රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) හරහා නව අපරාධමය වගකීම් නිර්මාණය වන බව පවසමින් ශ්රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටී.
එම සංගමය පෙන්වා දෙන්නේ පුද්ගල නිදහස ආරක්ෂා කිරීමට වඩාත්ම තීරණාත්මක වන අවස්ථාවලදී අධිකරණයේ අධීක්ෂණය සීමා වන බවයි. එමෙන්ම අදහස් ප්රකාශ කිරීමේ, රැස්වීමේ සහ යාම් ඊම් කිරීමේ නිදහසට දීර්ඝකාලීන බලපෑම් ඇති කරන අපරාධමය වගකීම් මේ හරහා නිර්මාණය වන බව ද එම සංගමය අවධාරණය කරයි.
මෙම පනත් කෙටුම්පත් දෙක මඟින් විධායකය වෙත අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ සෝදිසි කිරීම් සම්බන්ධයෙන් අධික බලතල ප්රමාණයක් හිමිවන බව ද නීතිඥ සංගමය සඳහන් කරයි.
1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) තාවකාලික පියවරක් ලෙස හඳුන්වා දුන්නද, එය දශක හතරකට වැඩි කාලයක් පැවැති බවත්, බලයට පත් වූ විවිධ ආණ්ඩු යටතේ පුද්ගලයන් නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා ගැනීමටත්, දේශපාලන විරුද්ධවාදීන්, ක්රියාකාරීන්, මාධ්යවේදීන්, ශිෂ්යයන් සහ මහජනතාව මර්දනය කිරීමටත් එය භාවිත කර ඇති බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
අදාළ පනත් කෙටුම්පත් දෙකම මේ වන විට ගැසට් පත්රයේ පළ කර පාර්ලිමේන්තුවේ න්යාය පත්රයට ඇතුළත් කර ඇති බව සඳහන් කරමින් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වා දීමට නියමිත PSTA පනත් කෙටුම්පත සහ OCB පනත් කෙටුම්පත පරීක්ෂා කළ යුත්තේ මෙවැනි පසුබිමක් යටතේ බවත්, සාධාරණ ලෙස භාවිත කළ හැකි නීතියක් අවභාවිත කිරීමට ද හැකියාව පවතින බවත් එම සංගමය පවසයි. ශ්රී ලංකාවේ අතීත අත්දැකීම් සැලකිල්ලට ගැනීමේදී නව නියාමන යටතේ ද මෙම අභියෝග සහ අවභාවිතයන් නැවත සිදුවීමට ඇති හැකියාව බැහැර කළ නොහැකි බව ද පෙන්වා දෙයි.
පොලිසියට සහ විධායකයට මෙවැනි ආකාරයේ බලතල ලබා දෙන ප්රජාතන්ත්රවාදී රටක්, පොලිස් රාජ්යයක් බවට පත්වීමේ අවදානමකට ලක්වන බව ද එම නිවේදනයේ සඳහන් වේ. නීතියේ ආධිපත්යය මගින් පාලනය වන රටක, නීතියේ ප්රධාන අරමුණ වන්නේ රාජ්යයේ අත්තනෝමතික ක්රියාවන්ගෙන් පුද්ගලයා ආරක්ෂා කිරීම බව නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
