Image

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි; (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) අවසාන ලිපිය

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි; (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) අවසාන ලිපිය

දෙවෙනි ලිපියෙන් ඉදිරිපත් කළ කරුණුවලට අනුව ක්‍රි.පූ 3 වෙනි සියවසේ දී ඉන්දියාවේ මගධ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක නම් බෞද්ධ අධිරාජයා ගේ සමයේ ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බවට ඓතිහාසික සාධක රැසක් ඇත. ඒ ලිපියෙන් ඉදිරිපත් කළ මේ ඓතිහාසික සාධක සියල්ල මහාවං‍ශයෙන් බාහිරව ඇති සාධක ය. එසේම මෙම ලිපියෙන් මේ සිදුවීම පිළිබඳව මහාවංශයෙන් පරිබාහිරව ලංකාවේ ඇති සාක්ෂි ඉදිරිපත් කෙරේ.

මෙම ලිපියේ දෙවන කොටස - මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි; දෙවන කොටස (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්)

 

දේවානම්පියතිස්ස රජු හා මහින්ද හිමි පිළිබඳ සාක්ෂි

මේ දූත පිරිසේ නායක හිමිනම මහින්ද නම්වූ මහරහතන් වහන්සේ නමක් වූ බවත් ඔවුන්ට ලංකාවේ මහරජුවූ දේවානම්පියතිස්ස රජුු මුණගැසුණේ මිහින්තලයේ දී බවත් මහාවංශයේ සඳහන්වේ.

මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා මහාවංශයේ ඇති කථාව මිථ්‍යා කතන්දරයක් සේ බැහැර කරන නිසා මහාවංශයෙන් පරිබාහිරව ලංකාවේ ඒ යුගයේ දේවානම්පියතිස්ස නම් රජකු සිටියේ දැයි ඇති සාධක මේ දෙපිරිස මුණ්ගැසුණේ යැයි පැවසෙන මිහින්තලයේ ම තිබී හමුවී ඇත. මාගේ මේ ලිපියේ ඉදිරිපත්කරන සියලු ම  සෙල්ලිපි ද උපුටාගන්නේ Inscriptions of Ceylon Vol I – Early Brahami Inscriptions-  Paranavithana- 1970- Published by The Department of Archelogy නම් පොතෙනි. මේ පොතෙහි ඇති සෙල්ලිපි ලංකාවේ මුල් බ්‍රාහ්මී අක්ෂර Early Brahami Letters) භාවිත කළ ක්‍රි පූර්ව 3වෙනි සියවසේ සිට ක්‍රි.පූර්ව 1වෙනි සියවසට අයිති ය. එනම් අශෝක රජු ලංකාවට ධර්මදූත පිරිසක් එවූ සියවසේ සිට ඉදිරි සියවස් දෙකක කාලයකට අයත් ය.

මා හට සෙල් ලිපි කියවීමේ හැකියාවක් නැත. එය මා ආඩම්බරයට පත්කරන කරුණක් නොවුනත්, සෙල් ලිපි කියවීමේ හැකියාව ඇති විද්වතුන් කියවූ සෙල් ලිපිවල ඔවුන් තිබේ යැයි පවසන අන්තර්ගත විශ්වාස නොකිරීමට තරම් ශාස්ත්‍රීය කුහකත්වයක් මා තුළ නැත. එනිසා මම සෙල්ලිපි කියවීමේ හැකියාව ඇති ප්‍රවීණයින් කියවා, අරුත් සහිතව නිල රාජ්‍ය ලේඛණවල මුද්‍රණය කර ඇති දේ මම මෙහි ඉදිරිපත් කරමි. ඉංග්‍රිසි භාෂාවෙන් ලියැවී ඇති ඉහත පොතේ ඇති සෙල්ලිපි නිරවද්‍ය ලෙස වත්මන් සිංහල අක්ෂරවලින් ලියා ඒවායේ අරුත් වත්මන් ව්‍යවහාර සිංහල භාෂාවෙන් මා හට කාරුණිකව කියාදුන්  රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ පීඨයේ ජ්‍යේෂ්ඨ  කථිකාචාර්ය චන්දිම අඹන්වෙල මහතාට මුලින්ම මාගේ තුතිය පුදමි.    

