Image

“නිර්ප්‍රභූ ජනතාව අරගල බිමට එනවා දැක්කම ප්‍රභූන්ගේ විතරක් නෙවෙයි "නිව්ප්‍රභූන්ගෙත්" කකුල් වෙවුලන එක තේරුම් ගන්න පුළුවන්” - පුබුදු ජයගොඩ

“නිර්ප්‍රභූ ජනතාව අරගල බිමට එනවා දැක්කම ප්‍රභූන්ගේ විතරක් නෙවෙයි "නිව්ප්‍රභූන්ගෙත්" කකුල් වෙවුලන එක තේරුම් ගන්න පුළුවන්” - පුබුදු ජයගොඩ

ඔක්තෝබර් 06 වන දින ගැසට් කර, ඊයේ (20) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" යනු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මුවාවෙන් ජනතාවගේ සංවිධානාත්මක ක්‍රියාකාරීත්වයන් මැඬලීම සඳහා ගෙන එන පනතක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ඊයේ (20) නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්‍යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් මෙම අදහස් පළ කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් ඔහු පැවසුවේ අද වන විට ලෝකය පුරාම නිර්ප්‍රභූ ජනතාව අරගල බිමට පැමිණෙමින් ඇති බවත්, මේවා දකින ප්‍රභූන් පමණක් නොව 'නිව්ප්‍රභූන්ද' බියට පත් වී ඇති ආකාරය තේරුම් ගත හැකි බවයි.

මතු පළ වන්නේ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පුබුදු ජයගොඩ විසින් පළ කළ සම්පූර්ණ අදහස් දැක්වීමයි.

 

සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මුවාවෙන් ජනතා ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ සූදානමක්

සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ සභාගත  කළා. මේක ජනතාවට එරෙහිව පාලක පන්තිය කරන සංවිධානාත්මක අපරාධයක්. අපි අමතක කරන්න හොඳ නෑ, PSTA නමින් රාජ්‍ය ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන පනතකුත් දැනට සභාගත  කර තිබෙනවා. පාලකයන්ගේ පැත්තෙන් පොදු ජනයාට එල්ල කරන ප්‍රහාරය ගැන තක්සේරු කරන්න වෙන්නේ 22 සංශෝධනය,  රාජ්‍ය ත්‍රස්තවාදී පනත හා මේ පනත යන සියල්ලම එකට ගත්තාම. මේ පනත් කෙටුම්පතේ අරමුණ සංවිධානාත්මක අපරාධ මැඩලීම කියලා නිල වශයෙන් කිව්වාට ඇත්ත අරමුණ සංවිධානාත්මක ජනතා ක්‍රියාකාරකම් මැඩලීම. මෙහි නිර්වචන ඉතා පුළුල් නිසා අවශ්‍ය ලෙස "කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කරන" න්‍යායෙන් මර්දනයට භාවිතා කළ හැකියි.

 

පළිගැනීම් වලට පාවිච්චි නොවෙයිද?

උදාහරණයකට සංවිධානාත්මක අපරාධ කල්ලියක් නිර්වචනය කරන්නේ සෘජුව හෝ වක්‍රව මූල්‍යමය හෝ වෙනත් ද්‍රව්‍යමය ප්‍රතිලාභයක් ලබාගැනීමේ අරමුණෙන්, බරපතල අපරාධ එකක් හෝ කිහිපයක් සිදු කිරීමේ අරමුණෙන්, යම් කාලපරිච්ඡේදයක් තිස්සේ පවතින හා එක්ව ක්‍රියා කරන පුද්ගලයන් තිදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත ව්‍යුහගත කණ්ඩායමක් විදියට. මේක ඕන පැත්තකට පෙරළා ගන්න පුළුවන්. ඒක ඔප්පු වෙන්නේ බරපතල අපරාධයක් පැහැදිලි කරන ආකාරයෙන්. බරපතල අපරධයක් කියන්නේ  වසර හතරක හෝ ඊට වැඩි ප්‍රමාණයක සිර දඬුවමක් පනවන ඕනෑම වරදක් කියලා පනතේ තියෙන්නේ. එවැනි වැරදි උපලේඛනයේ සඳහන් කර තිබෙනවා. එම ලයිස්තුවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සොරකම, කර්තෘ අයිතිය උල්ලංඝනය කිරීම, බලපත්‍ර නොමැතිව කරන සූදුව සහ වනජීවී පනතේ ඇතැම් වැරදි පවා තිබෙනවා. එකක් ඔය වගේ චෝදනාවකට අත්අඩංගුවට අරන් රැඳවුම් නියෝග ගහලා සිර කරන එක පළිගැනීම් වලට පාවිච්චි නොවෙයිද? අනිත් එක ඒ බොහොමයක් වෙනත් නීති වලින් ආවරණය වෙනවා.

 

ඇඳුම් විලාසිතා, අභිනයන්, භාෂාව හෝ පච්ච භාවිතා කිරීම" නිසා අත්අඩංගුවට ගන්න පුළුවන්

