මෙරට සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබේ.
එම ණය මුදල් ප්රතිපත්ති පාදක ණය ලෙස මිලියන 50 ක් සහ ව්යාපෘති ණය මිලියන 50 ක් ලෙස මෙරටට ලැබේ.
සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම, ආර්ථික ආරක්ෂණය සහ ශ්රී ලංකාවේ දිළිඳු හා වැඩිහිටි ජනතාවගේ සුබසාධනය සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා වන ප්රතිසංස්කරණ සහ ආයෝජන සඳහා ආධාර කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් මෙම ඩොලර් මිලියන 100ක මූල්යාධාරය අනුමත කර ඇත.
‘අන්තර්කරණය සහිත යථා තත්ත්වයට පත්වීම සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ අවස්ථා ප්රවර්ධනය කිරීමේ ආංශික සංවර්ධන වැඩසටහන’ (Promoting Resilience and Opportunity for Inclusive Recovery Sector Development Program) යටතේ මෙම වැඩසටහන ක්රියාත්මක වේ.
මෙමඟින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජීවනෝපාය සහ රැකියා අවස්ථා පුළුල් කිරීමට, වැඩිහිටි සත්කාර සේවා වැඩිදියුණු කිරීමට සහ රටේ සමාජ ආරක්ෂණ පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ප්රතිචාර දැක්වීමේ හැකියාව ඉහළ නැංවීමට ශ්රී ලංකා රජයට සහාය ලැබෙනු ඇත.
“ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවිත හා ජීවනෝපායන්හි අර්ථවත් දියුණුවක් බවට පත්විය යුතුයි,” යනුවෙන් ශ්රී ලංකාව සඳහා වන ADB නේවාසික අධ්යක්ෂ ෂැනන් කවුලින් පැවැසුවාය.
“මෙම වැඩසටහන දිළිඳු පවුල් සඳහා ආර්ථික අවස්ථා පුළුල් කිරීමට, වයස්ගත ජනගහනයක් සඳහා සමාජ සත්කාර සේවා ශක්තිමත් කිරීමට සහ දිගුකාලීන ප්රකෘතියට සහාය වන වඩාත් ඇතුළත්, ප්රතිචාරාත්මක සහ ඔරොත්තු දෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් ගොඩනැගීමට උපකාරී වනු ඇත." ඇය කීවාය.
ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය අඛණ්ඩව සිදු වුවද, විශේෂයෙන් කාන්තාවන්, තරුණයින්, වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයින් සහ ග්රාමීය හා වාසි අඩු ප්රදේශවල ජනතාව අතර දරිද්රතාවය සහ කම්පනවලට ගොදුරු වීමේ අවදානම තවමත් ඉහළ මට්ටමක පවතින බව ADBය පෙන්වා දෙයි.
මුදල් යෙදවෙන්නේ මෙහෙමයි
මෙම වැඩසටහන යටතේ රජයේ ජාතික සවිබල ගැන්වීමේ වැඩසටහන ක්රියාත්මක කිරීමට සහාය දෙන අතර, 'අස්වැසුම' සමාජ ලේඛනය හරහා හඳුනාගත් දිස්ත්රික්ක හයක් පුරා වූ පවුල් 30,000කට ජීවනෝපාය ප්රදාන, රැකියා සහ ව්යාපාර ආධාර, කුසලතා සංවර්ධනය සහ මූල්ය සාක්ෂරතා පුහුණුව ලබා දිම සදහා මෙම මුදල් යොදවනු ඇත.
ඊට අමතරව, වැඩිහිටි සත්කාර සේවා සඳහා ප්රතිපත්තිමය සහ නියාමන රාමුව ශක්තිමත් කරමින් දිළිඳු දිස්ත්රික්කවල ආදර්ශ වැඩිහිටි දිවා සුරැකුම් මධ්යස්ථාන පහක් ස්ථාපිත කිරීමට නියමිතය. මෙම මධ්යස්ථාන ඒකාබද්ධ සත්කාර සහ සහාය සේවා සපයන අතරම, දීප ව්යාප්තව ක්රියාත්මක කළ හැකි වැඩිහිටි සත්කාර ආකෘතීන් පරීක්ෂා කිරීමේ ස්ථාන ලෙසද ක්රියා කරනු ඇත.
දේශගුණික විපර්යාස සහ අනෙකුත් හදිසි අවස්ථාවලදී කාලෝචිතව සහ ඵලදායී ලෙස සහාය ලබා දීම සහතික කිරීම සඳහා සමාජ ආරක්ෂණ පද්ධතියේ කම්පනවලට ප්රතිචාර දැක්වීමේ හැකියාවද මෙමගින් ශක්තිමත් කෙරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
ජේ. මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
