වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවට රටේ පාලන බලය ලබා දීමට ජනතාව තීරණය කළේ, රටේ ජනතාවගේ ධනය කොල්ලකමින් ආර්ථිකය විනාශ කළ දේශපාලන කල්ලිවලට එරෙහිව 2022 වසරේදී ජනතාව සිදු කළ දැවැන්ත අරගලයකින් පසුව බවත්,
එම අරගලයෙන් බලයට පැමිණි ආණ්ඩුව දැන් සූදානම් වන්නේ මර්දන පනත් ගෙනැවිත් තමන්ට බලය ලබා දුන් ජනතාවගේ කට වැසීමට බවත් ජන අරගල ව්‍යාපාරය පවසයි.
ජනතාව ත්රස්තවාදීන් කරන PTA, PSTA සහ OCA යන මර්දන පනත් අහෝසි කරන ලෙස බල කරමින් හෙට (නොවැම්බර් 04) දින පාර්ලිමේන්තුව අසලදී පවත්වනු ලබන විරෝධතා උද්ඝෝෂණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (03) පස්වරුවේ නුගේගොඩදී කැඳවන ලද මාධ්‍ය හමුවකදී ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මේ බව අවධාරණය කළේය.
මතු පළ වන්නේ මෙම මාධ්‍ය හමුවේදී වසන්ත මුදලිගේ පළ කළ සම්පූර්ණ අදහස් දැක්වීමයි.
(උපුටා ගැනීම)
මේ වෙද්දි ආණ්ඩුව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත කියන මර්දන පණත් දෙක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා. මුලින් ආණ්ඩුව අත්තනෝමතික විදිහට තමන්ගේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මේ නොවැම්බර් මාසේ 4/5 දවස් දෙකේදි PSTA පනත පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න තමයි ලෑස්ති වුණේ. හැබැයි ඒකට එල්ල වුණු බරපතළ සමාජ විරෝධය එක්ක දැන් ආණ්ඩුව මේ පනත සම්මත කිරීම තාවකාලිකව ආපස්සට ගන්න තීරණය කරලා තියනවා. අපි හිතනවා ආණ්ඩුව යම් තරමකින් හරි ජනතාවගේ මතයට කන් දෙන්න හිතපු එක හොඳයි. හැබැයි අපි ආණ්ඩුවට කිව්වේ PSTA පනත වගේම PTA එකත් හකුළගන්න කියලා. ඒ වගේම තමයි OCA පනතත් හකුළගත යුතුයි.
"මේ පනත සම්මත වුණොත් ජනතාවට කට අරින්න වෙන්නේ කන්නයි ඈනුම් අරින්නයි විතරයි"
අපි දන්නවා මේ පණත සම්මත වුණොත් ජනතාවට කට අරින්න වෙන්නේ කන්නයි ඈනුම් අරින්නයි විතරයි. මේ රටේ ජනතාව 2022 දැවැන්ත අරගලයක් කළා. ඒ රටේ ජනතාවගේ ධනය කොල්ල කාගෙන මේ රටේ ආර්ථිකය ඝාතනය කරපු දේශපානලන කල්ලිවලට විරුද්ධව. ඒ අරගලයෙන් පස්සෙ තමයි මිනිස්සු තීරණය කළේ ජාතික ජන බලවේග ආණ්ඩුවට මේ රටේ පාලනය බාර දෙන්න. දැන් ඒ අරගලයෙන් බලයට ආව ජාජබ ආණ්ඩුව දැන් ලෑස්ති වෙන්නේ මර්දන පනත් ගෙනල්ලා තමන්ට ඡන්දෙ දුන්න ජනතාවගේ කට වහන්න.
IMF බදු බර සහ සාමාන්‍ය ජනතාව මුහුණ දී සිටින අමාරුකම්
මොකද ආණ්ඩුව ගමන් කරන IMF මූලික කරගත්ත ආර්ථික කොන්දේසි එක්ක මේ රටේ ජනතාවගේ කරමත දැවැන්ත බදු බරක් පැටවිලා තියනවා. තරුණයන්ට තමන්ගේ බයික් එකට ත්‍රීවීල් එකට තෙල් ටික ගහගන්න විදිහක් නැහැ. රෝහලට ගියාට පස්සේ බෙහෙත් ටික නැහැ. දරුවන්වන්ගේ පොත්පත් ටික ගන්න විදිහක් නැහැ. කාන්තාවන්ගේ සනීපාරක්ෂක ද්‍රව්‍යවලට පවා දැවැන්ත බද්දක් ගහලා තියෙන්නේ. මෙහෙම සාමාන්යෙ ජනතාවගේ කරපිට බදු බර පටවන ගමන් ඩඩ්ලි සිරිසේනලා ඇතුළු ගජමිතුරන්ට ආණ්ඩුව හැම සහනයක්ම දෙනවා. මෙන්න මේ තත්වය ඇතුළේ රටේ ජනතාවට පාරට බහින එක හැරෙන්න වෙන විකල්පයක් නැහැ. අන්න ඒක දන්න නිසා තමයි නැවත 2022 වගේ අරගලයක් එන එක නවත්වන්න ආණ්ඩුව ජනතාවගේ කටට වැට බඳින මර්දන පනත් අරගෙන එන්නේ.