ඉහත පොතේ Texts and Translations කොටසේ 1 වෙනි පිටුවේ අනුරාධපුර දිස්ත්‍රික්කය- මිහින්තලේහි කොටා ඇති සෙල් ලිපියක කියවීමක් ඇත. එය මෙසේ ය.

m828wi

දේ[ව] නපිය - මහරඣහ බරියය බකි[නිය] උපශික-වරුණ [දත]ය [ලෙ] ණෙ

තේරුම- දේවානපිය මහාරාජයාගේ බිරිය ගේ සොයුරියවූ වරුනදත්තා ගේ ලෙන 

පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා ඇති මේ සෙල්ලිපිය ක්‍රි.පූ 3වෙනි සියවස තරම් ඈත අතීතයේ ලියා ඇති සෙල්ලිපි ගොඩට මහාචාර්ය සෙනරත් පරනවිතාන මහතා ඇතුළු කරයි. මේ සෙල්ලිපිය ඒ යුගයේ දී ලංකාවේ දේවානම්පිය නම් මහරජෙකු සිටි බව ඔප්පු කරයි. මිහින්තලයේ තිබී සොයාගන්නා ලද ක්‍රි.පූ 3වෙනි සියවසට අයත්වන සෙල්ලිපි තුනක් විග්‍රහ  කරන මහාචාර්ය සෙනරත් පරනවිතාන මහතා මේවා දේවානම්පියතිස්ස රජුටත්, ඔහුගේ සොයුරු ලෙස මහාවංශයේ සඳහන්වන උත්තිය රජුටත් අයත් බවත්, මේ සෙල්ලිපි මිහිඳු මහරහතන් වහන්සේත් මිහින්තලයත් අතර ඇති සබඳතාවය තහවුරු කරන බවත් පවසයි. (ඉහත කී ග්‍රන්ථයේ හැඳින්වීමේ lii  පිටුව)

ඒ හැරුණු විට අම්පාර දිස්ත්‍රික්කයේ රජගල සුවිසල් පුරාවිද්‍යා භුමියේ තිබී හමුවූ සෙල්ලිපියක් මහින්ද මහරහතන් වහන්න්සේ ලංකාවට වැඩි පුවතත්, උන්වහන්සේ සමග ලංකාවට පැමිණියේ යැයි මහාවංශයේ සඳහන්වන ඉත්තිය මහරහතන් වහන්සේ පිළිබඳවත් ප්‍රවෘත්තිය තහවුරු කරයි.

පෙර සඳහන් කළ ග්‍රන්ථයේ ම Texts and Translations කොටසේ 35 වෙනි පිටුවේ ඇති මේ සෙල්ලිපියේ කියවීම මෙසේ ය.

mi828iw

යෙ ඉම දිප පටමය ඉදිය අගතන ඉඩික -[තෙර-ම] මහිද-තෙරහ තුබෙ

තේරුම- මෙම දිවයිනේ වාසනාවට පළමුවෙන් පැමිණි ඉත්තිය තෙරුන්වහන්න්සේ ගේ ද මහින්ද තෙරුන්වහන්සේගේද ස්තූපය යි.

අම්පාර රජගල පුරාවිද්‍යා භූමියේ සිදුකරන ලද කැණීම්වල දී ධාතු රැසක් ද සොයාගෙන ඇත.

පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් ලියැවී ඇති මේ සෙල්ලිපි ක්‍රි පූ 3වෙනි සියවසත් ක්‍රි පූ 1වෙනි සියවසත් අතර කාලයේදී ලංකාවේ සිටි දේවානම්පිය නම් මහරජෙකු හා මේ දිවයිනට පිටතින් පැමිණි මහින්ද නම් තෙරණුවකු පිළිබඳව කිසිදු සැකයකින් තොරව ඔප්පුකර යි.

