Language Switcher

V2025

සිහල රාවය : සුවපතිව  අගයයි !

පෙරහැර සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ හිඟය පිළිබද ගැටලුව ජනාධිපතිවරයා විසින් කඩිනමින් විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

කළුතර පන්විලහේනවත්ත ශ්‍රී මුණසිංහ බෝධි රාජවිහාරස්ථානයේ 03 වන වරටත් පැවැත්වූ බිනර මහා පෙරහැරේ කරඩුව තැන්පත් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෙද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රධානත්වයෙන් පසුගියදා  රාත්‍රියේ සිදු කෙරිනි. සිංහල රාවය සංවිධානයේ මහලේකම් සහ විහාරාධිපති පූඡ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ උපදෙස් මත මෙම පෙරහැර පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,

“සිහල රාවය සංවිධානයේ සභාපති මාගල්කන්දේ සුදත්ත හිමියන් නිර්මාණශීලී භීක්ෂූන් වහන්සේ නමක්. වර්තමානයේ ප්‍රතිපත්ති සහ ආමිස පූජාවලට මුල්තැන දෙමින් ධර්ම ප්‍රචාර කටයුතු සිදු කරනවා. ආමිස පූජාවට මුල්තැන හිමි වූයේ අශෝක අධිරාජ්‍යාගේ ධර්ම විජය ප්‍රතිපත්තියට අනුවයි. බුදුරජාණන් වහන්සේගේ ගැඹූරු වූත්, සංකීර්ණ වූත් දර්ශනය භික්ෂූන් වහන්සේලා විසින් ආරක්ෂා කරනවා.  රජ සමය මෙන් ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ දී ද දළදා පෙරහැර සදහා සහයෝගය ලබාදුන්නා. දළදා පෙරහැරට මෙන්ම අනෙකුත් පෙරහැර සදහා හීලෑ අලි ඇතුන්ගේ ප්‍රශ්නය ගැටලුවක් වී තිබෙනවා. මේ පිළිබදව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. සංස්කෘතික දායාදයන් ඉදිරියට ගෙනයාම සදහා හීලෑ අලි ඇතුන් අවශ්‍ය බව පෙරහැර සංවිධායකයින් පෙන්වා දෙනවා. නමුත් පරිසරවේදීන් සදහන් කරන්නේ වනාන්තරයේ සිටින අලි ඇතුන් ගාල්කර තැබීම වරදක් බවයි. පසුගිය රජය සමයේ දී අලි ඇතුන් ජාවාරමක් බවට ක්‍රියාත්මක වුනා. එම ජාවාරමට සම්බන්ධ අලි ඇතුන් 35 ක් මේ  වනවිට වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා. එම අලි ඇතුන් සදහා ලබාගෙන ඇති බලපත්‍ර අක්‍රමවත්. වරදාන වරප්‍රසාද දීලා තමයි බලපත්‍ර ලබාගෙන තිබෙන්නේ. වනාන්තර වලින් හොරකම් කළ අලි ඇතුන් ද ඒ අතර සිටිනවා. හොරණ ප්‍රදේශයේ වෙළෙද ව්‍යාපාරිකයෙකු සතු අලි පැටවෙකු ද මෙලෙස වනජීවී භාරයේ සිටිනවා. එම අලි පැටවා පිළිබදව ද සොයා බැලූ විට අනාවරණය වුයේ බලපත්‍රය ලබාගැනීම අක්‍රමවත්ව සිදු වී ඇති බවයි. මෙම ප්‍රශ්නය විසදිය යුතුයි.”“කළුතර ජනතාව පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඊට හේතු වී ඇත්තේ කළු ගඟට කරදිය මිශ්‍රවීමයි. පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා රුපියල් මිලියන 600 කට අධික මුදලක් වැය කරමින් කළු ගඟ ව්‍යාපෘතිය අපේ රජය ආරම්භ කළා. එහි ප්‍රතිලාභ ලැබෙන විට වසර 2020 පමණ වෙයි.”“කළුතර දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධී මත්පැන්, මත් ද්‍රව්‍ය තුරන් කිරිම සදහා මහා සංඝරත්නයේ සහ අන්‍යාගමික නායකයින්ගේ උපදෙස් මත වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මෙලෙස තරුණ තරුණියන් අතර සංසරණය වන විවිධ මත් ද්‍රව්‍ය සෞඛ්‍යයට අහිතකරයි. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම ලබාදෙන්නේ සෞඛ්‍යයට හිතකර ඖෂධ පමණයි. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඒකාබද්ධ කරමින් මෙම වැඩපිළිවෙල දියත් කර දරුවන් ආරක්ෂා කළ යුතුයි. මේ පිළිබදව කාදිනල් හිමිපාණන් ද මට කරුණු ඉදිරිපත් කළා. වැඩපිළිවෙල ඉදිරියේ දී ක්‍රියාත්මක කිරිමට මම කටයුතු කරනවා.” 