මේ පනතේ වංචනික උවමනාව පෙනෙන්නේ යම් අපරාධ කල්ලියක සාමාජිකයෙකු හඳුනාගැනීමේ වගන්තියේ.  4(2) වගන්තියේ සඳහන් ආකාරයට "එම අපරාධ කල්ලියේ සාමාජිකයන් භාවිතා කරන ඇඳුම් විලාසිතා, අභිනයන්, භාෂාව හෝ පච්ච භාවිතා කිරීම" නිසා අත්අඩංගුවට ගන්න පුළුවන්. කොණ්ඩය වවන, ටැටූ ගහන තරුණයන් අහේතුකව පොලීසියෙන් ගන්න එක නවත්වන්නේ කොහොමද? අනිත් එක අපරාධ කල්ලි වල භාවිතා කරන ඇඳුම් විලාසිතා මොනවද? හස්ත මුද්‍රා ඇතුළු අභිනයන් මොනවාද? ඒ අය භාවිතා කරන විශේෂ භාෂා සම්ප්‍රදාය, වචන මොනවාද? ඒවා භාවිතය නිසා කෙනෙකුව අත්අඩංගුවට ගන්න පුළුවන්ද? ආණ්ඩුව කාටද මෙච්චර බය වෙලා තියෙන්නේ? ඇයි මේ එකකට පසු එකක් ලෙස මර්දන නීති ගෙනත් භීෂණයක් මවන්න හදන්නේ? මේක පනත් වලට සීමා වෙන්නේ නෑ. ඊයේ පොලීසියේ නිල ෆේස්බුක් අඩවියේ දැන්වීමක් දාලා, කතා කරද්දී දෙපාරක් හිතන්න කියලා. ආණ්ඩුව බයවුණු පාර කට වටකර වැට බඳින්න යන්නේ. එතකොට භාෂණයේ නිදහස කියලා ව්‍යවස්ථාවේ ලියලා තියෙන්නේ මොකටද? ඒක බොරුවක්ද?

 

මහේස්ත්‍රාත් හමු නොකර පැය 72ක් තබාගැනීම ඇතුළු දරුණු රැඳවුම් නියෝග

මේක විශේෂ මර්දන නීතියක්. 20(1) වගන්තියට අනුව පැය 24ක් නොව සැකකරුවෙකු පැය 72ක් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් නොකර පොලීසියේ රඳවා ගන්න පුළුවන්.  ඉන් අනතුරුව පොලිස් නිලධාරියෙකුගේ ඉල්ලීම පරිදි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හෝ පොලීසිය අයත් අමාත්‍යංශයේ ලේකම්වරයාට වරකට මාස දෙක බැගින් වසරක කාලයක් සැකකරුව පොලීසියේ හෝ බන්ධනාගාර නොවන වෙනත් ස්ථානයක රඳවා ගැනීමේ රැඳවුම් නියෝග නිකුත් කළ හැකි බව 21 වගන්තියේ දැක්වෙනවා.

23 වන වගන්තියට අනුව මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් අයෙකුට ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත්වරයාට නැහැ.  25 වන වගන්තියට අනුව අධිකරණය විසින් රිමාන්ඩ් කරන ලද සැකකරුවෙකු පවා පොලිස් ස්ථානයක හුදෙකලාව රඳවාගෙන මාස හයක් තබාගන්න පුළුවන්. PSTA ගේද්දී කියන්නේ ඒක කරන්නේ PTA අහෝසි කරන්න කියලා. නමුත් කලින් PTA එකේ තිබී ඉවත් කරන ලද, සැකකරුවෙකු පොලීසියේදී කරනු ලබන පාපොච්චාරණයක් නඩුවකදී ඔහුට එරෙහි සාක්ෂියක් ලෙස භාවිතා කිරීම හොරෙන්ම මේ පනතේ 47 වගන්තියෙන් යළි බලාත්මක කරලා.

 

"නිර්ප්‍රභූ ජනතාව අරගල බිමට එනවා දැක්කම ප්‍රභූන්ගේ විතරක් නෙවෙයි නිව්ප්‍රභූන්ගෙත් කකුල් වෙවුලන එක තේරුම් ගන්න පුළුවන්."

මේ මර්දන පනත් ගේන්නේ ආණ්ඩුව ජනතාවට බයවෙලා නිසා. ඉන්දියාවේ, ප්‍රංශයේ,  බෙල්ජියමේ, ඉතාලියේ වෙන දේවල් දැක්කාම පාලක පන්තියේ බඩ බුරුල් වෙලා. නිර්ප්‍රභූ ජනතාව අරගල බිමට එනවා දැක්කම ප්‍රභූන්ගේ විතරක් නෙවෙයි නිව්ප්‍රභූන්ගෙත් කකුල් වෙවුලන එක තේරුම් ගන්න පුළුවන්. මේ මර්දන උත්සාහයන් ඔක්කොම මහපාරේ පරදවමු. ආණ්ඩුව නම පෙන්නලා මේ මර්දන නීති ගැන ඇත්ත වහන්න යන්නේ. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම කියලා නම දාලා රාජ්‍ය ත්‍රස්තවාදය නීතිගත කරන පනතක් ගේන්නේ. ඒ වගේම තමයි සංවිධානාත්මක අපරාධ මැඩලීම කියලා නම දාලා ජනතාවගේ සංවිධානාත්මක ක්‍රියාකාරීත්වයන් මැඬලන පනතක් ගේන්නේ.

 

පිටකවරයට නොරැවටී පනතේ ඇතුළත අරමුණ තේරුම් ගනිමු

ජනතාව පොල් ගන්න කඩේට ගියාම භාවිතා කරන ඥානයෙන් මේකටත් මුහුණ දෙන්න. පොල් කඩේට ගියාම, පොල් ගෙඩියේ මතුපිට පෙනුම බලලා, ලස්සනයි - ලොකුයි කියලා ගන්නේ නෑනේ. තට්ටු කරලා බලලා, හොලවලා කණ ළඟට තියලා බලලා, පොල්මුඩ්ඩ  පරීක්ෂා කරලානේ ගන්නේ. ඒ වගේ මේ පනත් වල නම, පිටකවරය නෙවෙයි, ඇතුළේ අරමුණ, අන්තර්ගතය බලන්න.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න