මෙම ලිපියේ පළමු කොටස : මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි

 

මහින්ද මහ තෙරුන් පැමිණීමට පෙර බුදුදහම තිබූ බව මහාවංශය සැඟවූවා ද?

මිහිඳු හිමියන් හා ධර්මදූත පිරිස ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ බෞද්ධයන් සිටි බවත් එනිසා මිහිඳු හිමියන් ගේ පැමිණීමේ වැඩි වැදගත්කමක් නැති බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා නොකියා කියයි.

මිහිඳු මහරහතන්වහන්සේ ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ බෞද්ධයන් සිටි බවට කිසිදු සැකයක් නැත. මහාවංශයේ ම සඳහන්වන අන්දමට ඉන්දියාවේ උතුරුදිග සිට විජය රජු සමග පැමිණි සහපිරිවරත්, ඔහුගේ මයිලනුවන් ගේ පුත් පණ්ඩුවාසදේවත්, ඔහුගේ බිරිඳත් තවත් විශාල පිරිසුත් පැමිණියේ‍ය. ක්‍රි පූ 4 වෙනි සියවසේ ඉන්දියාවේ විසූ මෙගස්තනීස් ද තම ඉන්ඩිකා ග්‍රන්ථයෙහි ලංකාවේ මිනිසුන් කාලිංගයට ඇතුන් නැව් මගින් යවන බව සඳහන් කරයි. (පි 171) මුහුදු මගින් මිනිසුන් ඉන්දියාවේ සිට ඔබමොබ ගිය සමයක බෞද්ධ භික්ෂූන් වහන්සේලා හෝ බෞද්ධයන් ඉන්දියාවේ සිට නොපැමිණියේ යැයි සිතීම විහිළුවකි. ඔවුන් නිසා මේ දිවයින තුළ බෞද්ධයින් ඇති නොවුණේ යැයි සිතීම ද විහිළුවකි.

එසේ නම් මහාවංශයේ ඒ බව සඳහන් නොකර ලංකාවට බුදුදහම හඳුන්වා දුන්නේ මිහිඳු හිමියන් බව සඳහන් කරන්නේ ඇයි? එයට හේතුව ලංකාවේ ප්‍රධාන රජු සහ ඔහුගේ සහපිරිවර බෞද්ධයන් වූ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යක් වූ නිසා ය. එතැන් සිට රාජ්‍ය අනුග්‍රහයෙන් ලංකාව පුරා බුදුදහම ව්‍යාප්තවූ බව නිසැක ය. එනිසාම මේ දිවයිනේ බෞද්ධයන්ට එය වැදගත් සිදුවීමකි. බෞද්ධ භික්ෂුවක වූ මහාවංශ සංස්කාරක මහානාම හිමියන්ට ද ඒ සිදුවීම වැදගත්සේ සලකා ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් ලිවීම පුදුමයට කරුණක් නොවේ. ඒ සිදුවීම නොවන්නට ලංකාවේ ඉතිහාසය අප නොදන්නා වෙනත් දිශාවකට යෑමට ඉඩ තිබිණි.

ලෝක ඉතිහාසයේ ආගම් සම්බන්ධයෙන් මෙවැනි හැරවුම් ලක්ෂ්‍ය බොහොමයක් තිබේ. ක්‍රි.ව 1වෙනි සියවසේ සිට රෝම අධිරාජ්‍යයේ කිතුනුවන් සිටියත් කොන්ටන්ටයින් අධිරාජයා ක්‍රි.ව 312 දී කිතුනුවකු වීම ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. ඉන්පසු රෝම අධිරාජ්‍යය කතෝලික පල්ලියේ මූලස්ථානය වූ අතර ඒ බලපෑම තවමත් ලොව පුරා පවතියි. අරාබියේ ඒක දේවවාදීන් දුරාතීතයේ සිට සිටියත් මොහමඩ් නබි නායකතුමා ශුද්ධවූ අල්-කුරානය වටා ඉස්ලාම් භක්තිකයන් එක්කිරීම අරාබි ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. එංගලන්තයේ කතෝලික පල්ලියට විරුද්ධ පිරිස් සැමදා සිටියත් 8 වෙනි හෙන්රි රජු රෝමයෙන් වෙන්වී ඇංග්ලිකානු පල්ලිය පිහිටුවීම එංගලන්ත ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. මේ සෑම අවස්ථාවක ම ඒ ඒ හැරවුම් ලක්ෂ්‍යයට පෙර ඒ ඒ ඇදහීම් කළ අය ගේ ඉතිහාසයට ලැබෙන්නේ කුඩා අගයකි.