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිද මෙහිදී අදහස් දැක්වීය.

“කළුතර බිනර මහා පෙරහැර සංවිධානය කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් පූර්ණ අනුග්‍රහය හිමි වුනා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහයෝගය නොමැති නම් මෙම පෙරහැර කිරීමට නොහැකි බව මම මෙතන දී ප්‍රකාශ කරනවා. මුල්‍යමය ප්‍රශ්න, අනෙකුත් පහසුකම් සියල්ල සම්පාදනය කර දුන්නා. රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර දෙමින් සහයෝගය ලබාදුන්නා. මගේ ඉල්ලීම් වලට බැහැ කිවුවේ නැහැ. එම නිසා දායකයින් පිරිසක් සුදානම් වුනා කළුතර නගර මධ්‍ය යේ තොරණක් ඉදි කිරීමට. එහි එක පැත්තක රාජිත ඇමැතිතුමාගේ ඡායාරූපයත්, අනෙක් පැත්තේ මගේ ඡායාරූපයත් සවිකර තිබුනා. ඒකට ඇතැම් අයට රිදිලා. දේශපාලනය සහ ආගමික වැඩසටහන් පටලවගන්න එපා. මෙම වේදිකාවෙත් සියලුම පක්ෂ වල මන්ත්‍රීවරුන් ඉන්නවා.”“මම පෙරහැර සංස්කෘතිය සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට සුදානම්. දැනට හීලෑ අලි ඇතුන් 38 ක් රජය භාරයේ සිටිනවා. ඉන් 35 කට බලපත්‍ර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෝ ඉදිරිපත් කර මෙම බලපත්‍ර සහිත අලි ඇතුන් නිදහස් කර පෙරහැර සංස්කෘතියට ලබාදිය යුතුයි. එලෙස ලබාගත් අලි ඇතුන් මම සොලොස්මස්ථානය වැද පුදා ගැනීමට පවා රැගෙන යනවා. මෙම පිංකම සිදු කිරීමෙන් ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා. දැනට පෙරහැර සංස්කෘතිය සදහා හීලෑ අලි ඇතුන් සිටින්නේ 100 ක් පමණයි.”“කළුතර කළු ගඟට කරදිය මිශ්‍රවීම නිසා ජනතාව පානීය ජල අර්බුධයකට මුහුණ දී සිටිනවා. දැනට බවුසර් මගින් ජලය බෙදා හැරියත් එය සාර්ථක නැහැ. කළු ගඟට කරදිය මුසුවිම වැළැක්වීම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ජනතාවට අවශ්‍ය සහනය සැලසීමට මැති ඇමැතිවරු මුල්විය යුතුයි. කළුතර දිස්ත්‍රීක්කයේ තරුණ තරුණියන් අතර මත් ද්‍රව්‍ය භාවිතය වැඩි වී තිබෙනවා. මෙම ජාවාරමෙන් තරුණ තරුණයින් බේරා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. කළුතර මතින් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට හැකියාව තිබෙනවා.”

“සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවාවට කළ මෙහෙවර මහා සංඝරත්නය විදිහට අපි අගය කරනවා. මට එක්තරා ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කළා හෘදයාබාධයක් වැළදී ඔහුට ස්ටෙන්ස් දෙකක් දැමීම සදහා සැත්කමක් සිදු කළ බව. එය රජයේ රෝහලින් නොමිලේ සිදු කළ බව ද ඔහු ප්‍රකාශ කළා. හෘද රෝගීන්ට නොමිලේ ස්ටෙන්ස් ලබාදීම, අක්ෂි කාඩ ලබාදීම, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම තුලින් රෝගී ජනතාවට විශාල සහනයක් ලැබී තිබෙනවා. ඖෂධ ජාවාරම්කරුවන් මැඩලන්න, ඖෂධ ජාවාරම මෙල්ල කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කරන සේවාව හරිම විශිෂ්ටයි. පිළිකා රෝගීන් භාවිත කරන ඖෂධ මිල අඩු කිරීම ද අගය කළ යුතුයි. රුපියල් දෙලක්ෂ අසූදාහසකට පමණ අලෙවි වූ පිළිකා ඖෂධ රුපියල් අනුපන්දහස දක්වා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත අඩු කර තිබෙනවා. කළුතර මහ රෝහලත් සංවර්ධනය කරනවා. එය දැන් හෝටලයක් වගෙයි.”මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්මන් විඡේමාන්න, රෝහිත අබේගුණවර්ධන, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයින් එක්ව සිටියහ.