මගේ ගමන 2025න් අවසන් - සජිත් 

මගේ ගමන 2025න් අවසන් - සජිත් 

අරලියගහ මන්දිරයට හා ජනපති මන්දිරයට යාමට සජිත් ප්‍රේමදාසට වසර 2030 වනතුරු බලා සිටීමට සිදුවන බව පොහොට්ටුවේ ඇතැම් නායකයින් පවසන අතර තමන්ගේ ඒ ගමන වසර 2030 දී නොව මේ වන විටත් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

වසර 2025 දී මෙරට උදා ගම්මාන 20,000 ක් ඉදිකර රටේ සැමට සෙවණ ලබාදීම තමන්ගේ ගමන බවත්, අරලියගහ මන්දිරයට හා ජනපති මන්දිරයට යාමට තමන්ට කිසිදු කෑදරකමක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ජනපති අගමැති වන්නට පුළුවන් රාජපක්ෂ පවුලට පමණක්ද කියා කුමාර වෙල්ගම හිටපු ඇමතිතුමන් අද ප්‍රශ්න කරන බව කී අමාත්‍යවරයා, දේශප්‍රේමීත්වයේ නාමයෙන් රටේ අයිතිය සින්නක්කරව ලියා ගැනීමට සහ ජනපති අගමැති පුටු එක පවුලකට නතු කර ගැනීමට ගන්නා උත්සහය පිළිබදව අද පොහොට්ටුවේ ඇතැම් පිරිසකට වැටහී ඇති බවද  මෙහිදි වැඩිදුරටත් පැවසීය.   

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්පාර දිස්ත්‍රික්කයේ, දමන, ජයන්තිපුර ප්‍රදේශයේ ඉදිකළ “බිසෝවැඩිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (16) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 124 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

මෙම උදා ගම්මානය නිවාස 23 කින් සමන්විත වන අතර මෙය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 243 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“බිසෝවැඩිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 23 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 74 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 23 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 80 කට රුපියල් ලක්ෂ 80 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 60 කට රුපියල් ලක්ෂ 120 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 50 කට රුපියල් ලක්ෂ 25 ක් වටිනා නිවාස ණය හා ආධාර, වකුගඩු රෝගීන් 35 කට රුපියල් ලක්ෂ 70 ක් වටිනා නිවාස ආධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 25 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, ස්වයං රැකියා නිවාස ණය  දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 112 දෙනෙකුට ඇස් කණ්නාඩි සහ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය එම්. සී. ෆයිසාල් මහතාද සහභාගි විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න