 

ලැව්ගින්නක් සේ බුදුදහම සීඝ්‍රයෙන් පැතිරීම

මිහිදු මාහිමියන් ලංකාවට පැමිණි ක්‍රි .පූ 3 වෙනි ශතවර්ෂයට පසු  වසර 100-200 වැනි කෙටි කලක් තුළ ලංකාව පුරා බුදුදහම පැතිරුණි. එයට ඇති ප්‍රධානම සාක්ෂිය ලෙන් සහ විහාර රැසක් සංඝයාවහන්සේලාට පිරිනැමීම පිළිබඳව ක්‍රි පූ 3වෙනි සියවසේ සිට ක්‍රි පූ 1 වෙනි  වෙනි සියවසට අයත් මුල් බ්‍රාහ්මී අක්ෂරවලින් ලියැවී ඇති සෙල්ලිපි රාශිය යි. මේ ඒවායේ පැතිරීම පිළිබඳව Inscriptions of Ceylon Vol I – Early Brahami Inscriptions-  Paranavithana-හි ඇති සිතියම යි.

mahindagamanaya pic 3 3

මේ සෙල්ලිපි වලට අනුව ලෙන් හා විහාර පූජා කළ වුන් අතර රජවරුන්, ඇමතිවරුන් පමණක් නොව ගම්පතියන් සහ සාමාන්‍ය ජනයා ද වූහ. එනිසා මිහිඳු හිමියන් ගේ පැමිණීමේ වැදගත්කම කිසිසේත් ලඝුකොට සැලකිය යුතු නැත.

ඇතැම් අයගේ කනස්සලට හේතු වූවත්, අවසාන ජනසංගණනයේ දී ද ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 69.8% ක් තමන් බෞද්ධයන් බව ස්වාධීනව ප්‍රකාශයට පත්කර ඇත. ක්‍රි පූ 3වෙනි සියවසේ දී ලංකාවේ අගරජු බුදුදහම වැලඳගැනීම මෙයට ඉවහල්වූ මුල්ම හා ප්‍රධානම හේතුවයි.

 

මිථ්‍යාව, මිථ්‍යා කතන්දර සහ විද්‍යාත්මක ඉතිහාසකරණය

මා ඉදිරිපත් කළ කරුණු මත තමා තවදුරටත් මහින්දාගමනය මිථ්‍යාවක් යැයි  පවසන්නේ දැයි කීම දැන් මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමාට භාර ය. තමා වීඩියෝ මගින් මහින්දාගමනය ගැන පැවසූදේ මා හට නොවැටහී ඇති බව පවසා, “මිථ්‍යාව” යන වචනය පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට එතුමා උත්සාහ ගැනීමට ඉඩ ඇත.

