Image

ජනාධිපතිත් නීතියට යටත් නම් කථානායකවරයාට නීතියට ඉහළින් කටයුතු කළ නොහැකියි - ජනාධිපති නීතිඥ අලි සබ්රි

ජනාධිපතිත් නීතියට යටත් නම් කථානායකවරයාට නීතියට ඉහළින් කටයුතු කළ නොහැකියි - ජනාධිපති නීතිඥ අලි සබ්රි

ජනාධිපතිවරයාගේ ක්‍රියා පවා අධිකරණ පරීක්ෂාවට යටත් වන විට කථානායකවරයාට නීතියෙන් අසීමිත මුක්තියක් ඉල්ලා සිටිය නොහැකි යැයි ජනාධිපති නීතිඥ එම්.යූ.එම්.අලි සබ්රි ඊයේ (17) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමේදී,  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙනුවෙන් මතු කළ මූලික විරෝධතාවලට එරෙහිව වගඋත්තරකාර පාර්ශ්ව තුනක නීතිඥවරු ඊයේ(17) කරුණු දැක්වූ අවස්ථාවේදී මෙම අදහස් පළ විය.

CA (Writ) 109/2026 දරන මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ. පී. ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.

කථානායකවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන මූලික විරෝධතා දෙක වන්නේ, කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ තීරණ පාර්ලිමේන්තු වරප්‍රසාද හා මුක්තියෙන් ආරක්ෂා වන බැවින් ඒවා අධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ නොහැකි බවත්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනතේ සඳහන් “ලිපිකරු” යන්න වර්තමාන “මහ ලේකම්වරයා” ලෙස අර්ථකථනය කළ නොහැකි බැවින් එම පනත යටතේ විනය බලය මහ ලේකම්වරයාට හිමි නොවන බවත්ය.

වරප්‍රසාද යනු අසීමිත බලයක් නොවේ

නවවන වගඋත්තරකාර, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපතිවරයාගේ ක්‍රියා පවා අධිකරණ පරීක්ෂාවට යටත් වන විට කථානායකවරයාට අසීමිත මුක්තියක් තිබිය නොහැකි බව අවධාරණය කළේය. නීතියෙන් සලසා ඇති ව්‍යතිරේකවලට යටත්ව, කථානායකවරයාද නීතියට සහ අධිකරණයට වගකිව යුතු බව ඔහු සඳහන් කළේය.

වෝටර්ස් එජ් නඩුව උදාහරණයක් ලෙස දැක්වූ ඔහු, පාර්ලිමේන්තු වරප්‍රසාද මහජනතාවගේ යහපත උදෙසා පවතින ආරක්ෂාවක් මිස දේශපාලනඥයන්ගේ සියලු ක්‍රියා ආවරණය කරන අසීමිත මුක්තියක් නොවන බව තර්ක කළේය. පාර්ලිමේන්තුව සේවයට බඳවාගත් පුද්ගලයකුට එරෙහිව ගත් තීරණයක් වරප්‍රසාද පෙන්වා අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ඉඩ නොදීම පෙත්සම්කරුට අසාධාරණයක් බවද ඔහු ප්‍රකාශ කළේය.

“ලිපිකරු” සහ “මහ ලේකම්” යන තනතුරු නාම පිළිබඳ විරෝධතාවට පිළිතුරු දෙමින් අලි සබ්රි, අපරාධ නීතියේ හා අපරාධ නඩු විධිවිධානවල රජු හෝ රැජින පිළිබඳ පැරණි සඳහන් කිරීම් උදාහරණයට ගත්තේය. ශ්‍රී ලංකාවේ දැන් රජකු හෝ රැජිනක නොමැති බැවින් එවැනි නීති යටතේ වගකීමෙන් මිදිය හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය. ඒ ආකාරයෙන්ම, පැරණි තනතුරු නාමයක් වචනාර්ථයෙන් පමණක් සලකා වර්තමාන මහ ලේකම්වරයාගේ නීත්‍යනුකූල බලතල ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඔහු තර්ක කළේය.

