ්‍යම කඳුකරය සුවපත් කිරීමට නම් ජන ප්‍රජාවේ ගැටලු විසඳීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, පරිසර සංරක්ෂණ, වන සංරක්ෂණ, වනජීවි, වාරිමාර්ග, කෘෂිකර්ම ආදී මේ සියලු බලතල එක් අධිකාරියක් යටතට ගෙන ආ යුතුයි. අපි අනාගත පරපුර වෙනුවෙන් මේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කළයුතු යි. ඒ සඳහා අපි යම් යම් කැපවීම් සිදු කරමින් මැදිහත්විය යුතුයි. ජාතික වගකීමක් සේ සලකා අපි මෙම කාර්යය ඉටු කළ යුතුයි.
එහි දී මෙම මලෛයගම් ජනතාව ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ප්‍රධාන වෙනවා. ඒ සඳහා ඉන්දියානු රජය අපිට දීර්ඝකාලීන සහායක් ලබා දෙනවා. ඒ පිළිබඳව අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. පසුගිය යුද සමයේදී රට හැර ගොස් ඉන්දියාවේ ජීවත් වන ජනතාවට යළි මෙරටට පැමිණීමට බාධා තිබුණා. එම සියලු බාධා ඉවත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීන්දු කළා. ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ සියලු දෙනා අපේ රටේ පුරවැසියන්. මේ රටේ උපන් මිනිසුන්, මේ රටේ ආර්ථිකයට හවුල් වී මේ මහපොළොවට පස්වන මිනිසුන්. මේ සෑම දෙනාටම හොඳ ජීවිතයක් ලබා දිය යුතුයි. එම ජීවිතය උරුමකර දීමේ වගකීම රජයක් ලෙස අපි භාර ගෙන තිබෙනවා. අපේ අපේක්ෂාව ඔබට වඩා හොඳ ජිවිතයක් උරුම කර දීමයි, ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් උරුම කරදී මේ රට වඩා සුන්දර රටක් බවට පරිවර්තනය කිරීමයි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරනවා.''
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න
පසුගිය වසරේ තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5ක්
''අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු අපේ අමාත්‍යාංශයේ පළමු කාර්යය ලෙස අපි මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා සිදු කළා. ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන හොයාගෙන ආරක්ෂක අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මෙම නිවාස කඩිනමින් සහ ප්‍රමිතියෙන් යුතුව ඉදිකර දීමේ වගකීම ආරක්ෂක හමුදාවට භාර දුන්නා.
ඒ වගේම ඉදිකිරීම් ආරම්භ කර මෙතෙක් වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති පිළිබඳව අපේ අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබෙනවා. 2004 වසරේ ආරම්භ කර වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති තැනින් තැන තිබෙනවා. අපි මේ නිවාස අදියරෙන් අදියර ඉදි කරමින් තිබෙනවා. 2004 වසරේ එනම් වසර 22කට පෙර ආරම්භ කළ ඇතැම් නිවාස ව්‍යාපෘති විවිධ ගැටලු නිසා අතරමග නැවතී තිබෙනවා. එහෙත් 2025 වසරේ ආරම්භ කර ඉතා කෙටි කාලයක් තුළ උසස් ප්‍රමිතියෙන් යුතුව මෙම නිවාස ඉදිකර ඔබට ලබා දීමට හැකි වීම පිළිබද අපි බෙහෙවින් සතුටු වෙනවා. විශේෂයෙන්ම මෙම කටයුත්තේදී කැපවී කටයුතු කළ අපේ යුද හමුදාවේ සහෝදරවරුන්ට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මලෛයගම් ජනතාව මේ රට සරු සාර කිරීම වෙනුවෙන් සිය දහදිය, කඳුළු වැය කරන ජන ප්‍රජාවක්. ඔවුන් මේ රටේ වැවිලි බෝග ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. පසුගිය වසරේ තේ අපනයනයෙන් අපි ඩොලර් බිලියන 1.5ක් ලබා ගෙන තිබෙනවා.
ජනාධිපතිතුමා ධූරයට පත් වීමට පෙර 2023 වසරේ දී මලෛයගම් ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වීම නිමිත්තෙන් හැටන්වලට ගිහින් ඓතිහාසික හැටන් ප්‍රකාශනය නිකුත් කළා. එහිදී ප්‍රකාශ කළා අපේ රජයක් යටතේ මේ ජනතාවට ඔවුන්ගේ අයිතීන් ලබා දෙනවා කියලා. අද එය සංකේතවත් කරන අවස්ථාවක්. මෙය නිවසක් පමණක් නොවෙයි, ජනතාවට අභිමානයක්, අයිතියක්, ආරක්ෂාවක් සහ ජීවිතයක් ලබා දෙන අවස්ථාවක්. ඒ පිළිබඳ අපි සතුටු වෙනවා. අපේ රජය බලයට පත්වීමට පෙර පසුගිය වසර 10ක් තුළ ආපදාවට පත්වු අය වෙනුවෙන් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකර දී තිබුණේ නිවාස 734ක් පමණයි. අපේ රජය බලයට පත්වී තවම වසර දෙකක් ගත් වුණේ නැහැ. එහෙත් අපි මේ වන විට මේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ නිවාස 4000කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ කර තිබෙනවා. ඉන්දියානු ආධාර මය යටතේ නිවාස 10,000ක් ඉදිකරමින් තිබෙනවා. මම ඒ පිළිබඳ ඉන්දියානු රජයට ස්තූතිවන්ත වෙනවා.''
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්
අද කඳුකර ජනතාවට නිවසක හිමිකම ලබා දෙන සතුටුදායක දිනයක්
''අද කඳුකරයේ ජනතාවට පමණක් නොව මුළු රටටම සතුටු දායක දිනයක්. ආපදාවලින් පීඩාවට පත් කඳුකර ජනතාවට නිවසක හිමිකම ලබා දෙන සතුටුදායක දිනයක්. වත්මන් රජය කෙරෙහි කඳුකර ජනතාව විශාල විශ්වාසයක් තබා තිබෙනවා. මෙම කඳුකර ජනතාව වසර 200 කට වැඩි කාලයක් රැවටුණු ජනතාවක්. 2024 දී සිදු වූ දේශපාලන වෙනස අපගේ ජනතාවට යහපත් වෙනසක් සඳහා මග පෑදුවා. ඒ අනුව අද හැටන් ප්‍රකාශනයේ සඳහන් දේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අරගල, පෙළපාළි, උපවාස කිසිවක් නැතුව අද කඳුකර ජනතාවට වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා.
අද මෙහි ඉදිකර ඇති නිවාස සියල්ලම රජයේ වියදමින් ඉදිකරන ලද නිවාස බව කිව යුතුයි. මෙය ආරම්භයක් පමණයි, මෙතැන් සිට මෙම වැඩපිළිවෙළ කඳුකරය පුරා ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. සෑම පුරවැසියෙකුටම ඉඩමක අයිතිය සහිත නිවසක් ලබා දෙන බවට ජාතික ජන බලවේගයේ පොරොන්දුව අද ඉටු වෙමින් පවතිනවා.
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ද, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර හෙන්නායක, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම යන අය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් Maitrey Kulkarni ඇතුළු විදේශීය නියෝජිතයන් සහ ප්‍රදේශවාසී ජනතාව ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.









ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