මා විසින් ලියන ලද Finding Sinhabahu පොතෙහි මිථ්‍යා කතන්දරයක් යනු කුමක්ද, යම් ඓතිහාසික සිදුවීමක් මිථ්‍යා කතන්දරයක ස්වරූපයට හැරෙන්නේ කෙසේද? මිථ්‍යා  කතන්දරයක් වූ පමණින් එය ප්‍රලාපයක්යැයි බැහැර නොකර  සිදුවීමක සැබෑ සාධක සෙවීමේ වැදගත්කම කුමක් ද? යන්න අඩංගු පිටු කිහිපයක විස්තරයක් ඇත. අභාවප්‍රාප්ත මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ජාතික චින්තනය යන නමින් ප්‍රචලිතකල නලින්වාදයට එරෙහිව මා සහ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ලියන ලද ලිපි දහය අවසානයේදී මා “විද්‍යාව හා මිත්‍යාව” යන මැයින් දීර්ඝ ලිපියක් ලියා අනිද්දා පුවත්පතෙහිද ඊ පුවත්පත් කිහිපයක ද පළ කළෙමි. එනිසා “විද්‍යානුකූල ඉතිහාසකරණය හා මිථ්‍යා කතන්දර” යන මාතෘකාව යටතේ වෙන ම සංවාදයකට ද මා සූදානම් ය.

ඉතිහාසය සම්බන්ධ මිථ්‍යා කතාන්තර පිළිබඳව සැබෑ අවබෝධයක් තිබෙන්නේ නම් මහින්දාගමනය සත්‍ය සිද්ධිය වටා බැඳුණු විශ්වාස කළ නොහැකි යම් යම් තොරතුරු මහාවංශ සංස්කාරක මහානාම හිමියන් “තැනූ ඒවා” නොව ඒ වනවිට සිංහලයින් අතර “තැනී තිබුණු ඒවා බව”  මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට වැටහෙනු ඇත. ලිඛිතව පැවති දේට අමතරව කට වචනයෙන් පැවත එන තොරතුරුද තම කෘතියට එක්කල බව මහානාම හිමියන් මහාවංශයේ ආරම්භක ගාථා දෙකේ දී අවංකවම පවසන්නේ එනිසාය. (“ශෘතිමය වශයෙන් පරම්පරාවෙන් පැවත එන”)

 

මහාචාර්යතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තුවන ප්‍රශ්න

මේ සංවාදය මිථ්‍යාව ලෙස තමන් අදහස් කළ දේ කුමක්දැයි යන දිශාවට ගෙනයාමට පෙර  මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ගෙන් මම පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

1.     දැනට ඇති ඓතිහාසික සාධක මත ක්‍රි පූ 3 වෙනි සියවසේ දී අශෝක අධිරාජයා විසින් ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව පිළිගන්නේ ද? මේ පිරිස ගේ නායක හිමිනම ගේ නම මහින්ද යැයි ද, ඒ වනවිට ලංකාවේ රජුව සිටියේ දේවානම්පිය (තිස්ස) යැයි ද පිළිගන්නේ ද?

2.     මේ ධර්මදූත පිරිස විසින් එකල ලංකාවේ සිටි ප්‍රධාන රජු සහ ඔහු ගේ සහපිරිවර බෞද්ධයින් බවට පත්කළ පසු ඉතා කෙටිකලක් තුළ ලංකාවේ බුදුදහම පැතිරගිය බව පිළිගන්නේ ද?

3.     එනිසා මේ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස පිළිගන්නේ ද?

මහාචාර්යවරයෙක් තම විෂයට අදාළ කරුණක් පිළිබඳව කතා කළ යුත්තේ කරුණු, සාක්ෂි සහ සාධක මත පදනම්ව අසා සිටින්නා හෝ කියවන්නාගේ දැනුම වැඩි කර ඉන්පසු තමන් කතාකරන ප්‍රස්තුතය පිළිබඳව ගැඹුරු ලෙස තර්කයක් ගොඩනගමිනි. කරුණු, සාක්ෂි සහ සාධක කිසිවක් නොමැතිව හුදු තමන්ගේ සිත තුල තිබෙන මතයක් ප්‍රකාශකොට තමන්ට ඒ විෂය පිළිබඳ ඇති වෘත්තීය සුදුසුකම මත පමණක් පදනම්ව අන් අය ඒ තර්කය පිළිගත යුතුයැයි සිතීම මහාචාර්යවරයෙකු විසින් නොකළ යුතු ය. ඉතිහාසය සම්බන්ධව මූලාශ්‍ර මත පදනම් නොවී විවිධ ඉතිහාස කතාන්දර පවසමින්, අසන්නාට නිවැරදි දැනුම ලබාදීමට වඩා අසන්නා පිනවීම තම අභිප්‍රාය කරගත් මහාචාර්යවරුන් ද දැන් ලංකාවේ පහළ ව ඇත. මහාචාර්යවරයකු සාමාන්‍ය මිනිසෙකු ගෙන් වෙනස් වන්නේ දන්නා දෙය පැවසීමෙන් පමණක් නොව, නොදන්නා දෙය නොපැවසීමෙනි.