පොලිස් බලතල වැඩි කිරීම සහ ඓතිහාසික අත්දැකීම්
අපි දන්නවා ආණ්ඩුව බලයට එනකොට හැසිරිච්ච විදිහ. මර්දනයට එරෙහිව උද්ඝෝෂණ පාගමන් ගියා. කම්කරු අයිතිවාසිකම් ගැන, නිදහස් අධ්‍යාපන අයිතිය ගැන වේදිකා දෙදරන්න කතා කළා. දැන් ඒ ඔක්කොම ආණ්ඩුවට අමතකයි. අර හෝමාගම තරුණයා පොලිස් කූඩුව ඇතුලේ අමානුෂික විදිහට ඝාතනය වෙද්දි ආණ්ඩුව නිහඬයි. කඩවතදි පොලීසිය ත්‍රීවිල් එකකට වෙඩි තියද්දි ආණ්ඩුව නිහඬයි. කටවහගෙන ඉන්නවා මදිවට ආණ්ඩුව ලෑස්ති වෙන්නේ මෙහෙම අමු අමුවේ මිනී මරණ පොලීසියට තව බලය දෙන පනතක් සම්මත කරන්න. වෙනදා පොලීසියට පැය 24ක් රඳවගන්න පුලුවන් වුණ නීතිය මේ පනත් සම්මත වුණොත් පැය 72ක් දක්වා දික් වෙනවා. ඒ වගේම තමයි පොලීසියෙන් කොඳු කැඩෙන්න ගහලා ගන්න පාපොච්ඡාරණය මේ පනත්වලින් උසාවියේ නීත්‍යානුකූල සාක්ෂියක් බවට පත් වෙනවා. PTA එක නිසා එදා ජනතා විමුක්ති පෙරමුණ මෙහෙම මර්දනයක් අත්වින්දා. පොලිස් අත් අඩංගුවේදි තමයි එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඝාතනය වුණේ. බලහත්කාරයෙන් ගත්ත කට උත්තර නිසා පීඩාවට ලක් වුණ අය ජනතා විමුක්ති පෙරමුණේ අදත් ඉන්නවා. එහෙම දේශපානලන ව්‍යාපාරයක් අද ආණ්ඩු බලයට ඇවිල්ලා රටේ ජනතාව ත්රස්තවාදීන් කරලා ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් නැති කරන්න යන එක ඛේදවාචකයක්.
මර්දන පනත් වලට එරෙහිව හෙට (04) පාර්ලිමේන්තුව අසලට එන්න!
මේ ඛේදවාචකය දිහා නිහඬතාව බලාගෙන ඉන්න අපිට පුලුවන් කමක් නැහැ. අපි ආණ්ඩුවට කියනවා PTA, PSTA, OCA කියන ජනතාද්‍රෝහී මර්දන පනත් වහාම හකුළාගත යුතුයි. අන්න ඒ බලපෑම ආණ්ඩුවට කරන්න හෙට නොවැම්බර් 4 වෙනිදා අපි එනවා පාර්ලිමේන්තුව ගාවට. මේ රටේ වෘත්තිය සමිති දේශපානලන ක්‍රියාකාරීන් ඇතුළු ප්රජාතන්ත්රවාදයට ලැදි සියලු ජනතාව හෙට පාර්ලිමේන්තුව ළඟට එනවා. මේ එන්නේ මර්දන පනත් අහෝසි කරන්න කියන බලපෑම ආණ්ඩුවට කරන්න. අන්න ඒ විරෝධතාවට එකතුවෙන්න හෙට දවල් 12.00ට පාර්ලිමේන්තු වටරවුමට එන්න කියලා අපි රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. මොකද අද අපි මේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවන් දිහා නිහඬව බලාගෙන හිටියොත් හෙට දවසේ රටේ ජනතාවගේ නිදහස තමයි අහිමි වෙන්නේ. බදු බරට විරුද්ධව කටක් අරින්න බැරිවෙන. ජනතා දේපළ හොරා කන හොරුන්ට විරුද්ධව හඬ නගන්න බැරි වෙන රටක් තමයි මෙහෙම ගියොත් නිර්මාණය වෙන්නේ. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා අපි ජන අරගල ව්‍යාපාරය විදිහට මේ මර්දන පනත් අහෝසි කරනතුරු සඨන් කරන්න ලෑස්තියි කියන පණිවුඩය මේ වෙලාවේ ආණ්ඩුවට ලබා දෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