විදේශීය අධිකරණ තීන්දුද සඳහන් කරමින්, පාර්ලිමේන්තු වරප්‍රසාදවල ආරක්ෂාව ව්‍යවස්ථාදායක කාර්යයන් ඉක්මවා සියලු පරිපාලන ක්‍රියා වෙත ව්‍යාප්ත කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

කාර්ය මණ්ඩල පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් කළ නොහැකියි

හත්වන වගඋත්තරකාර පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්වරයා වෙනුවෙන්, නීතිඥ සුරේන් ගුණරාජ්  සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා, පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඉදිරිපත් කළ අදාළ තර්ක සමඟ එකඟ වන බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත කාර්ය මණ්ඩල පරිපාලනය සඳහා පනවන ලද්දක් බවත්, එහි 7 වැනි වගන්තිය යටතේ විනය බලය ලිපිකරු හෙවත් වර්තමාන මහ ලේකම්වරයා වෙත පවරා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65 වැනි ව්‍යවස්ථාවද කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් මහ ලේකම්වරයාගේ බලතල පිළිගන්නා බව ඔහු සඳහන් කළේය.

කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව ස්ථාවර නියෝග යටතේ පිහිටුවූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් නොව, කාර්ය මණ්ඩල පරිපාලනය සම්බන්ධ නියාමන ආයතනයක් බව ඔහු තර්ක කළේය. එබැවින් එහි තීරණ වරප්‍රසාද හෝ මුක්තිය පෙන්වා අධිකරණ පරීක්ෂාවෙන් බැහැර කළ නොහැකි බවත්, කථානායකවරයාට හෝ වෙනත් දේශපාලනඥයන්ට කාර්ය මණ්ඩල පරිපාලනයට මැදිහත්විය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

කථානායකවරයාම විනය බලය ක්‍රියාත්මක කළහොත් අභියාචනය කරන්නේ කාටද?

එකොළොස්වන වගඋත්තරකාර, හිටපු සභානායක සුසිල් ප්‍රේමජයන්ත වෙනුවෙන් පෙනී සිටි හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්, පාර්ලිමේන්තු විනය ක්‍රියාපටිපාටිය අනුව කාර්ය මණ්ඩලයේ විනය පාලනය සඳහා බලයලත් නිලධාරියා මහ ලේකම්වරයා බව පෙන්වා දුන්නේය.

කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව විනය බලධාරියා බව තහවුරු කිරීමට දෙවන, තුන්වන සහ පස්වන වගඋත්තරකරුවන් අදාළ ලේඛන ඉදිරිපත් කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය. හිටපු මහ ලේකම් ප්‍රියානි විජේසේකර පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය පිළිබඳ ග්‍රන්ථය උපුටා දක්වමින්, එම කාරක සභාව පාර්ලිමේන්තුවේ කාරක සභාවලින් වෙන්වූ ආයතනයක් බවටද ඔහු කරුණු දැක්වීය.

විනය තීරණයකින් අතෘප්තියට පත් කාර්ය මණ්ඩල සාමාජිකයකුට කථානායකවරයා වෙත අභියාචනය කළ හැකි ක්‍රමයක් පවතින විට, කථානායකවරයාම මහ ලේකම්වරයාගේ විනය බලය ක්‍රියාත්මක කරන්නේ නම් අභියාචනය ඉදිරිපත් කරන්නේ කාටද යන ප්‍රශ්නය ඔහු මතු කළේය.

මීට පෙර නීතිපතිවරයා ඉදිරිපත් කළ සමථ යෝජනාවට කථානායකවරයාගේ පාර්ශ්වයෙන් එකඟතාව පළ නොවීමෙන් අනතුරුව, නීතිපතිවරයා මෙම නඩුවේ පෙනී සිටීමෙන් ඉවත් වී ඇති අතර, දැනට කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටී.

අද කරුණු දැක්වීම්වලින් අනතුරුව, කථානායකවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට එරෙහි ඉතිරි කරුණු දැක්වීම් අවසන් කිරීම සඳහා පෙත්සම අද, නොවැම්බර් (18) වැනි දිනට යළි නියම කෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න