මාගේ ලිපි පෙළට ලිපියකින් හෝ ලිපි පෙළකින් පිළිතුරුදෙන ලෙස මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ කරුණ පිළිබඳව කිසිදු ආකාරයක වාචික විවාදයක නිරතවීමට මා බලාපොරොත්තු නොවන්නේ අද ලංකාවේ වාචික විවාද කටවාචාලයන් ගේ රඟමඩලවල් බවට පත්ව ඇති නිසා ය. එසේම යමක් ලියනවිට ලියන්නාට තම තර්කය පිළිබඳව ඇති සාක්ෂි හා සාධක කියවන්නන්ට ද සැකහැර දැනගැනීමට හැකිවන පරිදි ආශ්‍රිත මූලාශ්‍ර සහිතව දැක්විය හැකි ය. ගැඹුරු ශාස්ත්‍රීය සංවාදයක් හෝ විවාදයක් කළ හැකි වන්නේ ලිඛිත ව ය. මහින්දාගමනය පිළිබඳව සිදුවන මේ විවාදය තුළින් ශාස්ත්‍රීය සාකච්ඡා ගැඹුරින් සිදුවන වෙනත් රටවල මෙන්ම, මීට දශක දෙකකට පෙර ලංකාවේ ද තිබු ලිඛිත විවාද සම්ප්‍රදායයට නැවත අප රට රැගෙන යාමට හැකිවෙනු ඇත.

මිථ්‍යාව, මිථ්‍යා කතන්දර සහ සැබෑ ඉතිහාසය පිළිබඳව සිදුවන වෙනත් සංවාදයක දී මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා ද, මා ද දරන මතය එකක් විය හැකි ය. ශාස්ත්‍රීය සංවාදවල ස්වභාවය එය යි. ඒ සංවාදයට පෙර මේ කරුණ පිළිබඳව මා ඇසූ ප්‍රශ්ණ තුනට කියවන්නාට වටහාගත හැකි අන්දමේ පිළිතුරක් එතුමා ගෙන් ගෞරවයෙන් බලාපොරොත්තුවෙමි. ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු වන එතුමා තම පිළිතුර මේ දක්වා එළිදරවුවී ඇති ඓතිහාසික කරුණු මත පදනම්ව, මූලාශ්‍ර හා සාධක සහිතව මාගේ හා අනෙක් පාඨකයින්ගේ දැනුම ඉහළ නංවන අයුරින් සිදුකරනු ඇතැයි මම බලාපොරුත්තු වෙමි.

මා මේ ලිපිපෙළෙහි පැහැදිලි කරන කරුණු ඔප්පුකිරීමට තවත් බොහෝ සාධක තිබුනත් ඒවා ද මෙහි මෙහි පෙළගැස්වුවහොත් ලිපි පෙළ දීර්ඝවී එය කියවන්නාට වෙහෙසකර වනු ඇත. ඉදිරි සංවාදයක දී අවශ්‍ය වුවහොත් ඒ කරුණු ද හෙලිදරවු කෙරෙණු ඇත.

 

dr ajith amarasinghe 1 1

 

 

 

 

වෛද්‍ය අජිත් අමරසිංහ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර  ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උලෙළෙහි දී වසරේ හොඳ ම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න