කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සහ තමන් අතර සබඳතාවක් හැඟවෙන ආකාරයෙන්, රජයට සම්බන්ධ පුවත්පත් ආයතනයක සමාජ මාධ්ය ගිණුමක ඇතුළු මාධ්ය කිහිපයක පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම සාවද්ය බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා පවසයි.
විශේෂ මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ, තමන් සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා වන බැවින් තමන්ට කිසිදු සහෝදරයෙකු නොමැති බවයි.
එමෙන්ම, එකම පෙළපත් නාමය (වාසගම) හිමි ඕනෑම අයෙකු සිදුකරන වරදක්, එම පෙළපත් නාමය ඇති සෑම අයෙකුටම අදාළ වන්නේද යන්න ඔහු මෙවැනි ප්රවෘත්ති පළකරන මාධ්ය ආයතනවලින් විමසා සිටියි.
වසර 11ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරන තමන්, කිසිදු දිනෙක මන්ත්රීවරුන්ට ලබාදෙන ගිනි අවිය පවා ලබාගෙන නොමැති බවත්, තමන්ගේ පියාණන් වූ දිවංගත සරත් චන්ද්ර රාජකරුණා මහතාද කිසිදු දිනෙක ගිනි අවියක් සන්තකයේ තබාගෙන නොමැති බවත් මන්ත්රීවරයා අදාළ නිවේදනය මගින් සඳහන් කරයි.
එවැනි තත්ත්වයක් හමුවේ, තමන්ට කිසිදු අදාළත්වයක් නොමැති එම සිදුවීමට තමන්ගේ නමද ඈඳා ගැනීම දේශපාලන වශයෙන් තම චරිතයට අවමන් කිරීමේ අරමුණින් කරන ලද්දක් බව පැහැදිලිව පෙනෙන බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව, තමන්ගේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් අදාළ ප්රවෘත්තිය වාර්තා කළ මාධ්ය ආයතනවලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥවරුන්ට උපදෙස් ලබාදී ඇති බවද මන්ත්රීවරයා නිවේදනයේ සඳහන් කර ඇත.
තවද, රජයේ බංකොලොත්භාවය වසා ගැනීමත්, සමාජයෙන් එල්ලවන පීඩනය සහ ජනතාවගේ මතය වෙනතකට යොමු කිරීමත් අරමුණු කරගනිමින් මාලිමා ආණ්ඩුව සිදුකරන මෙවැනි පහත් ක්රියා හෙළා දකින බවද පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
