ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම සිදු කෙරිණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
කරුණා කර නීතිය ඔස්සේ කරුණු දක්වන්න
එහි දී කරුණු දැක්වූ, පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි…
"යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා. 107 (5) ව්‍යවස්ථාව නීතියක් බවට පත් කළේ, මෙරට ජනතාව. එම නිසා එම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණ යි. මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට රජය වෙත පනවා තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වෙනවා."
ඒ අවස්ථාවේ දී කස්සප හිමි ඇමතූ අගවිනිසුරුවරයා මෙසේ පැවසී ය.
"සමාවෙන්න ස්වාමීන් වහන්ස... මට ඔබ වහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොම ද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතන දී ධර්මයට වඩා අදාළ වන්නේ නීතිය යි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න.
ඉන් අනතුරුව මෙම කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන ඔස්සේ කරුණු දක්වන බව කස්සප හිමියෝ ප්‍රකාශ කළහ.
ස්වාධීන අධිකරණයට එල්ල වූ සැබෑ ම බලපෑම්
ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතට සහය පළ කරමින් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දැක්වී ය.
"ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් සඳහන් කළා මෙම සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට. මේක පිළිගන්න බෑ ස්වාමිනී... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. එම සංශෝධනය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව වැඩි කළා. ඒක ජනමතවිචාරණයකට ඉදිරිපත් කළේ නෑ. එසේනම් විනිසුරු විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ගැටලුවක් වන්නේ කොහොම ද? 1972 ව්‍යවස්ථාව විනිසුරු විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 වශයෙන් නියම කර තිබුණා. පසුව 1978 ව්‍යවස්ථාව තුළින් එය අවුරුදු 65 දක්වා වැඩි කළා. යෝජිත පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ජනාධිපතිවරයා ගේ බලතල කප්පාදු වන බවට තර්කයක් ඉදිරිපත් වුණා. ඒක සම්පූර්ණයෙන් ම වැරදි යි. විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමෙන් සහ විනිසුරු සංඛ්‍යාව ඉහළ නැංවීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ජනාධිපතිවරයා ගේ බලය කප්පාදු වීමක් සිදුවන්නේ නෑ. අතීතයේ විනිසුරුවරුන්ගේ නිවාසවලට ගල් ගැසීම සිදුවුණා. ජයවර්ධන පාලන සමයේ මෙම අධිකරණයේ ඇතැම් විනිසුරුවරුන්ට අධිකරණයේ දොර වැසුණා. මේවා තමයි ස්වාධීන අධිකරණයට එල්ල වූ සැබෑ ම බලපෑම්. නමුත් මෙම පනත් කෙටුම්පත තුළින් එවැන්නක් සිදු වන්නේ නෑ. යෝජිත කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ නෑ. අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් කප්පාදුවට ලක් වන්නේ නෑ. ඒ නිසා අදාළ පනත් කෙටුම්පත ජනතාවගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ."
බ්‍රිතාන්‍යයේත් විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස 70 සිට 75 දක්වා ඉහළ නැංවූවා
තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසී ය.
"ශ්‍රී ලංකාවේ ජනගහනය වර්ධනය සහ ජනතාව ගේ ආයු කාලය වර්ධනය වීම පිළිබඳව සලකා බැලීමේ දී මෙය ඉතා කාලෝචිත සංශෝධනයක් ලෙස සඳහන් කළ හැකි යි. 1948 වසරේ පුද්ගල ආයු කාලය වයස අවුරුදු 48-55 ක් අතර පැවතුණා. 1978 වසර වන විට එය අවුරුදු 67ක් 69ක් දක්වා වර්ධනය වී තිබෙනවා. වර්තමානයේ එය පිරිමින්ගේ අවුරුදු 77 දක්වාත් කාන්තාවන්ගේ අවුරුදු 81ක් දක්වා වැඩි වී තිබෙනවා. මෙම ආයු කාල වර්ධනය සලකා බැලීමේ දී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ඉතා කාලෝචිත බව සඳහන් කළ යුතු යි. පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයේත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 70 සිට 75 දක්වා ඉහළ නැංවීම සිදු වුණා. එය සිදුකළේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින්. ඒ සදහා ජනමත විචාරණයක් පැවැත්වුවේ නෑ. එම නිසා වත්මන් සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදු වන්නේ නෑ. ඒ නිසා එය ජනමත විචාරණයකට යොමු කිරීම අවශ්‍ය වන්නේ නැහැ."
22 ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි යි
අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් නීතිඥ ජානක අධිකාරි ඇතුළු අතරමැදි පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙස් පැවසී ය.
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වන බව තහවුරු කෙරෙන කිසිදු නඩු තීන්දුවක් දේශීයව හෝ ජාත්‍යන්තරව හමුවී නෑ. ඒ අනුව මෙම සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට පෙත්සම්කාර පාර්ශවය මතු කරන තර්කය තුළ කිසිදු පදනමක් නෑ. එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි යි."
ඇමෙරිකාවේ විනිසුරුවරයෙකුට ජීවිතාන්තය දක්වා එම තනතුරේ කටයුතු කරන්න පුළුවන්
තවත් අතරමැදි පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරංජන් අරුල්ප්‍රගාසම්, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසී ය.
"බොහොමයක් පෙත්සම්වලින් චෝදනා කර තිබුණා යෝජිත සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදු වන බවට. ඒක පිළිගන්න බෑ. විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම අත්තනෝමතික ක්‍රියාවක් නොවේ. ඇමෙරිකාවේ විනිසුරුවරයෙකුට ජීවිතාන්තය දක්වා එම තනතුරේ කටයුතු කරන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 75ක් ලෙසත් කැනඩාවේ එම වයස් සීමාව අවුරුදු 75ක් ලෙසත් දක්වා තිබේනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ජැමෙයිකාව වැනි රටවල විශ්‍රාම වයස් සීමාව අවුරුදු 70 ක් ලෙස දක්වා තිබෙනවා. ඒ අනුව විනිසුරු විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ."
මෙරට අධිකරණ කටයුතු පුළුල් කොට කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය පැවති අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මේ බව සඳහන් කළා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
